[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

වප් පුර පසළොස්වක පොහොය වර්ණනාව

පොහොය දවස බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමටත් පෙර සිටම සම්මතව පැවැති අතර එකල විසූ ධාර්මික පුද්ගලයෝ සැමදාම මෙලොව කටයුතුවල පමණක් නොව පරලොව යහපත සඳහා ද සතියකට වරක් ආගමික වතාවත්වල යෙදුණහ. දින දර්ශන, ලිත් සුලභ ලෙස නොතිබුණ බැවින් අහසෙහි සඳ දෙස බලා එම සතියෙහි ආගමික දිනය වෙන්කොටගෙන තිබිණි. ශ්‍රද්ධාවන්ත රජකු වූ බිම්බිසාර මහ රජතුමාගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ ‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ, අට්ඨමියාච පක්ඛස්ස සන්තිපතිතූන්ති “මහණෙනි, තුදුස්වක්හි, පසළොස්වක්හි, අටවක්හි රැස් වන්නට අනුදනිමි’ යි පොහොය දිනයන්හි පන්සල් යාම ආරම්භ වී ඇත්තේ මේ ආකාරයට ය. බුද්ධ නියමයට අනුව ගිහි පැවිදි උභය පාර්ශ්වයට පොහෝ දිනවල රැස් වුව ද, ධර්ම දේශනා කිරීමක් සිදුවී නැත. එයින් කනස්සල්ලට පත්ව සිටි ගිහි ජනතාව ධර්ම දේශනා නොකිරීම පිළිබඳ දෝෂාරෝපණය කරන්නට වූහ. එම තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නය ආමන්ත්‍රණය කරමින් වදාරනු ලැබුවේ ‘අනුජානාමි භික්ඛවේ චාතුද්දසෙ පණ්ණරසෙ අට්ඨමියා ච පක්ඛස්ස සන්තිපතිත්වා ධම්මං භාසිතුන්ති” යනුවෙනි. ඒ අනුව පසළොස්වක පොහොය ධර්ම දේශනා කිරීම ආරම්භ වී ඇත. කඨින චීවර පූජා කරන මාසයේ ආරම්භක දිනය ද අදට යෙදී ඇත. එනිසා ම මෙම මාසය චීවර මාසය නමින් ද හඳුන්වනු ලබයි. සෑම වසරකට ම ඇසළ මහේ සිට වප් මහ දක්වා යෙදෙන වස් කාලය අවසන් වනුයේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයෙනි. අනුජානාමි භික්ඛවේ වස්සං වුත්ථානං භික්ඛුනං තීහි ඨානෙහි පවාරෙතුං, දිට්ඨෙනවා සුතෙනවා පරිසංකාය වා, සාවො භවිස්සති. අඤ්ඤමඤ්ඤනුලොමතා ආපත්ති චුට්ඨාභතා, විනය පුරෙක්ඛාරතා” මහණෙනි වස් විසූ භික්ෂූන්ට කරුණු තුනක් මුල්කරගෙන පවාරණය කරන්නට (තමාගේ වරදක් දොසක් පෙන්වා දෙන්නට අවසර දෙමි. එසේ අවසර දීම සංඝයා අතර ඔවුනොවුන් අතර අනුකූල පැවැත්මටත්, ඇවැත්වලින් නැඟී සිටීමටත්, විනයානුකූල පැවැත්මටත් හේතුවේ. අදට යෙදී තිබෙන වප් පොහොය දිනය තුළ ශාසනික වශයෙන් සුවිශේෂී වූ වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇත. මාපලගම සෝමිස්සර නාහිමියන්ගේ පොහොය වර්ණනාව ග්‍රන්ථයේ සඳහන් තොරතුරු අනුව මේ ආකාරයෙන් සඳහන් කළ හැකි ය.


වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]