[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බුද්ධගයා පින්බිම

සේයාරුව - අන්තර්ජාලයෙනි

වෙසක් පුර අටවක

මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ.
23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

සත්‍ය ගුණධර්මයක් ලෙස දකින්න

මිනිසත් බව ආලෝකවත් වනුයේ ධර්මයෙන් පෝෂණය වූ විට ය. එහෙත් තවකෙක් රවටමින්, මුළාවේ හෙළන ලොවක් තුළ, ගුණ දහම් පිරිහීම මෙන්ම ධර්මයෙහි පරිහානියට හේතු සාධක නිතැතිව ම සැකසේ. එසේ ම විටෙක තමා දන්නා, පිළිගන්නා, ඇසූ දෑ නිවැරැදි යැයි සිතමින් මිනිසුන් මුළා වී කටයුතු කරනු ලැබේ. පසුගිය කලාපයේ දී චංකී හා කාලාම සූත්‍රයෙහි සඳහන් වන සත්‍ය වටහා ගැනීමේදී උපකාරී වන නිර්ණායක වන ‘සද්ධා, රුචි, අනුස්සව, නය, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ යන සංකල්ප මඟින් සත්‍ය පිළිගත යුතු ආකාරය පෙන්වා දී තිබේ. මෙසේ හුදු සත්‍ය හා අසත්‍ය විභාග කිරීම තේරුම් ගැනීමෙන් අනතුරුව සත්‍ය ගවේෂණය අදියර තුනක් යටතේ දක්වනු ලැබේ. එනම්,සච්චානුරක්ඛණ, සච්චානුබෝධ, සච්චානුපත්ති ය. මෙහිදී ‘සත්‍යානුරක්‍ෂණය’ යන්න බුදුරදුන් පැහැදිලි කොට ඇත්තේ පූර්වෝක්ත සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ඣානක්ඛන්ති යන කරුණු නිදර්ශන වශයෙන් ඉදිරිපත් කරමිනි. එහිදී ශ්‍රද්ධාව සම්බන්ධයෙන් අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද යන්න විමසා බලමු. මෙහිදී ශ්‍රද්ධාව යනු විශ්වාසය මුලිකව ඇතිවන ගෞරවය හා ප්‍රසාදය යි. ඒ මූලික කරගෙන ඒ තැනැත්තා පවසන සියල්ල සත්‍ය බවටත්, අන් අයගේ අදහස් මතවාද සියල්ලක් ම අසත්‍ය බවටත් නිගමනයට බැසිය යුතු නොවේ. එහිදී කළ යුතු වන්නේ ස්වකීය ශ්‍රද්ධාව සත්‍ය ද, අසත්‍ය දැයි දැන ගැනීමට පරීක්‍ෂණයක් සිදු කිරීම ය. වෙනත් සූත්‍ර දේශනාවලින් පෙනී යන්නේ මෙවැනි පර්යේෂණයක දී කල් වේලා ගෙන, සියලු දත්ත එක් රැස් කිරීමෙන් පසුව කළ යුතු බව ය. අසත්‍ය බව පෙනී ගියහොත් එය ප්‍රතික්‍ෂේප කළ යුතු ය. මේ ක්‍රමයෙන් රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක හා දිට්ඨි නිජ්ඣානකක්ඛන්ති යන මතවාද පිළිබඳව ද විමසා බැලීමෙන් සත්‍යානුරක්‍ෂණය සිදු වේ. සත්‍ය රැකීමට නම් අසත්‍යයට හසු නොවිය යුතු ය. ඒ අනුව ශ්‍රද්ධා දී කරුණු පහ ඔස්සේ එක් අන්තයකට නො වැටී සත්‍යානුරක්‍ෂණය කරන හැටි දැන ගැනීමෙන් අනතුරුව එම සත්‍ය අවබෝධ කරගන්නා ආකාරය මෙසේ පෙන්වා දේ.

එළැඹ සිටි සිහියෙන් සිටින්න

බුද්ධ ධර්මය ගැන කරන සාකච්ඡාවක දී වැරැදි වැටහීමකට නො වැටීම සඳහා පළමුවෙන් ම අවධානය යොමු කළ යුතු කරුණක් ඇත. එනම් බුදුන් වහන්සේ මිනිස් බවෙන් වෙනස් වූ පුද්ගලයකු ලෙස තමන් වහන්සේ විසින් කිසිවිටෙක හෝ හඳුන්වා නො දීම යි. උන්වහන්සේ දේශනා කළ ධර්මය මිනිසා විඳින දුක පිළිබඳ ප්‍රශ්නය වටා ගොඩනැඟී ඇත. බාහිර හෝ ස්වභාවිකත්වය ඉක්මවා ගිය හෝ කිසියම් බලවේගයක පිළිසරණක් හෝ නො පතා මේ ප්‍රශ්නය විසඳා ගැනීමේ මාර්ගයක් ඒ ධර්මයෙන් මිනිසාට පෙන්වා දෙයි. බුද්ධ යන පදය, වටහාගත් තැනැත්තා නොහොත් පිබිදීමට පත් තැනැත්තා යන අර්ථය ගෙන දෙන පූර්ණ අවබෝධයකින් සමන්විත තත්ත්වයක් ලබා ගත් සිද්ධාර්ථ ගෞතම යන භාරතීය කුමාරයකු හැඳින්වීම සඳහා යොදන ලද අන්වර්ථ නාමයකි. බෞද්ධ මාර්ගය වැටී තිබෙන්නේ අවබෝධයෙන් පසක් කළ යුතු එවැනි තත්ත්වයකට සහ ඒ අවබෝධය තුළින් ඇතිවන බිය සහ දුක යන මේවායින් ලබන නිදහස වෙත ය. බුද්ධ ධර්මය පහළ වූයේ ඉන්දියාවෙහි (දඹදිව) උතුරු පෙදෙසෙහි ය. එක් කලක බුද්ධ ධර්මය මුළු ආසියාව පුරා පැතිර පැවතිණ. පසුගිය ශත වර්ෂ විසිපහ තුළ එය බොහෝ රටවල පැවති පාරම්පරික විශ්වාස හා ඇදහිලි සමඟ මිශ්‍ර විය. වර්තමාන කාලයෙහි දී ඉන්දියාව, නේපාලය, චීනය, ජපානය, කොරියාව, ටිබෙටය, කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මැලේසියාව, බුරුමය, තායිලන්තය හා ශ්‍රී ලංකාව යන රටවල වෙසෙන බෞද්ධයන්ගේ සංඛ්‍යාව පහසුවෙන් ම පනස් කෝටියකට අධික ය. එසේ ම බුද්ධ ධර්මය ගැන උනන්දුවක් අමෙරිකාවෙහි ද ප්‍රංශයෙහි ද වැඩෙමින් පවත්නා බවට ලකුණු ද පහළ වී තිබේ. ක්‍රි.පූ. 563 දී වෙසක් මස පුර පසළොස්වක පුන් පොහෝ දින දඹදිව උතුරු සීමාව අසල පිහිටි ලුම්බිණි නම් උයනෙහි දි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මෙලොව එළිය දුටු බව කියනු ලැබේ. උන්වහන්සේගේ පියා වූ සුද්ධෝදන රජතුමා හිමාලය පර්වතයෙහි පාමුල පිහිටි රාජධානියක් වූ ශාක්‍ය ජනපදයෙහි පාලකයා විය.

 

ලක්දිව බුදු පිළිමවහන්සේ ගේ ආරම්භය සහ විකාශනය

ගෞතම බුදුහු මෙයින් අවුරුදු දෙදහස් හයසියයකට පෙර (ක්‍රි.පූ.643) කෝසල රාජ්‍යයේ ප්‍රාදේශීය රාජ්‍යයක් වූ ශාක්‍ය රාජ්‍යයට අයත් ලුම්බිණි නමැති ස්ථානයේ සල් රුකක් යටදී උපත ලැබූහ. ශාක්‍ය රාජ්‍යයේ එවකට අගනුවර වූ කපිලවස්තුවේ රාජ කුමාරයකු ලෙස හැදුණ වැඩුණ එතුමා එකුන් තිස්වැනි වියේ දී ගිහි සැප හැර දමා පැවිදි ව සාවුරුද්දක් පුරා කරන ලද අත්හදා බැලීම්වලින් පසු ගයාවේ බුද්ධගයා නමින් හැඳින්වෙන ස්ථානයේ ඇසතු රුක් මුලදී සම්මා සම්බුද්ධත්වයට පත් විය. පන්සාළිස් වසක් මුළුල්ලෙහි උන්වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම දේශනා කරමින් හා සංඝ සංස්ථාව ගොඩනඟමින් සිට උපතින් අසූ වැනි වියේදී කුසිනාරාවේ සල් රුක් දෙකක් යට දී පිරිනිවියහ. ථෙරවාද බෞද්ධ කලාකරුවන් විසින් ප්‍රධාන වශයෙන් වස්තු කොටගෙන ඇත්තේ එම බුද්ධ චරිතයත්, ජාතක කතාවලින් හෙළිවන බෝධිසත්ව චරිත හා වෙනත් සමහර ඓතිහාසික සිද්ධීනුත් ය. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍යයන් කේන්ද්‍ර කොටගත් බෞද්ධ කලාවේ ඉහත සඳහන් වස්තු විෂයය ජීවමාන බෞද්ධ සම්ප්‍රදායයන් විසින් කාලයටත්, දේශයටත්, සමාජයටත් උචිත රටා යටතේ විකාශනයට පත් විය. සම්බුද්ධ රජාණන් වහන්සේ හා සම්බන්ධ ත්‍රිවිධ චෛත්‍ය බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් බවට පත්විය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ම උන්වහන්සේ ජේතවනාරාමයේ නැති අවස්ථාවල එම පුරප්පාඩුව පිරවීමට සුදුසු එකම වස්තුව වශයෙන් තෝරාගෙන තිබුණේ ආනන්ද බෝධිය යි. බුදුරජාණන් වහන්සේගේම අනුදැනුම ඇතිව ජේතවනාරාමයෙහි රෝපණය කරවන ලද ආනන්ද බෝධිය, ශ්‍රී මහා බෝධියේ ම බීජයකින් හටගත්තකි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී මිහිඳු මා හිමියන් විසින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරවීමෙන් ද, ථූපාරාම දාගැබ ගොඩනැංවීමෙන් ද, මෙරට බුදුරජාණන් වහන්සේගේ නියෝජනය පිළිබඳ අඩුව පිරිමසා ගන්නා ලදි.

 

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]