ජීවිතය තණ අග පිනි බිඳක් වගෙයි
මොහොතක් පාසා පින් කරන්න
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනයේ
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, අධ්‍යාපනපති
පදියතලාවේ අමරවංශ හිමි
තිරිසන්ව උපත ලැබුවත් පෙර කළ පුණ්‍ය මහිමයන් තමා පසුපස එන සෙවනැල්ල මෙන් විපාකදීමට
පැමිණෙයි. එය මහා කැලෑවක උපත ලැබුවත්, මහා සමුද්‍රය මැද උපත ලැබුවත්, අහසෙහි උපත
ලැබුවත්, කවර තිරිසන් ගතව උපත ලැබුවත් විපාක දෙයි.
ආහාර ගැනීම, බියට පත්වීම, නිදාගැනීම සහ මෛථුන සේවනය මනුෂ්‍යයාටත්, තිරිසන්
සත්වයාටත් පොදු ධර්මතා ය. එහෙත් මනුෂ්‍යයකුවීමට කළ යුතු කුසල් අධික ය. මිනිසත් බව
ලැබූ ඇතැම්හු අසීමිත සැප සම්පත් ලබති, යෙහෙන් ඒවා වින්දනය කරති.
එහෙත් සමහර කෙනෙක් මිනිසත් බව ලැබූ නමුත් ජීවත්වීමට අවශ්‍ය වස්ත්‍රාභරණ, නිවාස
මෙන්ම අවශ්‍ය ආහාර පාන පවා නො ලබති. කොපමණ වෙහෙස ගෙන කටයුතු කළත් දියුණුවක් නො
ලබති.
සමහරෙක් දුප්පත් ව උපත ලැබුවත් ප්‍රඥාව සහ බහුශ්‍රැත භාවය වැනි විශේෂ හැකියාවලින්
යුක්ත වෙති.
තවත් අයෙක් උසස් රූප සම්පත්තිය ලබා කීර්තියට, ප්‍රශංසාවට මෙන්ම සැප ලැබීමට ද භාග්‍ය
උදා කර ගනිති.
මෙ ලෙසින් මනුෂ්‍ය ආත්මය ලබන පිරිස් විවිධ ස්ථරවල ජීවත්වෙති.
තිරිසන් ව උපත බලන සත්වයින් සම්බන්ධයෙන් පවතින්නේ ද මෙවැනිම තත්ත්වයකි. කළ පාප කර්ම
විපාකදීමට තිරිසන්ව උපත ලැබුවත් පෙර කළ පුණ්‍ය මහිමයන් තමා පසුපස එන සෙවනැල්ල මෙන්
විපාකදීමට පැමිණෙයි. එය මහා කැලෑවක උපත ලැබුවත්, මහා සමුද්‍රය මැද උපත ලැබුවත්,
අහසෙහි උපත ලැබුවත්, කවර තිරිසන් ගතව උපත ලැබුවත් විපාක දෙයි.
මනුසත්හු තම සිතැඟි අයුරින් ඇතැම් සත්වයින් ඇතිදැඩි කරති. දරුවන්ට මෙන් සලකති. ලෙඩට
දුකට පිහිට වෙති. තිරිසන් ගත සත්වයා අශ්වයෙක් ද, අලියෙක් ද, සර්පයෙක් ද, කුරුල්ලෙක්
ද, වඳුරෙක් ද, යනාදි ලෙසින් කිසිදු භේදයකින් තොරව ඔවුන්ව තෝරාගෙන උපස්ථාන කරති,
රැකබලා ගනිති.
එය ඔවුන්ගේ පුණ්‍ය විපාකය මතුවීම ය.
බුදුන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයෙහිත්, අදත් හෙටත් ලොව පවතින තෙක් උපන්
සත්වයින්ට කිසිදු ආත්මභාවයක භේදයකින් තොරව කළ පින් විපාක විඳීමට භාග්‍ය උදාවෙයි.
එවැනි එක් අවස්ථාවක් සීහලවත්ථුවෙ සඳහන් වේ.
හෙළදිව ජනපදවලට මුදුන් මල්කඩක් ව පැවැති සුරට්ඨ ජනපදයේ චික්ඛිණ්ණ නම් මහා නගරයක්
විය.
මෙහි ජීවත් වන්නෝ මහත් සැප ඇති ධනවත්හු ය. දිනක් පිණ්ඩපාතික මහ තෙර නමක් පෙරවරු
වේලෙහි සිය පිණ්ඩපාතය සපයා ගැනීමේ අරමුණින් නගරයට පිවිස ධනවතුන් වෙසෙන මාවතක පිඩු
පිණිස වැඩියේ ය. එකල්හි එක් මහා ධනවතකුගේ නිවසක සේවය කරන දාසියක් අලංකාර
වස්ත්‍රවලින් සහ ආභරණවලින් සැරසූ, ලොම් බහුල හිසක් ඇති, හීන් වූ අත්පා ඇති, විරූපී
වූ මුඛයක් ඇති, බින්න වූ නාසයක් ඇති, විරූපී වූ රූපයක් ඇති, එහෙත් අතිශය සැපවත් ව
ජීවත්වන බවට සැලකිය හැකි වැඳිරියක් උකුලෙන් වඩාගෙන හැසිරෙන අයුරු දුටහ. එකල්හි
තෙරුන් වහන්සේ ඇය වෙතින් වැඳිරියගේ තොරතුරු විමසූහ. දාසිය මෙසේ කීවා ය.
ස්වාමීනි, මහ වනයේ ගසින් ගසට පනිමින් ජීවත් වූ වැඳිරියකගේ පැටවකු ඇගේ පුණ්‍ය ශක්තිය
නිසා ස්වාමි දියණියගේ සහ ස්වාමියාගේ මහත් ආදරය දිනා ගනිමින් මහත් වූ සැප සම්පත්
අනුභව කරන්නේ ය. කිසිදු දෙයකින් අඩුවක් නොමැත. මහත් සුව විඳින්නේ යැයි කී ය.
කතාවට සවන් දුන් තෙරුන් වහන්සේ ඇය අමතා,
පින්වතිය, සිල්වත් වුවත්, ශිල්ප දැනසිටියත්, ප්‍රඥාවෙන් යුක්ත වුවත්, බහුශ්‍රැත
වුවත් පුණ්‍ය ශක්තිය හීන නම් මෙවැනි සැප සම්පත් තිරිසන් යෝනියේ විරූපී ව උපත ලබමින්
සැප නොවිදින්නේ ය. දුශ්ශීල වුවත්, ශිල්ප නො දැන සිටියත්, මද නුවණකින් යුක්ත වුවත්,
අල්පශ්‍රැත වුවත්, හීන කුලයක උපත ලැබුවත් මනාරූප සම්පත්තියක් නො ලැබුවත් කළ පින
පොහොසත් නම් ඒකාන්තයෙන් ම මෙබඳු සැප ලබන්නේ ය. පිනැති ඇත්, අස්, ගව, ගිරා, වඳුරු
ආදි තිරිසන් සත්වයින් අපමණ සැප විඳින්නේ ය.
තිරිසන් ගත වූවන්ටත් මෙලෙස කළ පින් විපාක දෙන්නේ නම් මිනිස් ආත්මයක් ලැබූ අයට කෙසේ
නම්, විපාක නො දෙන්නේද?
එබැවින් නුවණැති මිනිසා විසින් පින් කළ යුතුම ය. පිනැති ව කවර තැනක උපත ලැබුවත් එහි
සුවපත් වන්නේ ය, සැප ලබන්නේ යැයි පැවසූහ. එකල්හි දාසිය ‘‘ස්වාමිනි, මේ ගැන හොදින්
අවබෝධ කළ, ධර්මයෙහි විශාරද වූ, ඔබ වහන්සේ ද බොහෝ පින් කරන සේක්වා. අප ද බොහෝ පින්
රැස් කරන්නේ යැයි පවසමින් තෙරුන් වහන්සේට සමුදුන්නා ය. මෙම කතාව හැරුණු විට පෙර කළ
පින විපාක දුන් කතා පුවත් විශාල සංඛ්‍යාවක් ජාතක පොතෙහි ද, විමානවත්ථුවෙහි ද වේ.
එබැවින් නිරතුරුවම මොහොතක් පාසා පින් රැස් කළ යුතු ය. පවින් වැළකිය යුතු ය. ජීවිතය
තණ අග පිනි බිඳක් බව අවබෝධකර ගනිමින් වහා වහා යහපත් කටයුතුවල යෙදිය යුතු ය. කුසල්
වැඩිය යුතු ය. නිවන් දැකීමේ ඉක්මන් මාර්ගය ද එයම වෙයි. |