[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනයෙන් අනතුරුව ඛේම නම් මහ රහතන් වහන්සේ විසින් ලබා ගන්නා ලද වාම ශ්‍රී දළදා වහන්සේ කළිඟුරට බ්‍රහ්මදත්ත රජුට බාර දෙනු ලැබූහ. එම රජතුමා දත්ත ධාතුන් වහන්සේ රන් මිණි මුවා මණ්ඩපයක තැන්පත් කර පුද පූජා පැවැත්වීය. ගුහසීව රජු දවස (එවක ලක්දිව කිරුළු දැරුවේ කිත්සිරිමෙවන් රජු ය)
හේමමාලි කුමරිය හා දන්ත කුමරු විසින් දන්තධාතුන් වහන්සේ ලංකාවට වැඩම කරවන ලදී. ඔවුන් ගොඩබටුයේ නැඟෙනහිර පළාතේ වර්තමානයේ ලංකාපටුන නම් ස්ථානයට ය. එම අවස්ථාව චිත්‍ර ශිල්පී සොයිලියස් මැන්දිස් මහතා සිතුවමට නැඟූ අයුරු.
(කැලණි විහාරයේ සිතුවමකි)

  උඳුවප් අමාවක
පෝදා 

 ජන 12 අඟහ අ.භා 12.22 අමාවක ලබා 13 බදාදා පූ.භා. 10.29 ගෙවේ
අඟහරුවාදා සිල්.

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ජනවාරි 12

First Quarterපුර අටවක

ජනවාරි 20

Full Moonපසළොස්වක

ජනවාරි 28

Second Quarterඅව අටවක

පෙබරවාරි 04

කරදර බාධක අඩපණ කරන දැහැමි ජීවිතය

මනුෂ්‍යයා යනු, උසස් මනසක් තිබෙන ඇත්තෙකි. ඒ නිසා ඔහු සදාචාර සම්පන්න, ගුණ ගරුක සුචරිතයකින් පිරිපුන් කෙනෙකි. එවන් පුද්ගලයා ඉතා වැදගත් ආගමානුකූල ජීවිතයක් ගත කරයි. ඔහු සිතන පතන, කරන කියන සියල්ලම ධාර්මික වේ. ධාර්මික බව ජාති, කුල, ආගම්, පන්ති භේදයකින් තොරව පොදු මානව වර්ගයා තුළ තිබිය යුතු ධර්මතාවයකි. යහපත අයහපත, හොඳ - නරක, පින් - පව් ආදී වශයෙන් ධර්මය අධර්මය මැනවින් වටහාගෙන, ඒ අනුව මනුෂ්‍ය දිවිමග පහන් කර ගත යුතු ය. එවන් පුද්ගල ජීවිතය ධර්මානුකූල ජීවිතයක් වේ. ඒ ධර්මයට අනුව ජීවත්වන පුද්ගලයා ධර්මයෙන් ම ආරක්ෂාවන බව, “ධම්මො භවේ රක්ඛතී ධම්මචාරී” යන ගාථා පාඨයෙන් පැහැදිලි වේ. පුද්ගලයාගේ ධර්මානුකූල භාවය නිසාම ඔහු ඉතා සරල ජීවිතයක් ගත කරයි. තම ලෞකික ජීවිතය අපිරිසුදු කරන කෙලෙස් ගිනිවල බලපෑම ඔහුට අවම වේ. දහමට අනුව හසුරුවාගත් ඔහුගේ ජීවිතය තුළ ඇති අවශ්‍යතා ද ඉතා සීමිත වේ. අරපිරිමැසුම්දායක ආර්ථිකයක් මත ඔහුගේ ජීවිතය ගොඩනඟාගෙන ඇත. ඒ නිසා ඒ දැහැමි ජීවිතය තුළ සතුට සොම්නස පිරී ඇත. ධර්මානුකූල දිවි පැවැත්ම කරදර බාධකවල දරුණු බව අඩපණ කර දමයි. ධර්මානුකූල බව නිසා ජීවිතයට ළඟාවන බාධක උපද්‍රවලට මුහුණ දීමට ශක්තිය ද ඇති වන අතර, ඒවා විඳදරා ගැනීමේ හැකියාව ද තමා තුළින්ම ඇති වේ. ඒවා මඟහැර ඉදිරියට යාමට ද හැකි වේ.

 

ධර්ම දේශනාව:

තමන් කළ නොකළ දේ ගැන පමණක් සිතන්න

වසරක් ගෙවී නව වසරක් ආරම්භ වන මේ මොහොතෙහි අප සැවොම අපගේ අතීතය පිළිබඳ නැවත නැවතත් සමාලෝචනය කරගැනීම ඉදිරි කටයුතු මැනවින් සංවිධානය කරගැනීමට බෙහෙවින් ඉවහල් වේ. බුදු දහම, ජීවිතය ගැන නැවත නැවතත් සමාලෝචනය කරගනිමින් වැරදි නිවැරදි කර ගැනීමට, අවශ්‍ය ධෛර්ය මෙන්ම මඟපෙන්වීම ලබාදෙන ආගමික හා දාර්ශනික ඉගැන්වීමකි. අනුපූර්ව ආගමික ප්‍රතිපදාවක් වන එය අවසාන නිෂ්ඨාව වන නිවන අවබෝධ කරගන්නා තෙක් සසර ගමන නිවැරදි කරගැනීමට මෙන්ම, සැපවත් කරගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයයි. ධම්ම පද මල වග්ගයෙහි ඇතුළත් පස්වන ගාථාවෙහි දැක්වෙන පරිදි රන් කරුවෙකු විසින් රිදියෙහි ඇතුළත් අපිරිසිදු ද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත්කොට පිරිසිදු කරගන්නාක් මෙන් ප්‍රඥාවන්ත පුද්ගලයා ක්‍රමයෙන් තම දුර්වලතා බැහැර කොට නිවැරදි අයෙක් බවට පත්වේ. ධම්මපදයේ දැක්වෙන මෙම උපදේශය අනුව සැම කෙනෙකුටම තම වැරදි අඩුපාඩු සකස් කරගැනීමේ හැකියාවක් පවතී. බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව කිසිවකු සදාකාලික පව්කාරයකු නොවේ. එසේම සදාකාලික නිරයක් හෝ අපායක් කිසිවකුටත් හිමි නොවේ. දෙව්ලොව ආදි සුගතිය මෙන්ම අපාය ආදි දුගතිය ද තීරණය වන්නේ පුද්ගල චර්යාවට අනුකූලව ය. ඒ අනුව සැම කෙනෙකුට ම තම වැරදි මැනවින් වටහාගෙන නිවැරදි අයෙකු බවට පත්වීමේ හැකියාව සහජයෙන් ම පිහිටා තිබේ. ඒ සඳහා තමා පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂණය අවශ්‍ය වේ. මෙයින් අදහස් වන්නේ පුද්ගලයා තමා විසින්ම තමා පිළිබඳ විනිශ්චය කරනු ලැබීම ය. බුදුසමයෙන් පෙන්වා දෙන්නේ පුද්ගලයා කළ හොඳ නරක ක්‍රියාවල ස්වාමියා එම පුද්ගලයාම වන බවයි. එහි වගකීම මෙන්ම එය වැරදි නිවැරදි කර ගැනීම එය සිදුකළ පුද්ගලයාගේ වගකීම වන බවයි. බුදුරදුන්ම වදාළ පරිදි භාග්‍යවතුන් වහන්සේ මඟ පෙන්වන මාර්ගෝපදේශකයකු මිස මාර්ගයේ කැඳවාගෙන යන්නෙකු හෝ ගැලවුම්කරුවකු නොවේ.බුදුරදුන් දේශනාකොට වදාළේ තමා කළ නොකළ දේ පිළිබඳ සොයනු මිස, අන් අය කළ නොකළ දේ පිළිබඳ සෙවීමට කාලය ගතකිරීම හා ඒ වෙනුවෙන් උත්සුක වීම නිශ්ඵල කටයුත්තක් බවයි. බොහෝ දෙනකු උත්සුක වන්නේ තමා කළ නොකළ දේ පිළිබඳ සෙවීමට වඩා අන් අය කළ නොකළ දේ පිළිබඳ සොයා බැලීමට ය.

 

අනාගතය සුබ වීමට නම්...

ලැබුවා වූ මේ නව වසර සියලු අතින්ම සාර්ථක වීම, සුබවීම අප කාගේත් ඒකායන පැතුම යි. සියල්ල දෛවයට හෝ වාසනාවට බාර දී සාර්ථකත්වයන් ලද නොහැක. මිනිසාගේ ස්වාමිය, මිනිසා ය. තමන් යා යුතු දිශානතිය තීරණය කිරීමට වෙනත් බාහිර බලවේගයකට ඉඩ නො තැබිය යුතු ය. ගෙවී ගිය වසර තුළ සිදුවූ සියලු වැරැදි අඩුපාඩුකම් සකසා ගතහොත් ලැබූ වසර සුබ වසරක් වනු ඇත. විශේෂ යෙන් වඩා ශක්තිමත්ම පිරිස වන තරුණ පරපුර මෙය ඉතා හොඳින් තේරුම්ගත යුතු ය. තවත් මෙවන් වසර කිහිපයක් පසු කිරීමෙන් පසු ඔබේ තරුණ වයස ද වියැකී යයි. ඔබේ ජීවිත සාර්ථකත්වය කරා යොමු කරගත යුත්තේ ඔබම ය. වසරක් ආරම්භයේ අප අනෙකාට සුබ පතනුයේ නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා! යනුවෙනි. ලැබූ වසර තුළ නිදුක් නිරෝගිබව රැක ගනිමින් සුබ වසරක් බවට පත් කරගත යුත්තේ තම ක්‍රියාකාරකම් තුළිනි. හෙට දවසේ බොහෝ වගකීම් දැරීමට නියමිත තරුණයා සැබෑ මංගල සුබ දේ හඳුනාගත යුතු ය. එසේ නො වන විට අවමංගල කටයුතු ජීවිතයේ මංගල යැයි වරදවා තේරුම් ගෙන කටයුතු කරයි. එය ජාතියක්, ආගමක් හැටියට අවාසනාවන්ත තත්ත්වයකි. මහා මංගල සූත්‍රයේ දී මංගල කාරණා තිස්අටක් දේශනා කොට ඇත. සූත්‍රය අවසානයේ දී ඉතා වැදගත් කාරණයක් මෙහි අවධාරණය කරනු ලබයි. පරාජය නොවී සිටීමට අවශ්‍ය නම්, මෙම මංගල කාරණා පිළිපැදීම අවශ්‍ය ය. එසේ නො වන විට දෙ ලොවම පරාජයට පත් වේ. මෙම ලිපිය තුළදී සියලු මංගල කාරණා එකින් එක විස්තර කළ නොහැකිමුත් එහි සාරය තේරුම්ගනු ලැබීමෙන් ලැබුවා වූ මේ වසර පමණක් නොව දොලොවම ජයගත හැකි ය.දෙවියන් විසින් බුදුරදුන්ගෙන් ඉල්ලා සිටිනුයේ අභිවෘද්ධිය සලසන උතුම් කරුණු දේශනා කරන ලෙස ය. එයට පිළිතුරු ලෙස මංගල හෙවත් සුබ කාරණා තිස් අටක් දේශනා කළහ. ගුණ නුවණින් අඩු, දෙ ලොව අවැඩ පිණිස පවතින මිත්‍රයන් ඇසුරු නො කිරීම අභිවෘද්ධියට හේතුවේ. එසේ නො වන විට පරිහානිය ඇතිවේ. මෙය තේරුම් ගැනීමේ දී ගෙවුණු වසරේ ඔබේ අත්දැකීම් ඉතා වැදගත් ය. ඇසුරට සුදුසු වූ මිත්‍රයකු නැතිනම් හුදකලාව කටයුතු කිරීම ඉතා යෝග්‍ය වේ. අයහපත් මිතුරන් දස දහසකට වඩා එක යහපත් මිත්‍රයා වටී. ඇතැම් සමාජ ජාල තුළින් සකසාගන්නා මිත්‍රයන් ද හොඳින් අධ්‍යයනය කළ යුතු ය. වැරැද්ද, නිවැරැද්ද පෙන්වාදෙන මිතුරන් පමණක් ඇසුරට ගත යුතු ය. අනෙක් අය සීමාව තුළ තබාගැනීම වරදක් නොවේ.

 

අලුතින් හිතන්න ජීවිතය දිනන්න

කණස්සල්ලෙහි එක් අවස්ථාවක් නම් පරාජයට බියවීමයි. පරාජයට අකමැති බවයි. එහෙත් ජීවිතයේ පරාජයන් කියා කිසි දෙයක් නොමැති බව ඔබ තේරුම් ගත් විට ඔබේ ජීවිතය අලුතින් ආරම්භ වේවි. යම් පරාජයන් යනු ඔබව ප්‍රගතිය කරා ගෙන යෑම් බව ම ඔබට වැටහෙනුයේ අලුතින් සිතීම හෙවත් සිත වැඩීම පුහුණු කළ විට ය. ජීවිතය දෙස අලුතින් සිතා විමසා කටයුතු කිරීමට නම් අත්‍යවශ්‍ය පළමු දෙය වනුයේ තම සිත ඒ සඳහා බහුලව පෙළඔවීම ය. වසරක් ගෙවී නව වර්ෂයක් උදා වී ඇත. මෙම උදා වූ වසර තුළ අප අපගේ ජීවිතය වඩා සාර්ථක හා අර්ථවත් වසරක් කර ගැනීම සඳහා එළඹෙන සෑම තත්පරයක් තුළම කටයුතු කිරීම අත්‍යවශ්‍ය ය. අචින්ති තම්පි භවති, චින්ති තම්පි විනස්සති. යන බුද්ධ දේශනාවට අනුව අප තරයේ සිත්හි ධාරණය කළ යුත්තේ සිතූ දේ සිතූ ලෙස සිදු නොවන බවත්, නොසිතූ දේම සැම විට සිදුවන බවත් ය. අපට අලුතින් සිතා ජීවිතයට මුහුණ දීමට නම් මෙම බුද්ධ දේශනාව යථාර්ථයක් වන සෑම අවස්ථාවක දී ම අපගේ මනස ශක්තිමත් ව පවත්වා ගනිමින් කටයුතු කළ යුතු ය. මෙම වර්ෂය තුළ දී ඔබ, ඔබේ ජිවිතයේ සෑම අමිහිරි හෝ අසුභ දේ තුළම ඇති සුබවාදී පැතිකඩ දෙස විමර්ශනය කොට එම සුභවාදී දෙයින් නැවත ජිවීතය ආරම්භ කිරීම සිදු කළ යුතු ය. සිත තුළ ඇතිවන බය හා කනස්සල්ල තුළින් සිදු වන්නේ අනාගතය දෙස අසුබවාදී ව දැකීම ය. ඔබ සෑම දෙයකම නරක පැත්ත බලමින් , අඩු පාඩු පමණක් සොයන සෘණාත්මක හෙවත් අසුබදායක මනසින් අනාගතය පිළිබඳ සිතයි නම් හෝ තමාගේ ජිවිතයේ අයහපත ම පමණක් දකින, අනෙක් අයගේ අයහපත ම පමණක් දකින කෙනෙකු නම් එවැනි පුද්ගලයන් කිසිවිට සිත වැඩූ, දියුණු කළ පුද්ගලයෙක් නොවන බවයි, බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය. සෑම අවස්ථාවක ම ඔබේ සිත යහපත් දේ ම සොයන, යහපත් දෙයම දකින, යහපත් දෙයම හිතන තත්ත්වයට පත්කර ගැනීම විෂයෙහි පුරුදු පුහුණු කිරීම ආරම්භ කරන්න.

බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2021 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]