තමන් කළ නොකළ දේ ගැන පමණක් සිතන්න
කොළඹ විශ්වවිද්‍යාලයේ
බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත ආචාර්ය
උඩුහාවර ආනන්ද හිමි
"රන් කරුවකු විසින් රිදියෙහි ඇතුළත් අපිරිසුදු ද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත් කොට
පිරිසුදු කරගන්නේ යම් සේ ද ප්‍රඥාවන්ත පුද්ගලයා ක්‍රමයෙන් තම දුර්වලතා බැහැර කරයි.
නිවැරැදි අයෙක් බවට පත්වෙයි."
පින්වතුනි,
වසරක් ගෙවී නව වසරක් ආරම්භ වන මේ මොහොතෙහි අප සැවොම අපගේ අතීතය පිළිබඳ නැවත නැවතත්
සමාලෝචනය කරගැනීම ඉදිරි කටයුතු මැනවින් සංවිධානය කරගැනීමට බෙහෙවින් ඉවහල් වේ. බුදු
දහම, ජීවිතය ගැන නැවත නැවතත් සමාලෝචනය කරගනිමින් වැරදි නිවැරදි කර ගැනීමට, අවශ්‍ය
ධෛර්ය මෙන්ම මඟපෙන්වීම ලබාදෙන ආගමික හා දාර්ශනික ඉගැන්වීමකි.
අනුපූර්ව ආගමික ප්‍රතිපදාවක් වන එය අවසාන නිෂ්ඨාව වන නිවන අවබෝධ කරගන්නා තෙක් සසර
ගමන නිවැරදි කරගැනීමට මෙන්ම, සැපවත් කරගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශකත්වය සපයයි. ධම්ම
පද මල වග්ගයෙහි ඇතුළත් පස්වන ගාථාවෙහි දැක්වෙන පරිදි රන් කරුවෙකු විසින් රිදියෙහි
ඇතුළත් අපිරිසිදු ද්‍රව්‍ය ක්‍රමයෙන් ඉවත්කොට පිරිසිදු කරගන්නාක් මෙන් ප්‍රඥාවන්ත
පුද්ගලයා ක්‍රමයෙන් තම දුර්වලතා බැහැර කොට නිවැරදි අයෙක් බවට පත්වේ. ධම්මපදයේ
දැක්වෙන මෙම උපදේශය අනුව සැම කෙනෙකුටම තම වැරදි අඩුපාඩු සකස් කරගැනීමේ හැකියාවක්
පවතී.
බුදුරදුන්ගේ ඉගැන්වීම අනුව කිසිවකු සදාකාලික පව්කාරයකු නොවේ. එසේම සදාකාලික නිරයක්
හෝ අපායක් කිසිවකුටත් හිමි නොවේ. දෙව්ලොව ආදි සුගතිය මෙන්ම අපාය ආදි දුගතිය ද තීරණය
වන්නේ පුද්ගල චර්යාවට අනුකූලව ය. ඒ අනුව සැම කෙනෙකුට ම තම වැරදි මැනවින් වටහාගෙන
නිවැරදි අයෙකු බවට පත්වීමේ හැකියාව සහජයෙන් ම පිහිටා තිබේ.
ඒ සඳහා තමා පිළිබඳ ප්‍රත්‍යවේක්‍ෂණය අවශ්‍ය වේ. මෙයින් අදහස් වන්නේ පුද්ගලයා තමා
විසින්ම තමා පිළිබඳ විනිශ්චය කරනු ලැබීම ය.
බුදුසමයෙන් පෙන්වා දෙන්නේ පුද්ගලයා කළ හොඳ නරක ක්‍රියාවල ස්වාමියා එම පුද්ගලයාම වන
බවයි. එහි වගකීම මෙන්ම එය වැරදි නිවැරදි කර ගැනීම එය සිදුකළ පුද්ගලයාගේ වගකීම වන
බවයි. බුදුරදුන්ම වදාළ පරිදි භාග්‍යවතුන් වහන්සේ මඟ පෙන්වන මාර්ගෝපදේශකයකු මිස
මාර්ගයේ කැඳවාගෙන යන්නෙකු හෝ ගැලවුම්කරුවකු නොවේ.
බුදුරදුන් දේශනාකොට වදාළේ තමා කළ නොකළ දේ පිළිබඳ සොයනු මිස, අන් අය කළ නොකළ දේ
පිළිබඳ සෙවීමට කාලය ගතකිරීම හා ඒ වෙනුවෙන් උත්සුක වීම නිශ්ඵල කටයුත්තක් බවයි. බොහෝ
දෙනකු උත්සුක වන්නේ තමා කළ නොකළ දේ පිළිබඳ සෙවීමට වඩා අන් අය කළ නොකළ දේ පිළිබඳ
සොයා බැලීමට ය.
එබඳු පුද්ගලයන්ට තම වරද නිවැරදි කර ගැනීමේ හැකියාවක් නොමැත. වැරැදි නිවැරැදි
කරගැනීමේ දි අනුගමනය කළ හැකි තවත් ක්‍රමයක් නම් තමා උපමා කරගනිමින් අන් අය දෙස
බැලීමයි. දුක, වේදනාව පිළිකුල් කිරීම, සැප කැමතිවීම, නොමැරී දිගු කලක් වාසය කිරීම
සැම ජීවියෙකුට ම ආවේණික වූ පොදු ධර්මතාවන් ය. එය මිනිසාට මෙන් ම, සෙසු ජීවින්ට ද
සාධාරණ ය. මෙම ධර්මතාව අනුව තමා යම් කැමැති දෙයක් වේ නම් හෝ අකමැති දෙයක් වේ නම් ඒ
සියලු දෙය අන්‍යයටන්ට ද සාධාරණ ය. පොදු ය. මෙසේ කල්පනා කිරීම තමා උපමාකොට බැලීම නම්
වේ.
තමා උපමා කරගැනීම යනු තමන් තුළින් ලෝකය දැකීමයි. නැතහොත් ලෝකය වටහා ගැනීමයි. වසරක්
ගතවී නව වසරක් උදාවන මොහොතෙහි තමා උපමා කරගනිමින් අන් අය දෙස බැලීමෙන්, තමා විසින්
ඔවුන්ට ඇතිකරන ලද යම් චිත්ත පීඩාවක් හෝ කායික මානසික හිංසනයක් වෙතොත් ඒ පිළිබඳ නැවත
සලකා බලා එයට පිළියම් යෙදිය හැකි ය. ඒ යටතේ තමා කළ වරද දකිමින් සමාව භජනය කළ හැකි
ය. නැතහොත් කනගාටුව පළකළ හැකි ය. එසේම තමා කළ වරද නැවත නැවතත් විනිශ්චයකොට එවැනි දෑ
කිරීමෙන් වැළකීමට අවශ්‍ය මානසික ශක්තිය හා අධිෂ්ඨානය ගොඩනඟාගත හැකි ය.
නොමඟ ගිය ජීවිතය නිවැරදි කරගැනීමට අනුගමනය කළ හැකි තවත් ක්‍රමයක් නම් තමා කළ වරද
නුවණැති කෙනෙකු සමඟ ප්‍රකාශ කොට එවැනි වැරදිවලින් වැළකීමට අවශ්‍ය උපදෙස් හා
මාර්ගෝපදේශකත්වය ලබා ගැනීමයි. බුදුරදුන් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය යනුවෙන් උගන්වා
වදාළේ එයයි. සැම කෙනෙකුටම යම් යම් දෑ සම්බන්ධයෙන් මෙන්ම තමා ක්‍රියාත්මක කිරීමට
අපේක්‍ෂා කරන දේ සම්බන්ධයෙන් විශේෂඥයකුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. එහෙත් එය
සැම විටම පරිණත අත්දැකීම් මෙන්ම මනා අවබෝධයක් ඇති අයෙකු වෙතින්ම ලැබිය යුතුය යන්න
බුදුරදුන්ගේ අනුශාසනයයි.
බාලයන් හා අනුවණ පුද්ගලයන් ඇසුරු කිරීමෙන් වැළකී පණ්ඩිතයන් හා නුවණැති පුද්ගලයන්
ඇසුරු කිරීමේ වැදගත්කම මංගල සූත්‍රයෙන් අවධාරණය වේ. උපදෙස් හා මඟපෙන්වීම අවශ්‍ය
වන්නේ වරදින් නිදහස් වී නිවැරදි ජීවිතයක් ගොඩනඟා ගැනීමට මිස නැවත නැවතත් එම වරදෙහි
ම නිරතවීම සඳහා නොවේ.
නුවණැති පුද්ගලයකුගේ නිසි උපදෙස් හා මඟ පෙන්වීම ලැබීමෙන් ජීවිතයේ වැරදුණු තැන්
නිවැරදි කරගැනීමට කල්පනා කිරීම නව වසර ආරම්භයේ දී ම ඇතිකරගත යුතු නව අධිෂ්ඨානයකි.
කළ වැරදි සම්බන්ධයෙන් කෙනෙකුට ලැබෙන සමාජ ප්‍රතිචාරය විමර්ශනය කිරීමත්, වැරදි
නිවැරදි කරගැනීමෙහි ලා බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. සැම ක්‍රියාවකට ම සමාජ
ප්‍රතිචාරයක් තිබේ. එය යහපත් හෝ අයහපත් එකක් විය හැකි ය. එසේම පුද්ගලයා විසින්
සිදුකරනු ලබන ක්‍රියාව ඔහු හෝ ඇය කෙරෙහි බලපාන අතර ම සමාජය කෙරෙහි ද එය සැලකිය යුතු
මට්ටමේ බලපෑමක් ඇති කරයි.
සමාජය කෙරෙහි බලපාන ප්‍රමාණය අනුව ක්‍රියාව සිදුකළ පුද්ගලයා සම්බන්ධයෙන් වන සමාජ
ප්‍රතිචාරය ද ප්‍රබල වේ. ඒ අනුව විවිධ ආකාරයේ බරපතළ වැරදි කළ කෙනෙකුට ලැබෙන සමාජ
ප්‍රතිචාරය කිසිසේත් ම හිතකර වූවක් නොවේ. මෙම තත්වය මැනවින් වටහා ගන්නා අයකුට ඉතා
පහසුවෙන් තම වැරදි නිවැරදි කරගත හැකි වේ.
එහෙත් බොහෝ දෙනකු සමාජ ප්‍රතිචාරය ගැන සැලකිලිමත් නොවේ. ඇතැම් අය තමාගේ බලය හා ධනය
උපයෝගී කරගෙන සමාජය හෝ එයින් ලැබෙන ප්‍රතිචාරය නොසලකා විවිධ වැරදිවල නිරත වෙති.
බුදුරදුන් දේශනාකොට වදාළේ නැණවතුන්ගේ ගැරහුමට ලක්වන (විඤ්ඤූගරහිත) ක්‍රියාවලින්
වැළකී ඔවුන්ගේ ප්‍රසාදයට හේතුවන (විඤ්ඤූපසත්ත) ක්‍රියාවල නිරත වියයුතු බවයි.
කර්මය හා එහි විපාක පිළිබඳ කරුණු සලකා බැලීමත්, වැරදි නිවැරදි කරගැනීමෙහි ලා
අනුගමනය කළ හැකි තවත් උපක්‍රමයකි. තිදොරින් සිදුකෙරෙන සැම සචේතනික ක්‍රියාවකට ම
විපාක තිබේ. කර්මය පිළිබඳ බුදුරදුන්ගේ ඉගැන්වීමෙන් එය පැහැදිලි වේ.
එය මැනවින් අවබෝධ කරගෙන තිදොරින් සිදුවිය හැකි අකුසල හා පාප ක්‍රියාවලින් නැවත
නැවතත් වැළකීම අවශ්‍ය වේ. අකුසල හා පාප කමර්වල විපාක වශයෙන් අපාය ආදී දුගති ලෝකවල
ඉපදීමෙන් විඳීමට සිදුවන දුක්වේදනා ඉතා බිහිසුණු හා කටුකය යන්න, භාග්‍යවතුන් වහන්සේ
විසින් මැනවින් දේශනා කොට තිබෙන අයුරු දේවදූත වැනි සූත්‍ර දේශනාවලින් සනාථ වේ. මේ
අනුව තමා අතින් සිදුවූ අකුසල ක්‍රියා කවරේදැයි වටහාගෙන නැවත එවැනි දෑ නැවත
සිදුනොවීමට අවශ්‍ය ආයති සංවරය ඇතිකර ගැනීම අපාය හා දුගති භය ඇතිකර ගැනීම වරදින්
නිදහස්වීමට හා නිවැරදි ජීවිතයක් ගොඩනඟා ගැනීමට හේතු වේ. එවැනි පරිවර්තනයක් දරුණු
අපරාධ කළ පුද්ගලයෙකුට වුව ඇතිකරගත හැකි බව අංගුලිමාල රහතන් වහන්සේගේ චරිත කථාවෙන්
අවබෝධ කරගත හැකි ය. ඒ අනුව කෙනෙකුට ආත්මාවලෝකනයෙන් ද, තමා උපමාකොට බැලීමෙන්ද,
නුවණැති අයෙකුගේ උපදෙස් හා අනුශාසනය ලැබීමෙන් ද, සමාජ ප්‍රතිචාරය මැනවින් වටහා
ගැනීමෙන් හා කර්ම විපාක පිළිබඳ සැලකිලිමත් වීමෙන් ද තම ජීවිතයේ සදොස් තැන් නිදොස්
කර ගත හැකි ය. |