[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දුක්ඛිත සසරින් එතෙර වීම ප්‍රාඥයා සතු ගුණාංගයකි

සසර යන්නෙහි කෙටි අදහස සැරිසැරීම යන්නයි. සැරිසැරීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ එක්තරා ආකාරයක තැනින් තැන ඇවිදීමකි. මේ ලෝකයෙහි ජීවත්වන අපි යම් යම් තැන්හී යම් යම් සේ ඇවිදිමු ද, එසේම සත්වයා ද කාමලෝක, රූපලෝක, අරූපලෝක, යන තෙවදෑරුම් ලෝකයන්හි ඉපදීම් මැරීම් වශයෙන් ඇවිදී. ඒ ඇවිදීම වූ කලි එක්තැනක ඉපදී, එහි ජීවත්ව සිට, එහිදී මැරී තවත් තැනෙක උපදිමින් සිදුවන ඇවිදීමකි. මෙය කෙළවරක් නොපෙනෙන ඇවිදීමකි. ඒ නිසා එයට සසර යැයි කියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ සංසාරය සාගරයකට ද, කාන්තාරයකට ද, සැඩපහරකට ද උපමා කොට ඇත. “මහණෙනි මේ සංසාරයෙහි නොපෙනෙන කෙළවර ඇත්තේ ය. අවිද්‍යාවෙන් වෙළී තෘෂ්ණාවෙන් බඳිනු ලැබ, දුවන සැරිසරන සත්වයන්ගේ මුල ද නොපෙනේ” යනුවෙනි. මහණෙනි, යම් පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ දඬු, අතුකොළ වේ නම් ඒවා කපා එක්රැස් කර අඟල් සතරේ කෑලිවලට කපා මේ මාගේ මව ය, මේ මාගේ මවගේ මව ය, ආදී ලෙස එම කෑලි වෙන් කරයි ද, ඒ මවගේ පරපුරේ කෙළවරක් නොවන්නේ ය. තණ, දඬු, කොළ, අතු, අවසන් වන්නේ ය. හේතුව අවිද්‍යාවෙන් වැසුණූ තෘෂ්ණාවෙන් බැඳුණු එහි සැරිසරන සත්වයන්ගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, ඔබ වහන්සේ විසින් දිගු කලක් දුක් විඳින ලදී. තියුණු දුක් විඳින ලදී. ඤාති ව්‍යසනාදී ව්‍යසන විඳින ලදී. එනිසා සසරෙහි නොඇලීම ම සුදුසුයි. තවදුරටත් මෙහිදී ප්‍රකාශ වන්නේ සංසාරික දුක්ඛ ස්වභාවය යි. අතෘප්තිකර කරදරකාරි ස්වභාවය යි. අමනාපයන් සමඟ එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, මවු මළ දුකට, පියා මළ දුකට, සහෝදරයා සහෝදරිය, දුව පුතා ආදීන් මළ දුකට, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, වෙනුවෙන් රෝග ව්‍යසනවලට මහණෙනි ඔබලාගෙන් වෑහුණු කඳුළු සිවු මහා සාගරයෙහි ජලයට වඩා වැඩි බවයි. සංසාරික ජීවිතයේ දී විඳිනු ලබන සැප සම්පත්වල ආස්වාදයන් නැත්තේ ම නොවේ. එහෙත් ඒ හා සමඟ ම ඒවායේ ආදීනව ද සැප සම්පත්වල වෙනස්වීම සහ අනිත්‍ය ස්වභාවය ද අතෘප්තිකර ස්වභාවයක් ද දක්නට ලැබේ. ඒ නිසා ම ඒවායෙන් නික්මිය යුතුයි. නිස්සරණයක් ලැබිය යුතු ය. කුමන විදියේ දෙව් මිනිස් සැප සම්පත් තිබුණ ද ඒවා අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක් සහගත ය. යමක් දුක් සහගත නම් මමය මගේ යැයි ගත යුත්තක් ද නැත්තේ ය.


බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]