[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මානෙල්වත්තෙන් පිදෙන අද්විතීය ශාසනික පූජාව

මානෙල්වත්තෙන් පිදෙන අද්විතීය ශාසනික පූජාව

ලක්දිව ඉතිහාසයේ ප්‍රථමවරට ථෙරවාද ත්‍රිපිටකය මුද්‍රණය කොට නොමිලේ බෙදා දුන්නේ උන්වහන්සේ යි. ලක්දිව සෑම විහාරස්ථානයක ම භාවිත කරන පිරුවානා පොත් වහන්සේ උන්වහන්සේ නොමිලේ බෙදාදුන් ඒවා ය. ධර්ම ග්‍රන්ථ දහසකට අධික ප්‍රමාණයක්, ලක්ෂ සංඛ්‍යාත පිටපත් ප්‍රමාණයක් නොමිලේ බෙදා දුන් එදාමෙදාතුර ලක්දිව වැඩවිසූ එකම යතිවරයාණන් වහන්සේ උන්වහන්සේයි.

පළමු වරට බෞද්ධ ග්‍රන්ථ දමිළ භාෂාවෙන් පරිවර්තනය කොට නොමිලේ බෙදා දුන්නේ උන්වහන්සේ යි. 1990 දශකයේ ශ්‍රී ලංකාවේ සියලු දහම්පාසල් වෙත පෙළ පොත මුද්‍රණය කොට නොමිලේ බෙදා දුන්නේ උන්වහන්සේ යි. කොටින්ම කියතොත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ පළමු පරිගණකය පරිත්‍යාග කරන්නේ ද උන්වහන්සේ යි. මෑතකාලීන ලංකාවේ දැවැන්තම විශ්වවිද්‍යාල ආයතනය නිර්මාණය කළේ ද උන්වහන්සේ යි. ලක්දිව උන්වහන්සේ තරම් ශාසනික, ජාතික, සංස්කෘතික, අධ්‍යාපනික වශයෙන් දායකත්වය ලබා දුන් අන් යතිවරයකු සොයා ගැනීම දුෂ්කර ය. ඒ කවරෙකුවත් නොව ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

1‍957 පෙබරවාරි 03 වැනි දා ජන්ම ලාභය ලබන බෝදාගම චන්දිම නාහිමියන් 1970 නොවැම්බර් 08 ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් ව 1980 වර්ෂයේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබන්නේ මල්වතු මහාවිහාරයීය මංගල උපෝශථාගාරයේ දී ය. උසස් අධ්‍යාපනය අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරන චන්දිම නාහිමියන් ආචාර්ය උපාධිය තායිවාන් නෝර්මල් යුනිවර්සිටියෙන් ලබා ගන්නේ ය. සිය තාරුණ්‍ය ධර්ම අධ්‍යයනයට ම කැප කළ උන්වහන්සේ ඉනික්බිතිව ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරයට ප්‍රවිශ්ඨ වන්නේ ය.

බුද්ධශ්‍රාවිකා ශිෂ්‍යත්ව වැඩසටහන

බුදුදහමට ලැදියාවෙන් කාන්තාවන් පැවිදි වූව ද ඔවුන් විධිමත් ලෙස ගොඩනැඟීමේ බලගතු ක්‍රමවේදයක් ලක්දිව දක්නට නොලැබිණි. එබැවින් උන්වහන්සේ මෙහෙණිවරුන්ට විධිමත් අධ්‍යාපනයක් ලබා දිය යුතු ය යන අධිෂ්ඨානයෙන් බුද්ධශ්‍රාවිකා පිරිවෙන් ආයතනය ආරම්භ කරමින් එකී කටයුත්තට මුල පුරන ලදී.

එහෙත් මෙහෙණිවරුන්ගේ සුබසාධනය ඉතාම දුර්වල මට්ටමක පැවතුණු බැවින් ඔවුන්ගේ සුබසාධනය උදෙසා වැඩපිළිවෙළක් අවශ්‍ය විය. වහා ක්‍රියාත්මක වූ නාහිමියන් “බුද්ධශ්‍රාවිකා මහා පරිෂ්කාර පූජා පින්කම” ආරම්භ කරමින් කෝටි සංඛ්‍යාත ධනයක් බුද්ධ ශ්‍රාවිකාවන්ගේ සුබසාධනය උදෙසා යොදවන ලදී. එමඟින් වාර්ෂික ව මෙහෙණිවරුන්ට සිය ආරාමවල අඩුපාඩු සකස් කර ගැනීමටත්, සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලෙසත් එය උපස්ථම්භක වූ බව මෙරට සියලු මෙහෙණිවරු සාක්ෂි දරනා කාරණාවකි. එකී වැඩපිළිවෙළ අඛණ්ඩ ව 18 වැනි වරටත් පන්දහසක් බුද්ධශ්‍රාවිකාවන් වෙනුවෙන් මේ වසරේ නොවැම්බර් මස 18 වැනි දින මානෙල්වත්ත නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී පැවැත්වේ.

ලක්දිව සතර දිසාවැසි මෙහෙණිවරු පන්දහසක් එකම දිනක මානෙල්වත්තට වඩිමින් මුලු මානෙල්වත්ත ම එකම කහ යායක් බවට පත්වනුයේ එකී සුබසාධනය නිසාම ය.

එතැනින් නතර නොවූ නාහිමියන් උගත්, වියත්, වැදගත්, ගුණවත් මෙහෙණියක් නිර්මාණය කරනු වස් ධර්ම ප්‍රචාරයට සුදුසු දක්ෂ පක්ෂ බුද්ධශ්‍රාවිකාවන් උදෙසා ශිෂ්‍යත්ව වැඩසටහනක් ආරම්භ කරමින් එක් මෙහෙණියක් වෙනුවෙන් ලක්ෂ 10කටත් අධික වටිනාකමක් සහිත බෞද්ධ අධ්‍යයනය පිළිබඳ ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හැදෑරීමේ අවස්ථාව ලබා දුණි. ඒ තමන් වහන්සේ විසින් ආරම්භ කරන ලද ලක්දිව එකම සහ ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමත් සමඟ වීම විශේෂ කරුණකි.

අහිංසක ළමා විය අකාලයේ මියැදෙමින් ගිය මොහොතක මව්පිය රැකවරණය අහිමි දුවාදරුවන් වෙනුවෙන් ධර්මචක්‍ර ළමා පදනම ආරම්භ කරමින් ඔවුන්ගේ අනාගතය මල්ඵල ගන්වන්නට උන්වහන්සේ කටයුතු කරනුයේ අතිදීර්ඝ ඉතිහාසයක සිට ය. මේ සියල්ල ම සිදුකරනුයේ උන්වහන්සේ විසින් විදෙස්ගත ව ධර්ම ප්‍රචාරයෙහි යෙදමින් ලබා ගන්නා සම්පත් ආශ්‍රයෙනි.

මෙරට සුවිශේෂී විහාරස්ථාන ගණනාවක් ගොඩනැඟු උන්වහන්සේ සරණක් අවැසි ජනී ජනයා වෙතට අවුරුද්දේ තුන්සිය හැටපස් දින ම කුමක් හෝ සුබසාධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරති.

දැන් උන්වහන්සේ මිහින්තලා ඓතිහාසික භූමියේ පිහිටි අනුලා සෑය ප්‍රතිනිර්මාණය කිරීමට කටයුතු කරමින් තිබේ. එය ලක් සසුනේ තනි භික්ෂුවක් විසින් කිරීමට නියමිත දැවැන්තම ව්‍යාපෘතියයි. ඒ සඳහා උන්වහන්සේට අවශ්‍ය රටවැසියාගේ ආශිර්වාදය ම පමණි.

බෝධිසත්ත්ව පරමාදර්ශය සිය ජීවන ප්‍රතිපදාව කර ගත් උන්වහන්සේ පැරැණි භාරතීය නාලන්දාව යළි ප්‍රතිනිර්මාණය කිරීමේ අභිමානවත් ප්‍රයත්නය සනිටුහන් කරනු ලැබූයේ මානෙල්වත්තේ නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යයන ආයතනය නිර්මාණය කිරීමෙන් ය.

එය මේ ලක් සසුනේ භික්ෂුවක් විසින් සිදු කරන ලද අනභිබවනීය නිර්මාණයකි. අද්විතීය නිර්මාණයකි. එය දිනෙන් දින සිය අරමුණු කරා යමින් තිබේ.

උතුරු දෙමළ බොදුනු ජනයා උදෙසා ස්වකීය භාෂාවෙන් පරිවර්තනය වී ඇති බෞද්ධ පොත් පත්වල හිඟය අවබෝධ කරගත් උන්වහන්සේ වහා බෞද්ධ පොත්පත් දෙමළ භාෂාවට පරිවර්තනය කරමින් ඒවා දහස් ගණනින් උතුරු නැඟෙනහිර බෙදීමට කටයුතු සිදු කර තිබේ.

යුතුකම නිමා නැත. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ ‘මහණෙනි මේ සසුනේ අවසාන සාමාජිකයා ඔබ නොවන්න’ යනුවෙනි. (මා අන්තිම පුරිසා අහුවත්ථ) තායිවාන් ප්‍රධාන සංඝනායක, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාලයේ උපකුලපති, ධර්මචක්‍ර ළමා පදනමේ අධ්‍යක්ෂ, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමි ශිෂ්‍යත්ව පදනමේ නිර්මාතෘ, ආචාර්ය බෝදාගම චන්දිම නාහිමියෝ එකී බුදුවදන වෙනුවෙන් සිය උපරිම කිස කොට අවසන් ය. එහෙත් ගමන නිමා නොමැත. මේ ථෙරවාද සසුන සිව්වනක් පිරිස වෙනුවෙන් දේශීයවත්, ජාත්‍යන්තරවත් යළි යළිත් තහවුරු කිරීමේ වගකීම තිබේ. උන්වහන්සේගේ එකී උදාරතර ගමන වෙනුවෙන් ආශිර්වාද නොකරනුයේ කවුරුන් ද?

 

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]