බිනර පුර අටවක පෝ දා 2023-09-22
සැප සොයමින්
දුක උරුම කර ගැනීම
ජීවිත කාලය පුරා සැප මිස දුක ලබන්නට කිසිවෙක් කැමැති නොවෙති. කෙනෙක් ධර්මානුකූල මඟට
පිවිසෙමින් සැප බලාපොරොත්තු වන අතර තවත් කෙනෙක් අදැහැමිකම් කොට සැප සොයා යති.
අදැහැමි මඟ තුළ වර්ධනය වන්නේ ආත්මාර්ථකාමී සිතිවිලි ය. එවිට අනුන්ට වන අයහපත ගැන
කිසිදු තැකීමක් නොවේ.
වත්මන්හි අප අත්විඳින විවිධ සමාජ සංසිද්ධීන් හි බොහෝවිට ගම්‍ය වන්නේ භෞතික සැප
සම්පත් පසුපස හැල්මේ දිවයන බොහෝ පිරිස් ඒ ගමන තුළ තාඩනයට, පීඩනයට, අපහසුවට, විනාශයට
පත් වන්නේ කවරෙක් ද යන්න ගැන කිසිදු තැකීමක් නොකරන බව ය. ඒ තුළ සොර සතුරු බිය සේ ම
ජීවිත බිය ද වර්ධනය වෙමින් තිබේ. එවැනි සමාජය අතෘප්තිකර ය.
උදාහරණයක් ලෙස අද මත්ද්‍රව්‍ය භාවිතය මහා සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබේ. පාසල්
දරුවාගේ පටන් මහල්ලා දක්වා ම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ ගොදුරු බවට පත්වෙමින්
සිටී. දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ එය බොහෝ තැන්හි සිදුවෙමින් තිබේ. තමන්ගේ සැපය
සුවය උදෙසා අහිංසක ජීවිත විනාශ කිරීම මේ කූඨ ව්‍යාපාරිකයන්ගේ ස්වභාවය වන්නේ ය. මේ
මොහොතේ තමන්ට සැප සැලසෙනවා නම් අනුන්ගේ වැනසීම ඔවුන්ට වගක් නැත.
එක් පැත්තකින් මේ විෂ ද්‍රව්‍යයන්ට පුරුදුවන අය නුදුරු දිනෙක දී ම බරපතළ රෝග
ව්‍යසනයන්ට ගොදුරු වේ. අධ්‍යාපනය, රැකියාව ඇතුළු සියලු දේ අඩපණ වේ. වැනසේ. ආර්ථිකය
කඩා වැටේ. සමාජයේ අපකීර්තියට පත්වේ. අවිශ්වාසයට බඳුන් වේ. ජීවිතය ම පිරිහේ. මෙසේ
මෙලොව ද අවාසනාවන්ත ජීවිත ගත කොට පරලොව ද දුක්ඛිත තත්ත්වයට පත්වේ.
මේ බෞද්ධ සමාජයක නොදැකිය යුතු තත්ත්වයකි. තණ්හාධික බව තුළ වර්ධනය වන වෛරයේ,
ක්‍රෝධයේ ගිනිදැල් බලවත්වීම තුළ පවුල, සමාජය, ගම, රට විනාශ වේ.
අහිංසකයන් බිල්ලට දෙමින් තමන්ගේ බල තණ්හාවන් මුදුන් පමුණුවා ගනු පිණිස, එයම සැපයක්
සේ සිතමින්, උඩඟුකමින් හිස උදුම්මාගත් නායකයන්ගේ ක්‍රියා කලාපය නිසා ලොව පුරා ඇවිල
යන යුද ගිනිදැල් ද මේ මුළාවේ පල ය.
මේ උදාහරණ කිහිපයක් පමණි. ඉපදී මිය යන සුළු කාලයට සාමකාමී ජීවිතයක් ගෙවනු විනා
අනුන්ට කරදරයක් වෙමින් ජීවත්වීමේ පල රහිත බව අවබෝධ කොට නොගන්නාතාක් අපගේ ජීවිත
අඳුරේ ය. ඒ අඳුරෙන් ආලෝකය වෙත යන්නට සම්බුදු දහමින් ලැබෙන්නේ මිල කළ නොහැකි සදූපදේශ
ය.
සුඛකාමානි භූතානී - යොදණ්ඩෙන න හිංසතී
අත්තනො සුඛ මෙසානො - පෙච්ච සො ලභතෙ සුඛං
සැප බලාපොරොත්තු වන යම් කෙනෙක් සැප කැමැති සතුන් පෙළිම්, නැසීම් නොකෙරේ නම් ඔහු සැප
ලබන්නෙකි'යි ධම්ම පදයේ සඳහන් වේ. ඒ පුද්ගලයා සැප ලබන්නේ සියලු සත්වයෝ නිදුක්
වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සැපයෙන් වැඩෙත්වා යනුවෙන් සිතමින් මෛත්‍රී
සිතින් කල් යැවීමෙනි. මෛත්‍රී සිතිවිලි ඇති පුද්ගලයා වක්‍රාකාරයෙන් හෝ කිසිදු
පුද්ගලයකුට අනර්ථයක් කරන්නේ නැත. එහි පලය ඔහු වෙත ද සැපය ළඟා වීම ය. සමාජයේ මේ සා
පීඩනයන්, අනර්ථයන්ට මුල එය තේරුම් නොගැනීම ය.
බුදුරජාණන් වහන්සේ දෙව්රමි වෙහෙර වැඩ වෙසෙන සමයෙක, දඬු මුගුරු ගෙන සර්පයකු පෙළනු
දුටු දරුවන් පිරිසක් විමසා දේශනා කොට වදාළේ ‘මා මෙන් අනික් සතුන් ද සැපයට
කැමැති'යි. තමා උපමා කොට බලා කිසි දිනෙක, කිසි කෙනෙකුට හිංසා පීඩා නොකරන ලෙසට ය.
ඉහත ගාථා ධර්මයට පසුබිම් වූයේ මේ සිදුවීම ය. සැප සොයා අනුන්ට දුක් ගින්දර දෙන
පුද්ගලයා මොහොතක සුවයක් දකිනු ඇත. එහෙත් ඊළඟ ක්ෂණයේ සිට ම ඔහු පසු පස දුක හඹා එන්නේ
ගොනු පසු පස එන රිය සක සේ ය. එය තේරුම් ගෙන ජීවිත යහපත් කර ගැනීම තම තමන් විසින් ම
කර ගත යුත්තකි. |