[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසර පුරා සතුටු වෙන්න සැදැහැ සිතින් පින් කරන්න

සසර පුරා සතුටු වෙන්න සැදැහැ සිතින් පින් කරන්න

යම් කිසි පුද්ගලයෙක් තමන්ගේ ජීවිත කාලය තුළ දී සිදුකර ගන්නා කුසලාකුසල කර්මවලට ගැළපෙන ආකාරයට ඔහුගේ ඊළඟ භවය සකස් වෙන බව ඔබ දන්නවා. ඊළඟ ආත්ම භාවය කොයි වගේද, කොහෙටද යන්න වෙන්නේ කියලා නිශ්චිතව ම කියන්න බෑ. ඒක නිර්මාණය වෙන්නේ තමන් කරපු පින් කුසල්වලට අනුව ම තමයි.

නමුත් ඇතැම් පුද්ගලයන්ගේ මරණාසන්න අවස්ථාවේ දී තමන් ඊළඟට යන තැන පිළිබඳ යම් යම් ගති නිමිති පහළ වෙන අවස්ථාත් නැතුවාම නොවේ. ගිනිදැල්, මිය පරලොව ගිය ඥාතින්, කරුවල, වනසතුන්, මල්මාලා, විමාන, දිව්‍ය රථ.... ආදී දේවල් දර්ශනය වෙනවා. නමුත් අප නිතරම කුසල කර්ම සිදු කරනවා නම් ඊළඟ භවය සුගතිගාමීවීමේ වැඩි ප්‍රවණතාවක් තියෙනවා. එතකොට ඊළඟ භවය ගැන බය වෙන්නට අවශ්‍ය නැහැ.

තමන්ගේ ජීවිත කාලය තුළ දී පින් කුසල් සිදු කරපු කෙනෙක් මිය පරලොව යන්නට සූදානම් වූ විට ඔහුට දෙවිවරු ඇවිත් ආරාධනා කරනවා කියලා සඳහන් වෙනවා . පහතින් දැක්වෙන්නේ එවන් එක් කතාවක්.

භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කාලේ දී එනුවර ධම්මික කියලා උපාසකයෙක් වාසය කළා. මොහුට දියණිවරු හත් දෙනෙක් හා පුතණුවරු හත් දෙනෙක් සිටිනවා. මේ උපාසකතුමා ඉතා ශ්‍රද්ධාවන්තයි. තුණුරුවන්ට නිතර දාන මාන දෙනවා. මොහුගේ බිරිඳත්, දූ දරුවනුත් ඒ වගේම පිනට දහමට ලැදියි.

මෙහෙම දැහැමින් කල් ගෙවන ධම්මික උපාසකතුමා කල්යත්ම රෝගාතුර වෙනවා. දැන් තනියම කිසිවක් කර ගන්න බෑ. ඇඳට වෙලා ඉන්න කොට උපාසකතුමාගේ ආයුසංස්කාරය පිරිහී යනවා. රෝගී ව ඇඳ මත ඉන්න උපාසකතුමා දරුවන්ට කතා කරලා කියනවා ‘දරුවනේ, මට බණක් අහන්න ඕන, ඒ නිසා භික්ෂූන් වහන්සේ වඩමවන්න කියා. ඊට පස්සේ දරුවන් මේ බව භාග්‍යවතුන් වහන්සේට දන්වා භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ නිවසට පැමිණෙනවා.

උන්වහන්සේ උපාසකතුමාගේ නිවසට වැඩමකොට ඔහුගේ ඇඳ අසල වැඩ සිටියා. එවිට උපාසකතුමා කියනවා ‘ස්වාමීනි! දැන් මට තියෙන්නේ ඔබ වහන්සේගේ පිහිට විතරයි. ඔබ වහන්සේ දැකීම මට මහත් පිහිටක්. එදා මාගේ ශරීරයෙහි තුබූ ශක්තිය දැන් නැහැ. ඇස් දෙකත් ටිකක් පේනවා අඩුයි, කන් ඇසීමත් ටිකක් අඩුයි. හැකි නම් මට සියලු ශාස්තෘන් වහන්සේ විසින් අත් නො හැර ගෙන ආ ‘මහාසතිපට්ඨාන සුත්‍රය’ වදාරන්න” කියලා. පසුව භික්ෂූන් වහන්සේත් එය දේශනා කරන්නට පටන් ගත්තා.

මෙසේ දේශනාව සිදුකර ගෙන යනවිට උපාසකතුමාගේ පින් බලය නිසා දිව්‍යලෝක හයෙන් ම දහස දහස අසුන් යොදා අලංකාරවත් ව සැරසූ දිව්‍ය රථ හයක් ඇවිත් උපාසකතුමාට පෙනෙන්නට අහසේ නවතා ගෙන ‘උපාසක තුමනි, මැටි බඳුනක් බිඳ රන් බඳුනක් ගත්තකු සේ අපගේ දෙව් ලොවට යන්නට මේ රියට නගින්න, මේ රියට නගින්න” කියලා වෙන වෙන ම කියා සිටිනවා.

එක සිතින් බණ අහන්නට බැරි නිසා උපාසකතුමා ඒ දෙවිවරුන්ට ‘බණට අනතුරු නොකොට, මෙය අවසන් වනතුරු පොඩ්ඩක් ඉවසන්න” කියලා අත වනලා සංඥා කළා. මෙය දුටු භික්ෂූන් වහන්සේ ‘බණ නවත්තන්න කියා උපාසකතුමා කියනවා වෙන්න ඇති’ කියා සිතා දේශනාව නතර කරනවා. නිවසේ පිරිසක් කලබල වෙලා.

“අනේ අපේ තාත්තා මීට කලින් කවදාවත් මෙහෙම කරලා නෑ, සිහිය අඩු වෙලාද දන්නේ නෑ. ඉස්සර නම් තාත්තා කොච්චර බණ ඇසුවා ද? තාත්තා ම බණ අහන්න ඕන කියලා, තාත්තා ම බණ නවත්තන්න කිවුවා. මරණ බිය නිසා වෙන්න ඇති එහෙම කළේ” කියලා අඬන්නට පටන් ගත්තා. භික්ෂූන් වහන්සේත් දැන් බණ කියන්න තරම් වාතාවරණයක් නෑ කියා හිතා විහාරයට වැඩියා.

සුළු මොහොතකට පසුව උපාසකතුමා දරුවන්ට කතා කරලා අහනවා

“නුඹලා මොකද මේ අඬන්නේ” කියලා ‘තාත්තා ම භික්ෂූන් වඩමවලා බණ අහන්න ඕන කියලා තාත්තා ම නැවත බණ කියන එක නතර කළා. තාත්තා මරණ බය නිසා එහෙම කළා කියා හිතලයි අපි ඇඬුවේ” කියලා දරුවන් කියනවා.

‘නෑ නෑ දරුවනි, මම මරණයට බිය නෑ. කොහි ද දැන් හාමුදුරුවරු” කියා නැවත උපාසකතුමා අසන විට දරුවන් කියනවා “උන්වහන්සේ බණ කියන්නට දැන් ඉඩක් නෑ කියා නැවත විහාරයට වැඩියා” කියලා.

එතකොට හරි පුදුම කතාවක් මේ ධම්මික උපාසකතුමා කියනවා. “මම උන්වහන්සේට බණ නවත්වන්න කියලා කිවුවේ නෑ. දිව්‍ය ලෝක හයෙන් ම දිව්‍ය රථ ඇවිල්ලා අහසේ නවතාගෙන “අපේ දෙව්ලොව සැපතින් මහත් ය, අපේ දෙව්ලොව සැපතින් මහත් ය, අපේ දෙව්ලොවට එන්න! මේ රියට නඟින්න! මේ රියට නඟින්න’ කියලා කියනවා. ඒ ශබ්දය මට බණ අහන්නට කරදර වූ නිසා බණ අවසන් වෙනතුරු පොඩ්ඩක් ඉවසන්න කියා තමයි මම දෙවිවරුන්ට සංඥා කළේ” කියලා.

එවිට දරුවන් අහනවා “කොහෙද තාත්තේ ඒවා. අපිට නම් එකක්වත් පේන්නේ නෑ” කියලා. එතකොට උපාසකතුමා ගොතපු මල්මාලාවක් ගෙන්වාගෙන තමන්ගේ දරුවන්ගෙන් අහනවා

“වඩාත්ම සිත්කලු මොන දිව්‍ය ලෝකය ද” කියලා. දරුවන් හැමෝම කියනවා ‘තුසිත දෙව්ලොව හැමෝට ම සිත්කලු යි” කියලා. අන්න එතකොට උපාසකතුමා කියනවා “එහෙනම් මේ මල් මාලාව තුසිත දෙව්ලොවින් ආ දෙව් රියේ රැඳේවා’යි හිතාගෙන අහසට විසිකරන්න” කියලා. කියූ ලෙසම දරුවන් එසේ සිතා ගෙන මල් මාලාව අහසට වීසි කරනවා. මල් මාලාව තුසිත දෙව්ලොවින් ආ රියේ රැඳෙනවා. ඒත් හැමෝට ම පේන්නේ මල් මාලාව විතරයි. දිව්‍ය රථය පෙනෙන්නේ නෑ.

උපාසක රැස්වෙලා හිටපු අයගෙන් අහනවා මල් මාලාව පේනවා ද කියලා. ඔවුන් “ඔව් පේනවා” කියපු විට, ඒ මල් මාලාව රැඳී තිබෙන්නේ තුසිත දෙව්ලොවින් ආ රථයේ. ඒ නිසා මම දැන් තුසිත දෙව්ලොවට යන්නට ඕන, ඒ පිළිබඳ ඔබලා දුක් වෙන්නට ඕන නෑ, ඔබලාත් මගේ ළඟට එන්න. ඒ සඳහා තව තව පින් කරන්න. දන් දෙන්න. සිල් රකින්න. භාවනා කරන්න. පන්සිල් රකින්න. පව්කම්, වැරැදි කිසි දවසක නො කරන්න. කරුණා මෛත්‍රි ආදී වූ ගුණ දියුණු කරන්න” කියලා අවවාද කර මනුලොවින් චුතව තුසිත දෙව්ලොවින් ආ රථයෙහි නැඟී දෙව්ලොවට පිටත් වුණා.

උපාසකතුමාගේ ආරාධනාවෙන් වැඩිය භික්ෂූන් වහන්සේ සවස් කාලයේ දී සිදු වූ දෙය භාග්‍යවතුන් වහන්සේට වදාළා. එවිට භාග්‍යවතුන් වහන්සේ සැබැවින් ම සිදු වූ දෙය පවසා උපාසකතුමා දැන් තුසිත දෙව්ලොව පහළව ඉන්නවා” කියා පහත ගාථාව දේශනාකොට වදාළා.

ඉධ මොදති පෙච්ච මොදති
කතපුඤ්ඤො උභයත්ථ මොදති,
සො මොදති සො පමොදති
දිස්වා කම්මවිසුද්ධිමත්තනො ති

මෙලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාම යි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාම යි. දෙලොව දී ම සතුටු වෙන්නෙත් ඔහු ම යි. තමන් විසින් කර ගත් පිරිසුදු කුසල කර්ම දැක, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා.

පිනේ බලය එයයි. මියගිය පසු කොහේ ඉපදෙනවා ද කියලා කවුරු බය වුණත් තුන් සිත පහදවා ගෙන පින් කරපු කෙනාට නම් බය නෑ. මොකද පින් කුසල් කරපු කෙනෙක් දුගතියේ නො යන නිසා. එනිසා අප ඔබට මෙත් සිතින් යෝජනා කරනවා, කරන පිනට ආසා වෙන්න. ආසාව ඇති කරගෙන පින් කරන්න. එසේම පින් කරන ඔබට, ඊළඟ භවය ගැන නම් බය වෙන්නට දෙයක් නෑ.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]