දුටුගැමුණු මහ රජතුමා - 19:
ගැමුණු කුමාරයාට
සෝමා දේවියගෙන් විරුද්ධත්වයක්
ආචාර්යතුමාටත් සුදුසු බොහෝ පොත් මෙහි ඇති.
“මෙහි නිදහස් පරිසරයට මම කැමතියි. මෙතැන හොඳයි. ගැමුණු කුමාරයාටත් මානසික විවේකය
සඳහා කදිම ස්ථානයක්.” දාව ආචාර්යතුමා පැවසී ය.
පුරෝහිතතුමාගේ මැදුරට දුටුගැමුණු කුමාරයාත් දාව ආචාර්යතුමාත් කැමති බව වේළුසුමනට
හැඟී ගියේ ය. එහෙත් සෝමා දේවියගේ හැසිරීම් අනුව ගැමුණු කුමාරයා මෙහි වැඩි කාලයක්
රැඳී නොසිටින බව ඔහුට අවබෝධ විය.
මන්දිරය පසුපසින් සේවක නිවස සහ ගිනිහල් ගෙයක් විය. මන්දිරය විශාල වුව ද එහි වූයේ
විශාල කාමර තුනක් පමණි. එකක් පුස්තකාලයට යාබදව ද අනෙක චිත්‍රාගාරයට යාබදව ද තනා
තිබිණි.
තුන්වැන්න විවේකාගාරයක් ලෙස භාවිත කළ කුටියක් විය. ගෘහ භාණ්ඩ බහුල නොවූ අතර, තබා
තිබුණු කිහිපය ද කෞතුක බවක් ඉසිලී ය. පරිසරය දැඩි නිහඬ බවක් පැවතුණි. ඈතින් දිය
ඇල්ලක් ගලා යන හඬක් ඇසිණි.
මන්දිරයට පැමිණි පිරිස ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කරමින් සිටියහ.
එසේ සාකච්ඡා කරමින් සිටි මේ තිදෙනා වෙත පැමිණි රජමාළිගයේ, සේවකයකු රාත්‍රී භෝජනය
සඳහා කැඳවාගෙන එන ලෙසට රජතුමා දැන්වූ බව පැවසූහ. උද්‍යානය කෙළවර ඇති මල්වැට
අද්දරින් ඉදිරියට ගිය ඔවුන් මාළිගයේ දොරටුව වෙත පිවිසුණි. ආරක්ෂක නිලධාරියා විසින්
ඔවුන් මහත් ගෞරවපූර්වක ව පිළිගනු ලැබූහ. ආලින්දයට පැමිණෙන විට රජතුමාත් දේවියත්
එතැනට පැමිණ සිටියහ.
රාජකීය යුවළ අමුත්තන් සාදරයෙන් පිළිගෙන භෝජනාගාරය වෙත කැඳවාගෙන එන ලදී. භෝජනාගාරය
මැද දිග මේසයක් විය. දකුණු පස විශාල දිය බඳුන අත් සේදීම පිණිස ය. වම් පස දිය බඳුන
පානය පිණිස ය. මේසය මත ආහාර භාජන හතළිහක් පමණ විය. ඒවායින් හමන සුවඳ කාගේත්
කුසගින්න වඩවන්නක් විය.
භෝජනාගාරයේ සේවිකාවන් ගෞරව පූර්වක ව රන් බඳුන්වල තැන්පත් කර තිබූ කැකුළු සහල් බත්
රජතුමා ප්‍රමුඛ පිරිසට පිළිගැන්වීය. ඉන්පසු එළවළු, මාළු බෙදන්නට විය. මෙම ආහාරයෙහි
මස් සකසා නොතිබිණි. රජ මාළිගයේ එළවළු කොටුවෙන් නෙළාගත් පළා කොළ වර්ග කිහිපයක් ද
ආහාර අතර විය.
“මාගම රජමාළිගයේ මෙන්ම, අපද මාංශ ආහාරයට ගන්නේ නැහැ. එමඟින් අප තුළ ඇතිවන
ආධ්‍යාත්මික සතුට අපේ ජීවිතවලට ශක්තියක්. ගිරි අබා රජු පැවසුවේ ආහාරවල යම් අඩුවක්
ඇතොත් එයට හේතු පිණිස ය.
රාත්‍රී භෝජනයෙන් පසුව අමුත්තන් භෝජනාගාරයට කැඳ වූ ගිරි අබය රජතුමා ඔවුන් සමඟ සුහද
සාකච්ඡාවකට අවතීර්ණ විය.
“මාගම රාජධානියෙන් ගැමුණු සොයා ගන්නට ආරක්ෂක භටයන් දැනටමත් යවා ඇති. නමුත් ඒ
කිසිවෙක් ගිරි නුවරට එන්නට හේතුවක් නැහැ. නමුත් ටික කලක් යනතුරු ගැමුණු කුමරු පිටතට
නොයා සිටියොත් හොඳයි.” ගිරි අබා රජු පැවසී ය.
ඒ අවස්ථාවේ සෝමා දේවිය ගැමුණු කුමරු ඇමතුවේ ය. “ගැමුණු දිගටම මෙහි රඳවා ගන්නට මම
කැමති නැහැ. ඒ වෙලාවේ අක්කණ්ඩියගේ ඉල්ලීමට පිටුපාන්නට නොහැකි නිසා කැමති වුණා.
නමුත් රාජද්‍රෝහී ක්‍රියාවකට මා සම්බන්ධ වුණා යැයි මගේ හිත චෝදනා කරනවා. ඒ
චෝදනාවෙන් මට නිදහස් වෙන්නට ඕනෑ.” යනුවෙන් ඇය තමාගේ සිත තුළ ඇති දෙය කලින්ම කියා
තැබී ය.
ගැමුණු කුමාරයා වේළුසුමන දෙස බැලී ය. තමා සිතූ දෙය දැනටමත් සිදුවෙමින් පවතිනවා
නේදැයි ඒ මුහුණුවල විය. ඔවුන්ගේ මුහුණුවල ඉඟිය තේරුම්ගත් රජු වහා පිළිතුරු වශයෙන්
බිසවට මෙසේ පැවසී ය.
“නමුත් දේවිය, අප මේ මොහොතේ දී දෙපැත්තම ආරක්ෂා කළ යුතුයි. පලායන ගැමුණු කුමාරයා
ආරක්ෂක නිලධාරීන්ගෙන් බේරාගෙන ගිරි නුවරට එවා ඇතැයි දැනගත් වහාම කාවන්තිස්ස රජතුමා
කේන්ති ගන්නේ අප සමඟ නොවෙයි. විහාරමහා දේවිය සමගයි. ඒ නිසා ගැමුණු කුමාරයා නැවත
මාගමට යැවීමට ක්‍රමයක් සලසා ගත යුතුයි.”
“ගැමුණු කුමාරයා ආපසු යෑමට කැමැත්ත පළ කරන තුරු ගිරි නුවර ආරක්ෂාකාරී ව තබා ගනිමු.
කුමරු ආපසු යන දිනය මම තීරණය කරන්නම්” දාව ආචාර්යතුමා පැවසී ය.
මෙසේ පැවසූ වේළුසුමන ඇතුළු පිරිස ගිරිඅබා රජතුමා ඇතුළු පිරිසගෙන් අවසර ගෙන මන්දිරය
වෙත පැමිණියහ.
ඉන්පසුව දින කිහිපය ගත වුණේ ගැමුණු කුමාරයාට සුදුසු අයුරින් මන්දිරය සකස්කර දීමට ය.
“කුමරුනි විහාරමහා දේවිය මගේ ප්‍රමාදය නිසා කලබල වනු නිසැකයි. ඒ නිසා මට යාමට අවසර
දෙන්න.”
“හොඳයි වේළුසුමන යන්න සැකයක් ඇති නොවන ලෙසට. ප්‍රමාදයට හේතු සූදානම් කරගෙන යන්න.”
ගැමුණු කුමරු පැවසී ය.
ගැමුණු කුමාරයා රජ මාළිගයෙන් පළාගොස් යැයි රාජධානිය පුරා ආරංචිය පැතිරේ.
ගැමුණු කුමාරයා පිය රජතුමාට ස්ත්‍රී ඇඳුම් සමග “මගේ පියා පිරිමියෙක් නොවෙයි.
ගැහැනියක් .ඒ නිසා රජ අභරණ ඉවතලා කාන්තා අභරණ පැළඳ ගන්න “ කියලා හසුන් පතක් යවලා.
මේ නිසා කාවන්තිස්ස රජතුමා හොඳටම කිපිලා. ගැමුණු කුමාරයා සිරගත කරන ලෙසට අණ කරලා.
ඒක දැනගත්ත ගමන් කුමාරයා රජමාලිගයෙන් පැනලා ගිහින්. යනුවෙන් මාගම රාජධානිය පුරා
පැතිරෙන්නට විය. හෝරා කිහිපයක් යන විට හීයක වේගයෙන් එයට තවත් අතුරු කතා එකතු වෙමින්
පැතිරිණි. එය ඉතා භයානක තත්වයක් බව වටහාගත් මහ සෙනෙවිවරු රට තුළ කලබලයක් ඇති නොවන
ලෙසට වහාම ආරක්ෂාව තර කරන ලෙසට සේනාධිපතිවරුන්ට අණ කළහ. මේ අවස්ථාවේ විවිධ
මතිමතාන්තර දුරලා සියලු සේනාංක එක්සත්ව සිටීමේ වැදගත්කම ආරක්ෂක භටයෝ තේරුම් ගත්හ.
මාගම රාජධානිය පුරා පියාපත් ලබමින් ප්‍රචාරය වූ පුවත විහාරමහා දේවියට ද සැලවිය. ටික
කලක් හෝ රහසිගතව තබාගත යුතු වූ මේ සිදුවීම මෙතරම් ඉක්මනින් ප්‍රචාරය වුයේ කෙසේදැයි
දේවිය ද පුදුමයට පත්වුවා ය.
අයන්ති විතාන |