[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු සසුන් කෙතෙහි අමාපල ගන්වන බීජය

සම්බුදු සසුන් කෙතෙහි අමාපල ගන්වන බීජය

ශ්‍රද්ධා තොමෝ දානාදී හැම ගුණ රුවන් ගන්නා අතක් මෙන් ද, හස්තසාර වස්තුවක් මෙන් ද, බුදු සසුන් කෙතෙහි අමාපල ගන්වන බීජයක් මෙන් ද, සසර ගමනට මාර්ගෝපකරණයක් සේ ද ලැබීම් අතුරෙන් උසස් ම ලාභය මෙන් ද, ආර්ය ධනය මෙන් ද, ශ්‍රද්ධාවෙහි පිහිටීම උසස්ම පිහිටීම යි ද, මේ ඈ නොයෙක් ලෙසින් වර්ණනා කොට ඇත්තේ ය.

මෙලොව ශ්‍රද්ධා විරහිතයෝ ම දුසිරිත් හි යෙදෙති. සුසුරිතින් වැළැකෙති. සැදැහැ නැත්තන්ගේ පරලෝ උපත ද අනිටු වන්නේ ය. සැදැහැත්තා හොඳින් තෙරුවන් ගුණ අදහන හෙයින් පින් පව් ද විශ්වාස කෙරෙයි. ඒ විශ්වාසය ම පවින් වැළැක, කුසල්හි පිහිටීමට උදව් කෙරෙයි. එවිට ඔහුට පරලෝ වශයෙන් ද සුගතියක් ම ලැබේ. පරලෝ යහපත පිණිස හේතුවන කරුණින් ශ්‍රද්ධාව පළමු කොට ම දේශනා කළේ එහෙයිනි. බුදු සසුන මිහිරි පැන් පොකුණක් බඳු ය. ශ්‍රද්ධාව තොටුපළ සේ ය. ශ්‍රද්ධා තොටුපළ හෙළි පෙහෙළි කැරැ ගැනුමෙන් ම ඉමිහරි බුදු සසුන් පැන් පොකුණෙන් වැඩ සලසා ගත හැකි ය.

ඒ ශ්‍රද්ධාව ලක්ෂණ වශයෙන් චතුර්විධ ය.

සම්පසාදන ලක්ඛණා සද්ධා
සම්පක්ඛන්දන ලක්ඛණා සද්ධා
ඔකප්පන ලක්ඛණාසද්ධා
සද්දහන ලක්ණා සද්ධා යනුවෙනි.

සම්පසාදන ලක්ඛණා සද්ධා

සිත් සතන් පහදනා ස්වභාවය ඇති ශ්‍රද්ධාවයි. සක්විති රජුට උදක ප්‍රසාදක මාණික්‍ය නමින් හඳුන්වනු ලබන දිය පහදනා මැණිකක් තිබේ. එය කැලැත්දියෙහි ලූ කලැ දිය පිරිසුදු වෙයි. එමෙන් ම ශ්‍රද්ධා තොමෝ සිත් සතන්හි ලැගැ පවත්නා කෙලෙස් මඩ යට බස්වා සිත පහන් බවට පමුණුවයි.

සම්පක්ඛන්දන ලක්ඛණා සද්ධා

“කරමි” යි ඉටාගත් යම් පින් කිරියෙක්හි කොතෙක් අවහිර පැමිණිය ද, නොපසු බා ඉදිරියට විත් කිරීමයි. කිහිරඟුරුදායෙහි (කිරංගාර ජාතකය) මරහු මැවූ කිහිරගුරු වල පවා පාගා ගෙන ගොස් බුදුනට පිණ්ඩපාතය පිළිගැන් වූ මහ බෝසතාණන්ගේ ශ්‍රද්ධාව වැනි ශ්‍රද්ධාවයි.

ඔකප්පන ලක්ඛණා සද්ධා

තුනුරුවන් ගුණ තතු සේ දැන, එහි බැස ගෙන මෙන් කා වැදී ගිය ශ්‍රද්ධාවයි. එය ඉන්ද්‍රඛීලය සේ ස්ථිරව පිහිටා සිටී. මෙසේ පහන් තැනැත්තා කවර හේතුවක් නිසා වත් තමන් ගේ පැහැදීම වෙනස් කර නො ගනී. සුරම්බට්ඨයාගේ අචල ශ්‍රද්ධාව මෙනි.

තුනුරුවන් ගුණ තතු සේ නොදත් බැවින් හෝ වරදවා සිතා ගත් බැවින් හෝ ඇතිවිය හැකි සැකයේ වශයෙන් නො පසුබැස යෝනිසෝමනසිකාරයෙන් සැක විමති බැහැර කොට අදහන ස්වභාවය ඇති ශ්‍රද්ධාවයි.

ශ්‍රද්ධාවන්තයාගේ ස්වභාවය

“දස්සන කාමො සීලවතං - සද්ධම්මං සොතුමිච්ඡති
විනෙය්‍ය මච්ඡෙර මලං - සවෙ සද්ධොති වුච්චති”

සිල්වතුන් වහන්සේ දක්නට කැමැත්ත, බණ ඇසීමට කැමැත්ත, දීමට කැමැත්ත යන ගති තිබෙන තැනැත්තා ශ්‍රද්ධාවන්තයා යි දේශනා කොට තිබේ. එසේම “සද්ධාචරිතස්ස, මුත්තවාගතා - දෙන දැයෙහි නො එල්ලීම, අරියානං දස්සන කාමතා - බුද්ධාදී ආර්යයන් දක්නා කැමැති බව, සද්ධම්මං සොතුකාමතා, බණ ඇසීමට ඉතා කැමැති බව, පාමොජ්ජබහුලතා - පී‍්‍රති බහුල බව, අසංසට්ඨතා - රජ ඇමැති ආදීන් හා එක් ව නොවසන බව, ආමායාවිතා - ඇති දොස් මුවහ කිරීම සංඛ්‍යාත මායා රහිත බව, ප්‍රසාදනීයෙසුඨානෙසු පාසාදොති - පැහැදිය යුතු තැන පහදින බව යන මේ ස්වභාවය සත ශ්‍රද්ධාවන්තයා කෙරෙහි බොහෝවිට දක්නට ලැබෙන ගති සතකි.

මෙකී ශ්‍රද්ධාව පුද්ගලයාගේ දෙලොව ම දියුණුව සලසා ගැනීමට උපනිශ්‍රය වේ.

බිනර  පුර අටවක

සැප්තැමිබර් 22 සිකුරාදා අ.භා. 01.32 න් පුර අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 12.15 න් ගෙවේ. 22 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]