[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

දුක්ඛිත සසරින් එතෙර වීම ප්‍රාඥයා සතු ගුණාංගයකි

දුක්ඛිත සසරින් එතෙර වීම ප්‍රාඥයා සතු ගුණාංගයකි

සසර යන්නෙහි කෙටි අදහස සැරිසැරීම යන්නයි. සැරිසැරීම යන්නෙන් අදහස් කරනු ලබන්නේ එක්තරා ආකාරයක තැනින් තැන ඇවිදීමකි.

මේ ලෝකයෙහි ජීවත්වන අපි යම් යම් තැන්හී යම් යම් සේ ඇවිදිමු ද, එසේම සත්වයා ද කාමලෝක, රූපලෝක, අරූපලෝක, යන තෙවදෑරුම් ලෝකයන්හි ඉපදීම් මැරීම් වශයෙන් ඇවිදී. ඒ ඇවිදීම වූ කලි එක්තැනක ඉපදී, එහි ජීවත්ව සිට, එහිදී මැරී තවත් තැනෙක උපදිමින් සිදුවන ඇවිදීමකි. මෙය කෙළවරක් නොපෙනෙන ඇවිදීමකි. ඒ නිසා එයට සසර යැයි කියනු ලැබේ. බුදුරජාණන් වහන්සේ සංසාරය සාගරයකට ද, කාන්තාරයකට ද, සැඩපහරකට ද උපමා කොට ඇත.

“මහණෙනි මේ සංසාරයෙහි නොපෙනෙන කෙළවර ඇත්තේ ය. අවිද්‍යාවෙන් වෙළී තෘෂ්ණාවෙන් බඳිනු ලැබ, දුවන සැරිසරන සත්වයන්ගේ මුල ද නොපෙනේ” යනුවෙනි.

මහණෙනි, යම් පුරුෂයෙක් මේ දඹදිව යම්තාක් තණ දඬු, අතුකොළ වේ නම් ඒවා කපා එක්රැස් කර අඟල් සතරේ කෑලිවලට කපා මේ මාගේ මව ය, මේ මාගේ මවගේ මව ය, ආදී ලෙස එම කෑලි වෙන් කරයි ද, ඒ මවගේ පරපුරේ කෙළවරක් නොවන්නේ ය. තණ, දඬු, කොළ, අතු, අවසන් වන්නේ ය. හේතුව අවිද්‍යාවෙන් වැසුණූ තෘෂ්ණාවෙන් බැඳුණු එහි සැරිසරන සත්වයන්ගේ මුල් කෙළවර නොපෙනේ. මහණෙනි, ඔබ වහන්සේ විසින් දිගු කලක් දුක් විඳින ලදී. තියුණු දුක් විඳින ලදී. ඤාති ව්‍යසනාදී ව්‍යසන විඳින ලදී. එනිසා සසරෙහි නොඇලීම ම සුදුසුයි.

තවදුරටත් මෙහිදී ප්‍රකාශ වන්නේ සංසාරික දුක්ඛ ස්වභාවය යි. අතෘප්තිකර කරදරකාරි ස්වභාවය යි. අමනාපයන් සමඟ එක්වීමෙන්, මනාපයන්ගෙන් වෙන්වීමෙන්, මවු මළ දුකට, පියා මළ දුකට, සහෝදරයා සහෝදරිය, දුව පුතා ආදීන් මළ දුකට, ඥාති ව්‍යසන, භෝග ව්‍යසන, වෙනුවෙන් රෝග ව්‍යසනවලට මහණෙනි ඔබලාගෙන් වෑහුණු කඳුළු සිවු මහා සාගරයෙහි ජලයට වඩා වැඩි බවයි.

සංසාරික ජීවිතයේ දී විඳිනු ලබන සැප සම්පත්වල ආස්වාදයන් නැත්තේ ම නොවේ. එහෙත් ඒ හා සමඟ ම ඒවායේ ආදීනව ද සැප සම්පත්වල වෙනස්වීම සහ අනිත්‍ය ස්වභාවය ද අතෘප්තිකර ස්වභාවයක් ද දක්නට ලැබේ. ඒ නිසා ම ඒවායෙන් නික්මිය යුතුයි. නිස්සරණයක් ලැබිය යුතු ය. කුමන විදියේ දෙව් මිනිස් සැප සම්පත් තිබුණ ද ඒවා අනිත්‍යය. යමක් අනිත්‍ය නම් එය දුක් සහගත ය. යමක් දුක් සහගත නම් මමය මගේ යැයි ගත යුත්තක් ද නැත්තේ ය.

කාම, දිට්ඨි, භව,අවිජ්ජා යන සැඩ පහර හතරට පෘථග්ජන සත්වයෝ අසුවී සිටිති. පටිච්ච සමුප්පාදය අවබෝධ කර නොගැනීමෙන් සත්වයා සසර දිගුකලක් ඇවිදින බව බුද්ධ භාෂිතයයි. ඉහත කරුණුූ හතරෙන් ම සත්වයා සුගතිගාමීත්වයෙන් වළක්වා සසර ඇවිද්ද වන බව පැහැදිලි වෙයි. එසේ නම් කළ යුත්තේ කුමක් ද? සසර සැරිසරන, චතුර් ඕඝයට අසුව සිටින සත්වයා ඉන් මුදා ගැනීමයි. ඒ සඳහා සැමදා සිල්වත්ව සිටිමින්, ප්‍රඥාවෙන් පරිපූර්ණ ව නිවැරැදි වීර්යයෙන් ද යුක්ත විය යුතු ය.

චතුරාර්ය සත්‍ය ධර්ම විස්තරයේදී ආර්යඅෂ්ඨාංගික මාර්ගය ම එකම මාර්ගය බව දක්වා තිබේ.

සම්මා දිට්ඨි – යහපත් දැකීම - ප්‍රඥා

සම්මා සංකප්ප – යහපත් සංකල්පනා

සම්මා වාචා – යහපත් වචන

සම්මා කම්මන්ත – යහපත් කායික ක්‍රියා – සීල

සම්මා ආජීව – යහපත් දිවිපෙවෙත

සම්මා වායාම – යහපත් වෑයම

සම්මා සති – යහපත් සිහිය – සමාධි

සම්මා සමාධි – යහපත් සමාධිය

බුද්ධ දේශිත දහස් ගණන් ධර්ම කාරණාවල සාරය මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය බව පැහැදිලි ය. මේ අංග අටෙන් අදහස් කරන්නේ බුදුදහමේ ඉගැන්වෙන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණු කර පරිපූර්ණත්වයට පැමිණීමයි. සීලය වනාහි බුදුදහමේ පදනමයි. සීලමය ශික්ෂාව පිරීමේ දී කරුණාව හා ප්‍රඥාවට මුල්තැන දිය යුතු ය. ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සමාධි ශික්ෂාවට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග තුන ඇතුළත් ය. මෙහිදී නූපන් අකුසල් ඉපදීමට ඉඩ නොදීම, උපන් හෙවත් තමා තුළ පවත්නා අකුසල් නැති කිරීමත්, නූපන් කුසල් ඉපිදවීමත්, උපන් කුසල් දියුණූු කිරීමත් කළ යුතු ය.

සත්වයාගේ විසුද්ධිය පිණිස පවත්නා ඒකායන මාර්ගය හැටියට සැලකෙන සතර සතිපට්ඨානය වැඩීම සසරින් එතෙර වීමේ දී අවශ්‍ය වන යථා තත්වාවබෝධයට අතිශයින් ම ඉවහල් වෙයි. සම්මා සමාධිය ධ්‍යාන සතර ලබා ගැනීමට ඉවහල් වෙයි. පංචනීවරණ ධර්ම යටපත් වී සම්මා සමාධියේ දී ඒකාග්‍රතාවෙන් යුතු පිරිසුදු උපේක්ෂාවත් සිහියත් ඇති වෙයි. චතුරාර්ය සත්‍ය පිළිබඳ යථාතත්වාවබෝධය සම්මා දිට්ඨියෙන් සිදුවෙයි. කම්සැප හැර දැමීමේ කල්පනා, ව්‍යාපාදයෙන් තොර මෛත්‍රී කල්පනා සහ හිංසාවෙන් තොර කරුණා කල්පනා සම්මා සංකල්ප අංගයට ඇතුළත් ය.

ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අටෙන් අදහස් කරන්නේ සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවන් දියුණ ූකර පරිපූර්ණත්වයට පුද්ගලයා පැමිණවීම ය. බොහෝ දෙනකු පින්දහම් කරනු ලබන්නේ සසර එපා වී සසරින් එතෙරවීමට නොව සසර පතාම බව දක්නට ලැබේ. ආර්ය අෂ්ඨාංගික මාර්ගය තනි තනිව එක එක මාර්ග නොව පොදුවේ හැම ගුණාංගයක් ම එකවර සමගාමී ව පුහුණූු කළ යුතු ව ඇත. සසරින් එතෙර වීමේ මාර්ගයේ දී චතුරාර්ය සත්‍යය සම්බන්ධ ව පුද්ගලයකු විසින් කළ යුතු කාර්යයෝ සතරක් වෙති.

දුක්ඛ සත්‍යයෙන් ජීවිතයේ ස්වභාවයත්, එහි දුක් දොම්නස් භාවය මෙන් ම අඩුපාඩුත්, එහි වෙනස්වන සුලු බවත්, දැක්වෙන බැවින් එය සත්‍යයක් බව වටහා ගත යුතු ය.

සමුදය සත්‍ය නම් තෘෂ්ණාව මුල්කර ගෙන පවත්නා කෙලෙස් නිසා දුක හටගන්නා බව ය. මෙය ද සත්‍යයක් බව වටහා ගත යුතු අතර, එය ම ප්‍රමාණවත් නොවේ.

එසේ නම් කළ යුත්තේ තෘෂ්ණාව ප්‍රහාණය කිරීමයි. නැති කිරීමයි. නිරෝධ සත්‍යය නම් නිර්වාණයයි. පරම සත්‍යයි. සසරින් එතෙරවීමයි. නැවත උපතක් ඇති කරන තෘෂ්ණව සහමුලින් ම නැති කිරීමයි.

කාමච්ඡන්දාදී දශ සංයෝජනයන් සෝවාන් ආදී මාර්ග හා ඵල සතරෙන් බිඳ දමා කෙලෙස් සහමුලින් ම දුරු කර ලබන අරහත්භාවය ලබා නිවන් සාක්ෂාත් කිරීමයි. සැබැවින් ම මේ දිවිය ටික කලක් ම පවතින බැවින් කළ යුතු වන්නේ අරිඅටඟි මඟ පිළිපැදීමයි. වැඩීමයි. පුහුණුූ කිරීමයි. ක්‍රියාත්මක වීමයි.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]