කොසොල් රජුගේ අසදෘෂ මහා දානය
ගල්වැව කනත්තේවැව
ශ්‍රී සුගතාරාම රාජමහා විහාරයේ
හිඳව සෝභිත හිමි
අපේ මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ දඹදිව දෙව්රම් වෙහෙරේ වැඩ සිටින කාලයේ
දිනක් කොසොල් මහ රජු බුදුරජාණන් වහන්සේ මුණගැසීමට පැමිණ පසුදා දානයට ආරාධනා කළා. ඒ
දානය ඉතාම ඉහළින් සූදානම් කළා. නුවර වාසීන්ටත් මේ දානය බලන්න ආරාධනා කළා. ඉතින් අර
නුවර වැසියෝත් දාන පින්කම බලන්න ආවා. මේ මිනිස්සු කල්පනා කළා රජුගේ දානයට වඩා ලොකු
දානයක් අපිත් දෙන්න ඕනෑ කියලා.
පසුවදා දානයට බුදුහාමුදුරුවන් ප්‍රධාන මහා සංඝරත්නයට නගර වැසියෝ ආරාධනා කළා.
රජ්ජුරුවන්ටත් ආරාධනා කළා දානයට එන්න කියලා. ඉතින් රජතුමා මේ දානය බලන්න ගිහින්
පුදුමයට පත් වුණා. මේ ජනයා රජෙක් වූ මටත් වඩා ඉහළින් දානයක් දුන්නා නේද කියලා.
ඊට පස්සේ රජතුමා තුන්වැනි දවසේ දානය දුන්නා. මේ දානය දැක්ක වැසියෝ සිතුවා රජු මේ
තරම් දානයක් දුන්නා නම් අපි ඊට වඩා ඉහළින් දානයක් දෙමු කියා. හතරවෙනි දවසේ දන්
දුන්නා. නමුත් නුවර වැසියන්ට රජු පරද්දන්නත් බෑ. රජුට නුවර වැසියෝ පරදන්නත් බෑ.
පස්වැනි දවසේ රජතුමා දානය දුන්නා. ඊට පස්සේ හයවැනි දවසේ නුවර වැසියෝ මේ මේ දේ
නැතැයි කියන්න බැරි විදියට දානය දුන්නා.
මේ දානය දැක්ක රජතුමා, මේ වැසියන්ගේ දානයට වඩා ඉහළින් දානයක් දෙන්න බැරි වුණොත්
ජීවත් වෙලා පලක් නෑ සිතා සයනයේ සැතපී සිටින අවස්ථාවේ මල්ලිකා බිසව මේ තොරතුරු
දැනගෙන ඇය කියනවා රජතුමාට වැසියන්ට දෙන්නට බැරි විධියේ දානයක් දෙමු. මහරජතුමනි,
ඉතාම ලස්සන මණ්ඩපයක් සාදවා ඒ මණ්ඩපයට බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ
පන්සිය නමක් වැඩමවන්න ඕනෑ. ඒ හාමුදුරුවරු පන්සියයට ඇත්තු පන්සියයක් ලවා සුදු කුඩ
පන්සියයක් හිසට අල්ලාගෙන සිටින්නට සලස්වමු. දෙනමක්, දෙනමක් අතරේ හිඳගෙන බිසෝවරු
එක්කෙනා ගානෙ සුවඳ අඹරන්නට යොදමු. ඊළඟට එක් බිසෝ කෙනෙක් දෙනමකට තල්වැට චාමරවලින්
පවන් සලන්නට ඕනෑ. මහරජතුමනී, මේ විදියට මහා දානයක් දෙන්න නුවරවාසීන්ට නොහැකි ය
කියලා මල්ලිකා දේවිය රජතුමාට පැවසූවා.
රජතුමාත් ඒ සියල්ල ඒ ආකාරයෙන් කරවා දානය දුන්නා. මේ රජතුමා දුන්න දානයට අසදෘෂ
මහාදානය කියලා කියනවා. ඒ, නැවතත් මෙවැනි මහා දානයක් දෙන්නට සමතෙක් නැති නිසා.
එදා කොසොල් මහරජතුමා මේ මහා දානය දුන් අවස්ථාවේ රජතුමාගේ මහා ඇමැතිවරු දෙදෙනාගෙන්
එක් අයෙක් සිතට සතුටක් ඇති කර ගත්තා. අනිත් කෙනා අසතුටක් ඇති කර ගත්තා. කාල කියන මහ
ඇමැතියා කල්පනා කළා රජතුමා දහහතර කෝටියක් ධනය වැය කරමින් මේ කළේ ධනය විනාශ කිරීමක්
කියල. අනිත් මහ ඇමති ජුන්හ. ඔහු මේ මහා දානය උතුම් දානයක් යැයි සිතා සිත සතුටු
කරගෙන පින් අනුමෝදන් වුණා.
බුදු පාමොක් මහ සංඝයාට දානය පූජා කළ රජතුමා බුදු හාමුදුරුවන්ට අනුමෙවෙනි බණ වදාරණ
ලෙසට ආරාධනා කළ වේලාවේ අර කාල ඇමතියා කෙරෙහි අනුකම්පාවෙන් දීර්ඝ ධර්මයක් වදාරන්නේ
නැතුව එකම ගාථාවක් වදාළා.
පස්සෙ දවසක කොසොල් මහ රජතුමා ගියා විහාරයට. ගිහින් බුදුහාමුදුරුවන්ගෙන් අහනවා
ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, එදා ඉතාම ලොකු ධනයක් වියදම් කර දුන්නු මහා දාන පින්කමේ
දී ඔබ වහන්සේ අනුමෙවෙනි බණට වදාළේ එකම ගාථාවක් පමණයි. ඊට හේතුව කුමක් ද? කියා අසා
සිටියා.
බුදුරජාණන් වහන්සේ වදාළා. මහරජ, ඔබේ දානය සුළුකොට සලකා නොවෙයි මම එදා ගාථාවක්
ප්‍රකාශ කර නැවතුණේ. මහරජ, ඔබේ කාල මහ ඇමැති එදා ඒ දානය ගැන සිත අසතුටු කර ගත්තා.
මම එදා බණ වදාළා නම් ඒ ඇමැතියාගේ හිස සත්කඩකට පුපුරනවා. ඒ ගැන අනුකම්පාවෙනුයි මම
ධර්ම දේශනා නොකළේ කියා කරුණු පහදා වදාළා.
“නවෙ කදරියා දෙවලොකං වජ්ජති” මේ මිනිස් සමාජයේ සිටින මසුරු අය, ලෝභ අය දිව්‍ය ලෝකයේ
සැප විඳින්නට දෙව්ලොව යන්නේ නැහැ. බලා භවෙ නප්පසංසත්ති දානං බාල අය නැත්නම් මෝඩ අය
කිසිම දවසක දන්දීම ගැන නැත්නම් දානය ගැන ප්‍රශංසා කරන්නේ නෑ. ‘ධීරොච දානං අනුමොද
මානො’ මිනිසුන් අතර සිටින ධීර නම් වූ ප්‍රඥාවන්ත - ශ්‍රේෂ්ඨ අය දානාදී පින්කම් ගැන
ඉතා සතුටු වෙලා ඒ දානමය කුසල් අනුමෝදන් වෙනවා.
තෙනෙව සො හොති සුඛී පරත්ථතී ඒ කුසල් අනුමෝදන් වූ පින්වතුන් ඒ කුසල හේතුවෙන් ම පරලොව
දී දිව්‍ය සම්පත් අනුභව කරමින් කායික වශයෙනුත්, මානසික වශයෙනුත් ඉතා ප්‍රනීත වූ
සැපයක් ලබනවා.
අපේ මේ සැදැහැවතුන් සෑමදෙනා ම මතක තබාගන්න දානය කියන්නේ තමා සතු යම් වස්තුවක් විපාක
ඇත යන හැඟීම ඇතිව දීමයි. නියම විධියට දානය කියන්නේ යමක් පරිත්‍යාග කිරීමේ දී සිතේ
උපදින පිරිසුදු චේතනාවටයි. |