[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 මහ සඟරුවනටසෞඛ්‍ය සම්පන්න දාන වේලක් පිළිගන්වමු

 මහ සඟරුවනටසෞඛ්‍ය සම්පන්න දාන වේලක් පිළිගන්වමු

අධිරුධිර පීඩනය, හෘදරෝග, අංශභාගය, දියවැඩියාව, පිළිකා ආදි බෝ නොවන රෝග වැලඳීම හා අයහපත් ජීවන රටාව අතර, තිබෙන්නේ දැඩි සම්බන්ධතාවක්.

අයහපත් ජීවන රටාවට අහිතකර ආහාර ද ඇතුළත්. මෙහිදී තෙල්, ලුණු, පිටි සහ සීනි අධික ආහාර සීමාව ඉක්මවා පරිභෝජනය ඉතාම අහිතකර වනවා. භික්ෂූන් වහන්සේ උදෙසා දානය පිළියෙල කරන අපේ බොහෝ දායකයන් පුරුදුවී සිටින්නේත් මෙවැනි ආහාරපාන දානය ලෙස සකසා පූජා කරන්නටයි. එය උන්වහන්සේගේ සෞඛ්‍ය සම්පන්න බවට බලවත් තර්ජනයක් වෙනවා.

අද බොහෝ වැඩිහිටි වගේම තරුණ භික්ෂූන් වහන්සේත් දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ආදි රෝගාබාධයන්ට ගොදුරු වී සිටින බව අපට නිතර දකින්නට ලැබෙනවා. අපගේ ගරුතර බුද්ධ පුත්‍රයන් වහන්සේ ආරක්ෂා කර ගන්නට දායක දායිකාවන්ගෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටුවිය යුතු වනවා. උන්වහන්සේට දානය සැකසීමේ දී වඩාත් සෞඛ්‍යවත් ව හා ආරක්ෂිතව දානය පිළියෙළ කිරීම ඉතාම වැදගත්. එය පින් පිරෙන උතුම් පින්කමක් ද වනවා.

සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරාගෙන දානය සකස් කිරීමට මාහැඟි මඟ පෙන්වීමක් මීට වසර කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශය හා බෝ නොවන රෝග ඒකකය විසින් ඉදිරිපත් කළ “පූජනීය භික්ෂු මහා සංඝරත්නය සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවක්” යන මැයෙන් කළ ප්‍රකාශනයේ ඇතුළත් වෙනවා. කාලීන අවශ්‍යතාව සලකා සෑම පුර පසළොස්වක පෝදාකම බුදුසරණ කලාපයේ එය කොටස් වශයෙන් පළ කෙරෙනවා.

ආහාරයට විවිධත්වයක් ඕනෑ

පෝෂණයෙන් සපිරි ආහාර වේලක පහත සඳහන් ආහාර කාණ්ඩ 06ට ම අයත් ආහාර දිනපතා අඩංගු විය යුතුයි. එබැවින් දානය පිළිගැන්වීමේ දී ආහාර කාණ්ඩ 06ට ම ආයත් ආහාර අඩංගුවීම වඩා සුදුසු වනවා. එමඟින් භික්ෂූන් වහන්සේට පෝෂණයෙන් සපිරි දාන වේලක් ලබා ගැනීමට හැකි වෙනවා.

පළමු ආහාර කාණ්ඩය – බත්, කුරක්කන්, බඩඉරිඟු, මෙනේරි ආදී ධාන්‍ය වර්ග අඩංගු ආහාර, දේශීය අල වර්ග, බතල, කොස්, දෙල්, ඉඳිආප්ප, පිට්ටු හා ආප්ප ආදී පිෂ්ටය බහුල ආහාර

දෙවැනි ආහාර කාණ්ඩය – පලතුරු

තුන්වැනි ආහාර කාණ්ඩය - එළවළු හා පලා වර්ග

හතරවැනි ආහාර කාණ්ඩය – පියළි හා ඇට වර්ග, (සෝයා, කඩල, කවුපි, මුං ඇට, උළුඳු, පරිප්පු හා කොල්ලු ආදී) මාළු, බිත්තර, හාල්මැස්සන් හා කරවල

පස්වැනි ආහාර කාණ්ඩය – කිරි හා කිරි නිෂ්පාදන

හයවැනි ආහාර කාණ්ඩය - තෙල් බහුල ඇට හා බීජ වර්ග (කජු, රටකජු, පොල්,තල ආදී)

එකම ආහාර කාණ්ඩයේ ඇති ආහාර වුව ද විවිධ පෝෂණ ගුණයෙන් යුක්ත ය. දානය සඳහා පිළියෙල වන විවිධ ආහාර පිළිගැනීම මඟින් භික්ෂූන් වහන්සේට විවිධ පෝෂක ශරීරයට ලැබෙන අතර, පෝෂණය අංග සම්පූර්ණ වෙනවා.

නැවුම් දේශීය පලතුරු

පලතුරුවල ශරීරය නීරෝගිව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය විටමින්, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක අත්‍යවශ්‍ය විටමින්, ඛනිජලවණ, ප්‍රතිඔක්සිකාරක හා තන්තු ද බහුලව අඩංගුයි. අධිකව ඇති තන්තු මඟින් මලබද්ධය වළකන අතර, කොලෙස්ටරෝල්, සීනි සහ අහිතකර ද්‍රව්‍ය වැඩිපුර ශරීරයට උරා ගැනීම අඩු කරනවා.

දිනපතා පලතුරු නිසි ලෙස භාවිතය මඟින් හෘදරෝග, පිළිකා, අධිරුධිර පීඩනය හා අංශභාගය වැනි බොහොමයක් රෝග වැලඳීමේ ප්‍රවණතාව අඩු කරනවා.

පලතුරු කැබලි වශයෙන් ආහාරයට ගැනීම පලතුරු යුෂ පානයට වඩා හිතකර වෙනවා.

පලතුරු යුෂ වශයෙන් පිළිගන්නේ නම් සීනි නොයොදා පානය වඩා සුදුසුයි.

එක් එක් වකවානුවල දී බහුලව තිබෙන දේශීය නැවුම් පලතුරු වැලඳීමත්,

අවම වශයෙන් දිනකට පලතුරු දෙවර්ගයක්වත් වැලඳීමත් සුදුසුයි.

සහල් වර්ගයටත් තේරීමක්

නිවුඩු සහිත සහල් හා තම්බපු සහල් යන දෙවර්ගය ම පෝෂණ ගුණයෙන් ඉහළ අතර, සහල්වලින් ලැබෙන පෝෂක වඩා සුරක්ෂිත ව එහි අන්තර්ගතයි.

එමෙන් ම සෞඛ්‍ය ප්‍රවර්ධනය කරන සංඝටක ද (තන්තු, ප්‍රතිඔක්සිකාරක හා සංකීර්ණ කාබෝහයිඩ්‍රේට්) මෙවැනි සහල්වල අන්තර්ගතවීම මඟින් රුධිරගත සීනි හා කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කර බෝ නොවන රෝග වැලඳීමේ අවදානම ද අඩු කරනවා.

එසේ ම එක් හිමිනමකට අවශ්‍ය බත් / පිෂ්ට ආහාර ප්‍රමාණය තීරණය කිරීමේ දී ඒ හිමිනමගේ උසට සරිලන ශරීර බර එනම් බී.එම්.අයි. අගය වයස, ක්‍රියාශීලි ද යන වග (ශරීරය වෙහෙසීම) හා වැලඳී ඇති රෝගාබාධ සලකා බලා එක් වේලකට අවශ්‍ය බත් හෝ පිෂ්ට ආහාර ප්‍රමාණය තමන් වහන්සේට ම මෙම උපදෙස් මාලාව කියවීමෙන් තීරණය කළ හැකියි.

අධිබර හා තරබාරු බව ඇත්නම් හෝ එතරම් ක්‍රියාශීලි නොවන ජීවන රටාවක් ඇති හෝ දියවැඩියාව, අධි කොලෙස්ටරෝල් තත්ත්ව ඇත්නම් බත් හෝ පිටි ආහාර ප්‍රමාණය අඩු කිරීම සුදුසුයි. ආහාර පාලනය මෙන් ම නිසි ශරීර බර පවත්වා ගැනීමට ක්‍රියාශීලිවීම හා ව්‍යායාම අත්‍යවශ්‍ය වෙනවා. අඩු බර තත්ත්ව හෝ මන්දපෝෂණය ඇත්නම් ආහාර ප්‍රමාණය වැඩි කිරීම සුදුසුයි.

එළවළු හා පලා වර්ග

එළවළුවල ශරීරය නීරෝගී ව තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය විටමින, ඛනිජ ලවණ, ප්‍රතිඔක්සිකාරක හා තන්තු ද බහුලව අඩංගු වනවා. ශරීරය වර්ධනය හා නිරෝගී ව නිසි ලෙස පවත්වා ගැනීම සඳහා විටමින් සහ ඛනිජ ලවණ අත්‍යවශ්‍යයි.

ශරීරයේ ඉතා වැදගත් පරිවෘත්තීය ක්‍රියා රැසකට මෙන් ම ප්‍රතිශක්ති පද්ධතිය කාර්යක්ෂම කරමින් නීරෝගි දිවියක් පවත්වා ගැනීමට ද විටමින් සහ ඛනිජ ලවණ උපකාරී වෙනවා. එළවළු වැඩි ප්‍රමාණයක් ආහාරයේ දිනපතා අන්තර්ගතවීම මඟින් බෝ නොවන රෝග වැලඳීමේ ප්‍රවණතාව අඩු කර ගන්න පුළුවන්. පලා වර්ගයක් ද ඇතුළුව අවම වශයෙන් එළවළු තුන් වර්ගයක් වැලඳීම වඩා සුදුසුයි.

නිර්මාංශ ආහාරයෙනුත් අංග සම්පූර්ණ පෝෂණයක්

පියලි හා ඇට වර්ග, මාළු, කරවල, බිත්තර, මස් ආදීය ප්‍රෝටීන බහුල ආහාරයි. ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වන්නේ ශරීරයේ වර්ධනය මෙන් ම නිසි ලෙස පවත්වා ගැනීමට යි. ශරීරයේ සෛල ගොඩනැඟී ඇති ව්‍යුහය ප්‍රෝටීන වන අතර එන්සයිම, හෝමෝන ඇතුළු ශරීරයේ විවිධ රසායනික ද්‍රව්‍ය නිපදවීමට ප්‍රෝටීන් අත්‍යවශ්‍ය වෙනවා. එමෙන් ම ප්‍රෝටීන් ශක්ති ප්‍රභවයක් වන අතර, එය ප්‍රතිශක්ති පද්ධතියේ පැවැත්ම සඳහා ද අත්‍යවශ්‍ය වනවා.

බොහෝ සංඝයා වහන්සේ කැමැති නිර්මාංශ ආහාර වේලක් වැලඳීමටයි. නිසි ලෙස සැලසුම් කරන ලද නිර්මාංශ ආහාර වේලක් මඟින් වුව ද සෞඛ්‍යවත් හා අංග සම්පූර්ණ පෝෂණයක් ලබන්නට පුළුවන්. ඒ බව විද්‍යානුකූල ව ඔප්පු වී තිබෙනවා. එසේ ම නිර්මාංශ ආහාර අනුභව කරන පුද්ගලයින් අතර අධිබර තත්ත්ව, තරබාරුව, දියවැඩියාව, හෘද රෝග පිළිකා, අධිරුධිර පීඩනය හා අධි කොලෙස්ටරෝල් තත්ත්ව වැනි බෝ නොවන රෝගාබාධා වැලඳීමේ අවදානම, මස් මාංශ අනුභව කරන අයට වඩා අඩු බව වෛද්‍ය පර්යේෂණ මඟින් සනාථ කර තිබෙනවා.

එසේම නිර්මාංශ ආහාර ගන්නා පුද්ගලයින්ගේ පරම ආයුෂය ද මස් මාංශ අනුභව කරන අයට වඩා වැඩියි.

ප්‍රෝටීනයක් නිර්මාණය වීමට අවශ්‍ය කුඩාම අනුව ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වනවා. මෙය වර්ග 21ක්. මෙයින් සමහරක් ශරීරය මඟින් නිපදවා ගත හැකි අතර 09ක් පමණ ශරීරය මඟින් නිපදවා ගත නොහැකියි. ඒවා ලබා ගත යුත්තේ ආහාර මඟින්. එය අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල” ලෙස හඳුන්වනවා.

ධාන්‍ය, පියලි හා ඇට වර්ග, එළවළු සහ තෙල් සහිත බීජ වර්ග දානයට එක්කර ගත් විට, නිර්මාංශ ආහාරයක් තුළින් වුව ද සියලු අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු සම්පූර්ණ ප්‍රෝටීන ආහාරයක් ලබා ගත හැකිවනවා. මෙවැනි ආහාර වේලක ශරීරයට අවශ්‍ය යකඩ ද අන්තර්ගතයි.

තවත් වටිනා ලිපියක් ඉල්පුර පෝදා කලාපයේ පළවේ

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]