උඳුවප් අමාවක 2021.01.12
දැනුම ධනයක් කරගනිමු
‘මිනිසා’ පුදුමාකාර ය. සත්ව ලෝකයේ අන් සියල්ලන් අභිබවූ අපූර්වත්වයක් හිමි ය. ලෝකයක්
උඩු යටිකුරු කරන්නට වුව මෙහෙයවිය හැකි සිතක් හිමි ය. දවසක් උදාවූ මොහොතේ සිට
රාත්‍රී නින්දට යනතුරුත් තම සතුට, දියුණුව ළඟා කරගන්නට හෙතෙම ගන්නා වෙහෙස, උත්සාහය
අපමණ ය. එහෙත් ජීවිතයේ තමන් බලාපොරොත්තු වන ඒ සතුට, සැනසීම ලැබෙන්නේ කීයෙන් කී
දෙනාට ද? ගෙවෙන හැම තත්ත්පරයක ම විවිධාකාර හේතුන් නිසා දැවෙන, තැවෙන අය මොනතරම් ද?
ජීවිතයම අපායකැයි කියන්නෝ මොනතරම් ද? හොඳින් සිතා බලන්නට හැකි උසස් මනසක් හිමි නම්
මෙවන් ඉරණමක් අත් වන්නේ ඇයි?. කෙතැන හෝ වැරදීමක් තිබෙන්නට පුළුවන. එය පැහැදිලි ය.
ඒ,ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගැනීමේ වරද ය.
දහඩිය, කුණු දුහුවිල්ලෙන් නිතර අපවිත්‍ර වන සිරුර නිතර, නිතර පිරිසුදු ජලයෙන් සෝදා
පවිත්‍ර කර ගැනීම සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිරිත ය. එහෙත් මේ අතරින් බොහෝ දෙනෙක්
නොදන්නා, නොසිතන දෙයක් ද වේ. ඒ, තමන්ගේ ශරීරය මෙන් ම සිත ද අපිරිසිදු වන බව ය. සිත
කිලිටි කරන දුහුවිලි කුණු අපට ඇසට පෙනෙන්නේ නැත. සිතෙහි හටගෙන, සිත දවමින්
ක්‍රියාවට නඟන එම අපවිත්‍ර කාරකයන් වන්නේ ලෝභ, ද්වේෂ, මෝහා දී අකුසල සිතුවිලි ය.
ජීවිතයේ අප විසින් මුහුණ දෙනු ලබන්නා වූ අනේකවිධ දැවීම්, තැවීම්. ගැටලු, අසහනකාරි
ස්වභාවයන් සියල්ලට මුල එසේ සිතෙහි උපදින කිලිටි සිතිවිලි ය. එහෙයින් ගත මෙන්ම සිත ද
සෝදා පිරිසුදු කළ යුතු ය.
එය ශරීරය සෝදා පිරිසුදු කරන්නා සේ පහසු නැත. ඊට අවබෝධය ඇවැසි ය. ඒ අවබෝධය ලබා ගන්නට
නිවැරැදි මාවතක ගමන් කළ යුතු ය. ඒ දහම් මඟ ය. අපගේ බුදුපියාණන් වහන්සේ, සාරා
සංඛ්‍යෙය කල්ප ලක්ෂයක් කාලයක් පාරමී දම් පුරා, මනස මෙහෙයවා අවබෝධ කරගත් උත්තරීතර
දහම් මාවත අප ඉදිරියේ වේ.
ඒ පිරිසුදු දහම නිවැරැදිව අවබෝධ කරගන්නවා නම් සැනසීම ඇත්තේ එතැන ම බව තම තමන්ගේ ම
නුවණින් දැනගත හැකි වනු ඇත.
ජීවිතයට සතුට, දියුණුව බලාපොරොත්තුවන පුද්ගලයා ධර්මයට කැමති බව, ධර්මයට සතුටු බව
බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේ දි දේශනා කොට වදාළහ. එලෙසම පිරිහීමට පත්වන
පුද්ගලයා ධර්මයට සතුරු බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
එසේනම් දැන් අපට තෝරාගත යුතු මඟ පැහැදිලි ය. ඒ උතුම් සදහම් මඟ ය. ඒ මඟ දැන ඉගෙන
ගත්තාට ද ප්‍රමාණවත් නැත. ජීවිතයට ප්‍රායෝගික කරගත යුතු ය. සැනසීම ලැබෙන්නේ එවිට ය.
බුදුරජාණන් වහන්සේ රාහුලෝවාද සූත්‍රයේ දී දේශනාකොට වදාළේ කණ්ණාඩියකින් මුහුණ බලා
මුහුණෙහි අඩුපාඩු සකස් කර ගන්නා සේ තමන්ගේ අතීත, වර්තමාන, කාය, වාග්, මනෝ කර්මයන්
දෙස බලා ඒවා නිවැරැදි කරගන්නා ලෙසයි. එසේ නිවැරැදි වන මඟ ධර්මයෙහි මනාව විවරණය කොට
ඇත. පුද්ගල චරිත සංවර්ධනය දහමට අනුව ගොඩ නැඟීම සඳහා මහා මංගල සුත්‍රය, පරාභව
සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය ආදී බොහෝ සූත්‍ර දේශනාවන් හි අන්තර්ගත කරුණු ජීවිතය
බබළවන මිනි මුතු වැනි ය. මේ සූත්‍ර පිළිබඳව දැනුමෙන් දුප්පත් බෞද්ධයෙක් නැති තරම්
ය. එහෙත් ප්‍රායෝගිකව ජීවිතයට එක් කරගෙන ඒ දැනුම ධනයක් කරගන්නට සමත් වන්නෝ දුලබ ය.
තමන් මේ තාක් දුර ආ ගමනේ කළ කී දේ විමර්ශනය කොට වැරැදි හදාගත යුතු යැයි කියන්නේ
එහෙයිනි.
කෙනෙකුට වැරැදි දේ, නිවැරැදි දේ කුමක් ද? යන්න දැනෙන්නේ තම අවබෝධයේ තරමට ය. ඒ
අවබෝධය ඉබේ ලැබෙන්නේ නැත. කියවීමෙන්, මනා දහම් ශ්‍රවණයෙන් සේ ම යහපත් පුද්ගල
ඇසුරින් ද, ලැබිය යුත්තකි. දැනුම ද ප්‍රමාණවත් නැත. උතුම් බුද්ධ රත්නය, ධම්ම රත්නය
හා සංඝරත්නය පිළිබඳ නොබිඳෙන විශ්වාසයක්, අචල ශ්‍රද්ධාවක් තිබිය යුතු ය. ධර්මය
ජීවිතයට ප්‍රායෝගික කරගත හැකි වන්නේ තිසරණයෙහි උතුම් ගුණ මනාව දැන තෙරුවන් සරණ ගිය
පුද්ගලයාට ය. සියලු දැවීම්, තැවීම් මැඩගෙන සතුටින් සැනසීමෙන් ජීවත්වීමට හැකි වන්නේ
ද එවැනි පුද්ගලයාට ය. |