[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ලක්දිව බුදු පිළිමවහන්සේ ගේ ආරම්භය සහ විකාශනය

ලක්දිව බුදු පිළිමවහන්සේ ගේ ආරම්භය සහ විකාශනය

ගෞතම බුදුහු මෙයින් අවුරුදු දෙදහස් හයසියයකට පෙර (ක්‍රි.පූ.643) කෝසල රාජ්‍යයේ ප්‍රාදේශීය රාජ්‍යයක් වූ ශාක්‍ය රාජ්‍යයට අයත් ලුම්බිණි නමැති ස්ථානයේ සල් රුකක් යටදී උපත ලැබූහ.

ශාක්‍ය රාජ්‍යයේ එවකට අගනුවර වූ කපිලවස්තුවේ රාජ කුමාරයකු ලෙස හැදුණ වැඩුණ එතුමා එකුන් තිස්වැනි වියේ දී ගිහි සැප හැර දමා පැවිදි ව සාවුරුද්දක් පුරා කරන ලද අත්හදා බැලීම්වලින් පසු ගයාවේ බුද්ධගයා නමින් හැඳින්වෙන ස්ථානයේ ඇසතු රුක් මුලදී සම්මා සම්බුද්ධත්වයට පත් විය.

පන්සාළිස් වසක් මුළුල්ලෙහි උන්වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම දේශනා කරමින් හා සංඝ සංස්ථාව ගොඩනඟමින් සිට උපතින් අසූ වැනි වියේදී කුසිනාරාවේ සල් රුක් දෙකක් යට දී පිරිනිවියහ.

ථෙරවාද බෞද්ධ කලාකරුවන් විසින් ප්‍රධාන වශයෙන් වස්තු කොටගෙන ඇත්තේ එම බුද්ධ චරිතයත්, ජාතක කතාවලින් හෙළිවන බෝධිසත්ව චරිත හා වෙනත් සමහර ඓතිහාසික සිද්ධීනුත් ය. ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍යයන් කේන්ද්‍ර කොටගත් බෞද්ධ කලාවේ ඉහත සඳහන් වස්තු විෂයය ජීවමාන බෞද්ධ සම්ප්‍රදායයන් විසින් කාලයටත්, දේශයටත්, සමාජයටත් උචිත රටා යටතේ විකාශනයට පත් විය.

බෞද්ධ සංකේත

සම්බුද්ධ රජාණන් වහන්සේ හා සම්බන්ධ ත්‍රිවිධ චෛත්‍ය බෞද්ධයන්ගේ පූජනීය වස්තූන් බවට පත්විය. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී ම උන්වහන්සේ ජේතවනාරාමයේ නැති අවස්ථාවල එම පුරප්පාඩුව පිරවීමට සුදුසු එකම වස්තුව වශයෙන් තෝරාගෙන තිබුණේ ආනන්ද බෝධිය යි. බුදුරජාණන් වහන්සේගේම අනුදැනුම ඇතිව ජේතවනාරාමයෙහි රෝපණය කරවන ලද ආනන්ද බෝධිය, ශ්‍රී මහා බෝධියේ ම බීජයකින් හටගත්තකි. ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දී මිහිඳු මා හිමියන් විසින් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලවා ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩමවා අනුරාධපුර මහමෙවුනා උයනේ රෝපණය කරවීමෙන් ද, ථූපාරාම දාගැබ ගොඩනැංවීමෙන් ද, මෙරට බුදුරජාණන් වහන්සේගේ නියෝජනය පිළිබඳ අඩුව පිරිමසා ගන්නා ලදි.

බුදු පිළිමය නිර්මාණය කරන්නට පළමු කාල පරිච්ඡේදය තුළ මනුෂ්‍ය ස්වරූපී බුදු පිළිමය වෙනුවට සංකේත භාවිත කර ඇත. බෝධි වෘක්ෂය හා බුදු පිළිමය ඇතුළත් අනෙකුත් බුද්ධ සංකේත උද්දේසික චේතිය ගණයට අයත් වෙයි. ශාරීරික ධාතු නිදන් කොට තනන ලද ස්තූපය ශාරීරික චේතිය වෙයි. බුදුරදුන් විසින් පරිභෝග කරන ලද වස්තු පාරිභෝගික චේතිය නම් වෙයි. ශ්‍රී මහා බෝධියත්, එහි දක්ෂිණ ශාඛාව ලෙස සැලකෙන අනුරාධපුර මහමෙවුනා උයනේ ඇති ඓතිහාසික බෝධියත් ශ්‍රාවස්තියේ ජේතවනාරාමයේ ඇති ආනන්ද බෝධියත් බුදුරජාණන් වහන්සේ විසින් පරිභෝග කරන ලද හෙයින් පාරිභෝගික චේතිය වශයෙන් ද (අවශේෂ බෝධි වෘක්ෂ උද්දේසික චේතිය වශයෙන් ද )සැලකිය හැකි ය. (ධාතු නිදන් කොට තනන ලද බුදු පිළිමය උද්දේසික මෙන්ම ශාරීරික චේතියක් වශයෙන් ද ධාතු රහිත බුදු පිළිම උද්දේසික චේතියක් වශයෙන් ද සැලකිය හැකි ය. මෙසේ ම ධාතු සහිත ස්තූපය ශාරීරික චේතියක් විය හැකි අතර, ධාතු රහිත ස්තූපය උද්දේසික චේතියක් විය හැකි ය.

ඉහත සඳහන් චේතියන් මුලදී ආරම්භ වන්නට ඇත්තේ සංවේගජනනට්ඨාණ හෙවත් බුදුරජාණන් වහන්සේ පිළිබඳ සංවේගය උපදවන තැන් වශයෙනි. පසුව ඒවා පූජනීය වස්තු බවට පත් විය. අසෝක රජුගේ කාලය, එනම් ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවස සිට ආගමික වස්තුවලට පුද පූජා පැවැත්වීම ජනපි‍්‍රය අංගයක් බවට පත් වී තිබිණ. එකල බුදු පිළිම භාවිත කරන ලදැයි පිළිගැනීමට ප්‍රමාණවත් ඓතිහාසික සාධක නැත. එහෙත් මේ යුගයේ රචනා කරන ලදැයි සැලකිය හැකි අපදාන පාලියට අනුව බුද්ධ ප්‍රතිමා පැවති බව පෙනේ. මහාකාල විසින් මවන ලද බුද්ධ ප්‍රතිමාවකට අසෝක අධිරාජයා විසින් සතියක් තිස්සේ පුද පූජා පැවැත්වූ බව ද වාර්තා වෙයි. ලංකාවේ මේ යුගයේ ම දේවානම්පියතිස්ස රජතුමා විසින් කරවන ලදැයි සැලකෙන සෙල්මුවා බුදු පිළිමයක් ගැන ඊට පසු කාලයේ පුවත් සමඟ මහා වංශයේ සඳහන් වී තිබේ. පුරාවිද්‍යාත්මක සාධක නොමැති ව මේ වාර්තාවල සත්‍යතාව භාර ගැනීමට ඉඩක් නැත ද අදාළ කාල පරිච්ඡේදය තුළ බුදු පිළිමයේ අවශ්‍යතාව වැඩෙමින් පැවති බව නො පිළිගැනීමට හේතුවක් නැත. බුදු දහම අලුත් ප්‍රදේශවලට හඳුන්වා දෙන්නට සිදු වූ සෑම අවස්ථාවක ම බුදුරජාණන් වහන්සේ කෙබඳු පුද්ගලයකු ද යන්න පෙන්වීම සඳහා පමණක් නොව, උන්වහන්සේ වෙනුවට යොදාගත හැකි පූජනීය වස්තුවක් වශයෙන් ද භාවනාවට අරමුණක් වශයෙන් ද, බුදු පිළිමය අවශ්‍ය වන්නට ඇතැයි සිතිය හැකි ය.

බුදුරජාණන් වහන්සේ තමන් මනුෂ්‍යයකු හෝ දෙවියකු හෝ ගාන්ධර්වයකු හෝ යක්ෂයකු නොවන බව ප්‍රකාශ කොට තිබේ. උන්වහන්සේ හැඳින්වීමට ඉතාම සුදුසු වචනය ‘බුද්ධ’ යන්න බව එහි වැඩිදුරටත් සඳහන් වෙයි. බුද්ධ යන්නෙන් බෝධිය හෙවත් බුද්ධත්වය අදහස් කර ඇත. යමෙක් ධර්මය දකී ද හේ මා (බුදුන්) දකී” යන බුදුරජාණන් වහන්සේගේ ප්‍රකාශයෙන් ද පැවසෙන්නේ ඉහත සඳහන් කළ අදහස ම බව වැඩිදුරටත් කල්පනා කිරීමට ඉඩ තිබේ.

බෞද්ධ ඉතිහාසයේ මුල් කාල පරිච්ඡේදය තුළ බුදු පිළිමය නෙළීමට කලාකරුවන් අපොහොසත් වූයේ බුදුරජාණන් වහන්සේගේ කාය ලක්ෂණ පිළිබඳ ගැටලුව නිසා විය හැකි ය. මේ නිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ, උද්ගතව තිබූ ගැටලුවට විසඳුමක් ලබා ගැනීමට ගන්නා ලද ප්‍රයත්නයෙහි ප්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ මහා පුරුෂයකු ලෙස සලකා එම මහා පුරුෂයාගේ කායික ලක්ෂණ හා දීඝනිකායේ ලක්ඛණ හා මහාපදාන සූත්‍ර දෙකෙහි අන්තර්ගත අන්දමට බුද්ධ ප්‍රතිමාව සඳහා උපයෝගී කරගෙන තිබේ. මේ ලක්ෂණ ප්‍රතිමා භේදය, ප්‍රතිමා ප්‍රමාණ විද්‍යාව හා සංකේතවාදය යන අංශ තුනට ම සම්බන්ධ වෙයි. න්‍යග්‍රෝධපරිමණ්ඩල ලක්ෂණය හැරුණුවිට අවශේෂ මහාපුරුෂ ලක්ෂණ ප්‍රතිමාභේදය හා සම්බන්ධය. න්‍යග්‍රෝධපරිමණ්ඩල ලක්ෂණය ප්‍රතිමා ප්‍රමාණ විද්‍යාවට අයත් මූලික ලක්ෂණයකි. සතිමිතිය ඉන් අදහස් වෙයි. ව්‍යාමප්‍රභාව සංකේතවාදී ලක්ෂණයකි. චිත්‍ර හා මූර්ති ශිල්පීන් විසින් බුද්ධ ප්‍රතිමා නිර්මාණයේ දී ගුරුකොටගෙන ඇත්තේ යට කී නිකායාගත ප්‍රතිමා භේදය, ප්‍රතිමා ප්‍රමාණ විද්‍යාව හා සංකේතවාදය යි. පසුකාලයේ දී දියුණුවට පත් ශිල්ප ශාස්ත්‍ර ග්‍රන්ථවලට ගුරු වී ඇත්තේ ද එකී ලක්ෂණ බව පෙනේ.

ථෙරවාද, මහායාන දෙපක්ෂය ම බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ව්‍යාමප්‍රභාවෙන් යුක්ත බව පිළිගෙන තිබේ. දෙපක්ෂයේ ම පෞරාණික ග්‍රන්ථවල දැක්වෙන එම ලක්ෂණ තුලනාත්මකව බලනවිට ඉතා සුළු වෙනස්කම් ඇතිව දක්වා ඇතත් සියලු ම බුදුවරයන්ට ඒවා පොදුවේ පිහිටන බව අවිවාදයෙන් පිළිගෙන තිබේ.

කෙසේ නමුත් බුදුන් වහන්සේගේ නිමිත්ත (අත්තභාව) කලාකරුවකු විසින් චිත්‍රයකින් හෝ ප්‍රතිමාවකින් දැක්වීමට නොහැකි බව පිළිගත් කරුණක් විය. එයින් අධෛර්යයට පත් නොවූ කලාකරුවා භාවනාවෙන් මනස තුළ මවාගන්නා ලද බුදුන් වහන්සේගේ චිත්‍රයකින් හෝ ප්‍රතිමාවකින් අභිව්‍යක්ත කළේ ය. ත්‍රිපිටකයෙහි සඳහන් වන අන්දමට බුදුන් වහන්සේගේ ලෝකෝත්තර ගුණය පද්මාසනයෙන් දක්වන ලදි.

බෞද්ධ දර්ශනය හා මාර්ගය ගොඩනැඟී ඇත්තේ ශීල, සමාධි සහ පඤ්ඤා යන ගුණත්‍රය පදනම් කරගෙන ය. එනිසා බුදු පිළිමය තුළින් ද එම ගුණ නිරූපණය කිරීම අවශ්‍ය වෙයි. මුද්‍රා, ආසන හා මුහුණේ පිහිටීම වැනි උපක්‍රම මඟින් හා සංකේත මඟින් එය සපුරාලීමට ප්‍රතිමා ශිල්පීන් උත්සාහ කර තිබේ. සමාධි ප්‍රතිමාවෙන් සමාධි ලක්ෂණය ද, ධර්ම චක්‍ර මුද්‍රාවෙන් ප්‍රඥාව ද පෙන්වන අතර, සෑම ප්‍රතිමාවක ම දක්නට ලැබෙන සංවරශීලීභාවයෙන් සීලය මතු කර පෙන්වයි. තවද සත්ත්ව, රජස් හා තමස් යන ගුණයෙන් යුක්තව ප්‍රතිමා නිර්මාණය කරනු ලැබේ. බුදුරජාණන් වහන්සේගේ හා බ්‍රහ්මයාගේ ප්‍රතිමා සත්ත්ව ගුණයෙන් යුක්ත විය යුතු ය. මෙහි සාත්විකත්වයෙන් අදහස් වන්නේ සංයමයත්, ප්‍රඥාවත් ය.

වෙසක් පුර අටවක

මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.06න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30න් ගෙවේ.
23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 23  

Full Moonපසළොස්වක

‍මැයි 30 

Second Quarterඅව අටවක

‍‍‍ජුනි 08   

Full Moonඅමාවක

ජුනි 14

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]