[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සත්‍යය යනු කුමක්ද? 04: සත්‍ය ගුණධර්මයක් ලෙස දකින්න

සත්‍යය යනු කුමක්ද? 04:

සත්‍ය ගුණධර්මයක් ලෙස දකින්න

මිනිසත් බව ආලෝකවත් වනුයේ ධර්මයෙන් පෝෂණය වූ විට ය. එහෙත් තවකෙක් රවටමින්, මුළාවේ හෙළන ලොවක් තුළ, ගුණ දහම් පිරිහීම මෙන්ම ධර්මයෙහි පරිහානියට හේතු සාධක නිතැතිව ම සැකසේ.

එසේ ම විටෙක තමා දන්නා, පිළිගන්නා, ඇසූ දෑ නිවැරැදි යැයි සිතමින් මිනිසුන් මුළා වී කටයුතු කරනු ලැබේ. පසුගිය කලාපයේ දී චංකී හා කාලාම සූත්‍රයෙහි සඳහන් වන සත්‍ය වටහා ගැනීමේදී උපකාරී වන නිර්ණායක වන ‘සද්ධා, රුචි, අනුස්සව, නය, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ඣානක්ඛන්ති’ යන සංකල්ප මඟින් සත්‍ය පිළිගත යුතු ආකාරය පෙන්වා දී තිබේ. මෙසේ හුදු සත්‍ය හා අසත්‍ය විභාග කිරීම තේරුම් ගැනීමෙන් අනතුරුව සත්‍ය ගවේෂණය අදියර තුනක් යටතේ දක්වනු ලැබේ. එනම්,

සච්චානුරක්ඛණ, සච්චානුබෝධ, සච්චානුපත්ති ය.

මෙහිදී ‘සත්‍යානුරක්‍ෂණය’ යන්න බුදුරදුන් පැහැදිලි කොට ඇත්තේ පූර්වෝක්ත සද්ධා, රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක, දිට්ඨි නිජ්ඣානක්ඛන්ති යන කරුණු නිදර්ශන වශයෙන් ඉදිරිපත් කරමිනි. එහිදී ශ්‍රද්ධාව සම්බන්ධයෙන් අප ප්‍රතිචාර දැක්විය යුත්තේ කෙසේ ද යන්න විමසා බලමු. මෙහිදී ශ්‍රද්ධාව යනු විශ්වාසය මුලිකව ඇතිවන ගෞරවය හා ප්‍රසාදය යි. ඒ මූලික කරගෙන ඒ තැනැත්තා පවසන සියල්ල සත්‍ය බවටත්, අන් අයගේ අදහස් මතවාද සියල්ලක් ම අසත්‍ය බවටත් නිගමනයට බැසිය යුතු නොවේ. එහිදී කළ යුතු වන්නේ ස්වකීය ශ්‍රද්ධාව සත්‍ය ද, අසත්‍ය දැයි දැන ගැනීමට පරීක්‍ෂණයක් සිදු කිරීම ය. වෙනත් සූත්‍ර දේශනාවලින් පෙනී යන්නේ මෙවැනි

පර්යේෂණයක දී කල් වේලා ගෙන, සියලු දත්ත එක් රැස් කිරීමෙන් පසුව කළ යුතු බව ය. අසත්‍ය බව පෙනී ගියහොත් එය ප්‍රතික්‍ෂේප කළ යුතු ය. මේ ක්‍රමයෙන් රුචි, අනුස්සව, ආකාර පරිවිතක්ක හා දිට්ඨි නිජ්ඣානකක්ඛන්ති යන මතවාද පිළිබඳව ද විමසා බැලීමෙන් සත්‍යානුරක්‍ෂණය සිදු වේ. සත්‍ය රැකීමට නම් අසත්‍යයට හසු නොවිය යුතු ය. ඒ අනුව ශ්‍රද්ධා දී කරුණු පහ ඔස්සේ එක් අන්තයකට නො වැටී සත්‍යානුරක්‍ෂණය කරන හැටි දැන ගැනීමෙන් අනතුරුව එම සත්‍ය අවබෝධ කරගන්නා ආකාරය මෙසේ පෙන්වා දේ.

පුද්ගල සන්තානයෙහි ලෝභ, ද්වේෂ, මෝහ යනුවෙන් පැන නගින අකුසල මූල තුනක් වේ. මේවා හේතු කරගෙන කායාදී ද්වාරත්‍රයෙන් අනේකවිධ අකුසල් රැස් කිරීම ස්වාභාවය යි. යම් ගෘහපතියකු භික්‍ෂුවක් කරා එළඹ, පූර්වෝක්ත ලෝභා දී අකුසල මූලයන්ගෙන් යුක්තදැයි නුවණින් විමසා බලයි. යමක් පිළිබඳ විමසීමේ දී නො දැන ම දන්නා බව හෝ නො දැක ම දුටු බව හෝ පවසන්නේ ද, අනුන්ට අහිත, දුක පිණිස හේතු වන දෙයෙහි අන් අය යොදවන්නේදැයි නුවණින් විමසා බැලීමේ දී එසේ නොමැති බව වටහා ගනී. එසේම උන්වහන්සේ අලෝභ, අදෝෂ, අමෝහා දී කුසල මූලයෙන් යුක්ත බවත්, පවසන දහම් කරුණු ගැඹුරු, අර්ථවත්, හරවත්, යහපත් බවත් නුවණින් වටහා ගැනීම නිසා උන්වහන්සේ කෙරෙහි සිත තුළ ප්‍රසාදය (ශ්‍රද්ධාව) හටගනී. ශ්‍රද්ධාව නිසා උන්වහන්සේ වෙත එළඹේ. (උපසංකමති) මෙසේ පැමිණ සමීපයෙන් සිටී.

(පයිරුපාසති) සමීපයෙහි සිටීම නිසා කන් යොමු කරනු ලැබේ. (සොතං ඔදහති) කන් යොමු කිරීමෙන් ධර්මය ශ්‍රවණය කරයි. (ධම්මං සුණාති) අසන ධර්මය දරා ගනී. (ධාරෙති) දහම් ධාරණය කර ගැනීමෙන් පසුව අර්ථය විමසා බලයි. (අත්ථං උපපරික්ඛති) අර්ථ විමර්ශනය නිසා ඒ ධර්මය වැටහේ. (ධම්මං නිජ්ඣානං ඛමන්ති) ධර්මය වැටහීම නිසා කුසල් කිරීමේ කැමැත්ත ඇති වේ. (ඡන්දො ජායති) ඒ කැමැත්ත නිසා උත්සාහයෙන් අකුසල් දුරලීමට වෑයම් කරයි. (උස්සහති) උත්සාහය නිසා ලොව තතු අනිත්‍ය - දුක්ඛ - අනාත්මාදී වශයෙන් තීරණය කරයි . (තුලයති) මෙසේ තුලනය නිසා ප්‍රධන් වීර්ය හෙවත් ආරද්ධ වීර්යයෙන් කටයුතු කරයි. කෙලෙස් මැඬලීමට ඇති කරගනු ලබන දැඩි වීර්ය යි. (මග්ගපධානා පදහති) එසේ නිවනට මෙහෙයවන ලද සිත් ඇති හෝ කයින් සත්‍යය (නිවන) ප්‍රත්‍යක්‍ෂ කරන අතර, ප්‍රඥාවෙන් කෙලෙස් විනිවිද දකී. ‘සත්‍යාවබෝධය’ යනු මෙයයි.

සත්‍යාවබෝධය

මෙසේ සත්‍යානුරක්‍ෂණය කළ තැනැත්තා සත්‍යාවබෝධයට අදාළ මාර්ග පියවර ක්‍රමානුකූලව සඳහන් වේ. ඒ අනුව නුවණින් සත්‍යය අවබෝධ කළ තැනැත්තා අන්තයකට නො වැටී සත්‍යය දැකීමට මඟ දුටු නුවණැත්තාට සත්‍යය රකිමින් එය අවබෝධ කරගැනීමට උපකාර වන ආකාරය පෙන්වා දෙන ලදි . ශ්‍රද්ධා රුචි, අනුශ්‍රවාදී ක්‍රමවේද තුළින් තමන් දැනගත් සත්‍යය සැබෑ සත්‍යයක් වන්නේ ද යන්න ප්‍රඥාවෙන් විනිවිද දැකීම තුළින් සත්‍යාවබෝධය සිදුවන බව පෙන්වා දෙන ලදි.

සත්‍යානුප්‍රාප්තිය

සත්‍යාවබෝධ කරගැනීමේ පියවර දැනගත් පසුව එය සත්‍යානුප්‍රාප්තියක් බවට පත් කරගන්නා ආකාරය පෙන්වා දේ. සත්‍යානුප්‍රාප්තියට උපකාරී වන අංග තුනක් මෙහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දේ.

1. ආසේවනා - සේවනය කිරීම

2. භාවනා - භාවනා වශයෙන් වැඩීම

3. බහුලීකම්ම - බහුල වශයෙන් ක්‍රියාත්මක කිරීම ය.

පූර්වෝක්ත ධර්ම සමුදාය තුළ සිය දිවි පවත්වමින්, එම ධර්ම මාර්ගය වැඩීම හා බහුල වශයෙන් ක්‍රියාත්මක කිරීම සත්‍යය ප්‍රත්‍යක්‍ෂ කරලීමට උපකාරී වේ. ඒ සඳහා බහූපකාරවන ධර්ම කොට්ඨාසයක් වේ.

එහිදී ප්‍රධාන වශයෙන් බහූපකාර වනුයේ,

මාර්ග ප්‍රධානය (මග්ග පධානා)

තුලනාව (තුලනා)

ව්‍යායාමය (උස්සාහො)

උත්සාහය (කාර්තු කම්‍යතා)

කැමැත්ත (ඡන්ද)

ධර්මය වැටහීම (ධම්මනිජ්ඣානක්ඛන්තිය)

අර්ථ විමසීම (අත්‍ථුප්පරික්ඛා)

දහම් දැරීම (ධම්මධාරණ)

ධර්මය ඇසීම (ධම්ම සවණ)

කන් යොමු කිරීම (සොතාවධානය)

ඇසුරු කිරීම (පයිරුපාසතා)

වෙතම එළඹීම (උපසංකම)

ශ්‍රද්ධාව (සද්ධා)

මෙම පියවර ක්‍රමානුකූල ව අනුගමනය කිරීම තුළින් සත්‍ය ඵල ප්‍රත්‍යක්‍ෂයක් බවට පත් කරගැනීමට පුළුවනි. එහි ක්‍රමවේදය හා පියවර තුළින් එය පෙන්වා දී තිබේ. ඉහත සඳහන් සූත්‍ර දේශනාව තුළින් පෙන්වා දෙනුයේ සත්‍ය යනු තම නුවණින් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු යථාර්ථයක් බව ය.

වෙසක් පුර අටවක

මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ.
23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]