බෝසතාණන් වහන්සේගේ සුන්දර ළමාවිය
බළන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය මහ නා හිමි
බෝ සතාණන් වහන්සේ ඉපිද පස් වැනි දවස විය. සුද්දෝදන රජතුමා පුත්‍රයාණන්ගේ ශරීර ලක්ෂණ
පිරික්සැවීමට ද නමක් තැබ්වීමට ද අදහස් කෙළේ ය.
මෙසේ හේ උගත් බමුණන් එක්සිය අට දෙනකු ගෙන්වා අන්නපානාදියෙන් සත්කාර කොට, තමා ඔවුන්
ගෙන්වූ කාරණය සැල කෙළේ ය. ඔහු ද මැනැවැ යි ගිවිසැ තුමු ම සාකච්ඡා කොට තම පිරිසෙහි
වූ අග්‍ර ම පඬිවරුන් අට දෙනාට ඒ කාර්යය පැවරූහ. ඒ අට දෙනා වනාහි රාම, ධජ, ලක්ඛණ,
මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන බමුණෝ ය.
ඔහු බෝසතාණන්ගේ ගත ලකුණු විමැසූහ. තමන් දත් ශාස්ත්‍රය පරිදි සිය නිගමනය පැවැසූහ. මේ
කුමාරයාණෝ ගිහිගෙයි රැඳෙන්නාහු නම් මුළු පොළොව ම පාලනය කරන සක්විති රජෙක් වන්නාහ.
ඉදින් ගිහි ගෙයින් නික්ම ගියෝ නම් පැවිදි ව ලොව්තුරා බුදු වන්නාහ යි ඇඟිලි දෙකක්
ඔසොවා රාම, ධජ, ලක්ඛණ යන තිදෙන කීහ. එහෙත් මන්ති, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම, සුදත්ත යන
පස් දෙනා කුමාරයාණන්ගේ ගත ලකුණු බලා එකැඟිල්ලක් ම ඔසොවා, ‘මහරජාණෙනි, අප දන්නා
ශාස්ත්‍රය අනුව නම් මෙතුමාණෝ කිසිසේත් ගිහිගෙයි නො රැඳෙන්නාහ. ගිහි ගෙන් නික්ම
පැවිදි වැ ලොව්තුරා බුදු වන්නාහු මැයැ යි නිශ්චිත කොට කීහ. ඉක්බිති පුතකු ලබම්හ යි
බොහෝ කලක් රජහු බලාපොරොත්තු වූ අර්ථය සිධ කළ බැවින් (ලොවට මහත් අර්ථයක් සිදු කිරීම
පිණිස උපන් හෙයින් සිද්ධාර්ථ යැයි නම් කළ යැයි පාලි අටුවාහි දැක්වේ.) සිධ කළ
අභිමතාර්ථය ඇත්තේ ය යන අදහස අනුව, සිද්ධාර්ථ යන නම දුන්හ.
මගේ පුත්‍රයාණෝ කරුණක් නැති ව ගිහිගෙය හැර නො යති. කිමෙකින් කලකිරී ගිහිගෙය හැර දමා
යන්නෝ දැ? යි රජ ඇසී ය. බමුණෝ තමන් උගත් මහා පුරුෂ ලක්ෂණ විද්‍යාව අනුව විමසන්නෝ
මහල්ලකුත්, ලෙඩකුත්, මිනියකුත්, පැවිද්දකුත් දැක ම ගිහි ගෙය හැර යන්නාහ යි කීහ.
පුත්‍රයාණන් සක්විති රජක්හු වී සිටිනු දක්නට ම අපේක්ෂා කළ රජතුමා ඒ පෙර නිමිති
දැක්ම වැළැක් වූ විට ගිහිගෙයි ම රැඳෙතැ යි සලකා එසේ කරන්නට ඉටා ගත්හ.
එතැන් සිට බෝසතාණෝ ගෝත්‍ර නාමයත් සහිත ව සිද්ධාර්ථ ගෞතම නමින් ප්‍රකට වූහ.
මහාමායා දේවිය කලුරිය කිරීම
බෝසතාණන් උපන් දා සිට මහාමායා ගෞතමී තොමෝ කිසිදු වෙහෙසක් දුකක් නැති වැ සැපයෙන් කල්
යැව්වා ය. ඕ අසිත සෘෂීන් විසින් ද, ලක්ෂණ පාඨක බමුණන් විසින් ද තමන් පුත්
කුමරුවාණන් පිළිබඳ වැ කී අනාවැකි නිතර සිහි කරන්නී, සිය නැඟණියන් වූ ප්‍රජාපතී
ගෞතමී ආදි නෑදෑ කාන්තාවන් හා ඒ ගැන ම කතා කරන්නී මහත් මැ පී‍්‍රතියෙන් කල් ගෙව්වා
ය. මෙසේ බලවත් ම පී‍්‍රතියෙන් සතුටින් කල් යවන්නී සතිය ගෙවුණු සත්වැනිදා රැයෙහි ඇසි
පියා ගත්තී. යළි මේ සිරුරෙන් නොමැ නැගිට්ටා ය. තුසිත දිව්‍ය ලෝකයෙහි සොළොස්
සැවිරිදි දෙව් කුමරක්හුගේ බඳු වූ දිව්‍ය ශරීරයක් ඇති වැ ඇස් හැරියා ය. හෙවත් ලොවැ
දෙව් පුතෙක් වැ උපන්නා ය. හේ දෙවියන් අතරැ මාතෘ දේවපුත්‍ර (මව් දෙව්පුත්) නමින්
ප්‍රකට වූයේ සියලු දෙවියන්ගේ මහත් ආදර ගෞරවයට පාත්‍ර විය.
කිරි මවුන් සෙවීම
සුද්ධෝදන මහරජතුමා තම පුත්‍රයාණන් රැක බලා ගන්නට කිරි මවුන් සෙවී ය. කිරි මවු
තනතුරට හොබනා ගුණාංග ඇත් රාජවංශික කාන්තාවන් සමූහයක් තෝරාගෙන කුමරුවාණන් ඔවුන්ට
පැවරුයේ ය.
වප්මඟුල් උලෙළ
බෝසතාණන් ඉපිද පස් මසෙක් ගත විය, මේ සමයෙහි කිඹුල්වත් නුවර රෝහිණී ගඟ අද්දරැ දිගට ම
පිහිටි රජුට අයත් විශාල කුඹුරුයායේ වාර්ෂික හීහෑමේ මහ උළෙලට කාලය විය. මඟුල් නඟුල
අත තබා එය ඇරැඹීම සුද්ධෝදන රජුට පැවරුණේ ය. උලෙළ බලන්නට රැස්වන ජනයා සුදු වතින්
සැරැසී සුදු මල් පැලැඳ එති. මහරජු ද රජගෙහි තව බොහෝ ජනයෝ ද එහි යන්නට සැරසුණහ. රජු
ද, පුත් කුමරුන්, කිරි මවුන් බාරේ රන් සිවිගෙයෙකින් ගෙන්වාගෙන පිටත් විය. කුඹුර
අද්දර මහ කමතේ වූ මහ දඹ ගස් සෙවණේ වට තිර අදවා උඩුවියන් බඳවා ඇඳෙක කුමරුන් හොවා රැක
බලා ගන්නට කිරි මවුන් නවතා රජතුමා කුඹුරට බැස රන් නඟුලක අත තබා සුබ මොහොතින් වැඩ
ඇරැඹීය. සේවකයෝ ගී ගයමින් හී හෑම පැවැත්තූහ. මඳ වේලාවකින් එය බලන්නට කිරි මව්වරු ද
තිරයෙන් පිටත ආහ.
මේ වේලෙහෙි බෝසතාණෝ ළඟ කිසිවකුත් නැති නියාව දැක නැඟිට ඇඳෙහි ම පළක් බඳගෙන අනාපාන
සතිය වඩා ප්‍රථම ධ්‍යානයට සමවැද හුන්හ. මඳ වේලාවකින් කිරී මවුහු තිරයෙන් ඇතුළට
ගියාහු බෝසතාණන් වැඩ ඉන්නා නියාව දැක මවිත ව වහා ගොස් රජුට දැන්වූහ.
රජ අවුත් කුමරුන් උන් සේ දැක විස්මිත වැ උපන් බලවත් සෙනෙහස දරා ගත නො හැකි වැ
කුමරුන්ගේ පතුල් ළඟ ඉස තබා ගෙන ‘පුතා නුඹ අද ම බුදු වූ යෙහිදැ’ යි කියමින් වැන්ඳේ
ය.
මඳ කලකට පසු ප්‍රජාවතී ගෞතමී (මහාමායා දේවීන් ගේ බාල සොහොයුරිය ද පුතකු වැදුවා ය.
රජ තෙම බෝසතාණන්ට සෙයින් එ කුමරුට ද ශරීර ලක්ෂණ පිරික්සැවීම් ආදිය කරවා හැම දෙනා ම
සතුටු කරවමින් උපන් බැවින් ‘නන්ද’ යන නම තැබීය. නන්ද කුමරු උපන් පසු ඔහුගේ මවු වූ
ප්‍රජාවතී ගෞතමී තොමෝ කලුරිය කළ වැඩිමහල් සොහොයුරිය ගේ දරු වූ සිද්ධාර්ථ (සිදුහත්)
කුමාරයාණන් තමා ගේ භාරයට ගෙන තම පුත් නන්ද කුමරුවා කිරි මවුන්ට පැවරුවා ය.
සිද්ධාර්ථ කුමරු සුළු මවුගේ තනෙන් කිරි බී වැඩුණේ ය. නන්ද කුමරු උපදනට අවුරුදු
දෙකකට පමණ කලින් ද ඇයට ලැබුණු නන්දා නම් දුවක් ද සිටියා ය. නන්දා, සිද්ධාර්ථ නන්ද
යන දරු තිදෙනා ගේ ම මවු වශයෙන් වි්සු ඇයට දරුවන් ඇති ගෞතමී යන අර්ථය අනුව ප්‍රජාවතී
ගෞතමී (ප්‍රජාපතී ගෝතමී) යන නම සුදුසු ම විය. ළදරු වියේ සිට ම සිද්ධාර්ථ කුමාරයන්ට
මවගේ මරණය කිසිසේත් නො දැනෙන ලෙසට ද ප්‍රජාවතී ම එතුමන් ගේ ද මෑණියෝ මැ යැයි යි
හැඟෙන ලෙසට ද රජ පවුලේ සියල්ලෝ ම කතා බස් ආදි හැම එකෙක දී ම පරිස්සමින් ක්‍රියා
කළහ. මෙසේ බෝසතාණන් වහන්සේ ද නන්ද කුමරු ද එ දෙදෙනාට ම වැඩිමහල් වූ නන්දා කුමරිය ද
යන තුන් දරුවෝ ඔවුනොවුන් කෙරෙහි මහත් සෙනෙහසින් කෙළිදෙළෙන් සුව සේ වැඩුණහ.
සිද්ධාර්ථ කුමාරුට සේ ම නන්ද කුමරුට ද පිරිවර වශයෙන් තෝරා ගත් ශාක්‍යවංශික කුමරුවන්
ද මහ පිරිසෙක් නිතර රජ ගෙය ඇසුරු කෙළේ ය.
සිප් සතර ඉගැන්ම
සිය දරුවන්ට සිප් සතර ඉගැන්මට කාල යැයි සැලකු සුද්ධෝදන රජතුමා සුදුසු ඇදුරක්හු
සොයනුයේ, එදා පැවැති හැම සිප් සතරෙහි ප්‍රවීණ සර්වමිත්‍ර (විශ්වාමිත්‍ර) නම් බමුණු
පඬිවරයා ගැන අසා ඔහු ගෙන්වා මාළිගාවෙහි ම රඳවාගෙන සිදුහත් කුමරු නන්ද කුමරු ආදී රජ
පවුලේ දරුවන්ට ඉගැන්වීම සිදු කැරැවීය. ඔවුන් අතරෙන් සිදුහත් කුමරුවාණෝ කල් නොයා දීම
ඇදුරු බමුණා දත් සියලු සිප් සතර උගත්හ. |