තුන් සිත පහදවා
දන් දෙමු
ධනය ඉපයීමත් සමඟ ම අප තුළ පහළ වන සිතිවිලි දෙකක් වන්නේ ලෝභය සහ මසුරු බව ය.
එහිදී අපේ සිතේ ධනය පිළිබඳ ව ඇතිවන ආශාව ලෝභය වන අතර, තමන්ට පමණක් ධනය ලැබේවා යන
ආශාව මසුරුකම වන්නේ ය. පෘථග්ජන වූ අප තුළ ඇතිවන එම හැඟීම් ක්ලේශ ලෙස හැඳින්වේ. එම
ක්ලේශ යටපත් කර පරිත්‍යාගශීලී ව කටයුතු කිරීමට හුරුවීම යහපත් පුරුද්දකි. එම යහපත්
පුරුද්දේ අර්ථය වන්නේ දානය දීමයි. බෞද්ධ සමාජයේ උපදෙස් අනුව දානය දීම ප්‍රධාන
වශයෙන් කොටස් දෙකකට අයත් වන්නේ ය. එය දක්වා ඇත්තේ පූජාවක් වශයෙන් දෙන දානය සහ
අනුග්‍රහයක් වශයෙන් දෙන දානය ලෙසිනි.
ශීලාදී යහපත් ගුණාංගවලින් යුක්ත වූ මහා සංඝයා වැනි උත්තමයන්ට අප යම් යම් දේ
පරිත්‍යාග කරන්නේ පූජාවක් වශයෙනි. එයින් පිටස්තරව දුගී දුප්පතුන්ට හෝ වෙනත් අයට හෝ
අප යම් පරිත්‍යාගයක් පිළිගන්වන්නේ අනුග්‍රහ වශයෙන් ය. මහා සංඝයා වහන්සේ සුපටිපන්න
ආදී මහා ගුණයෙන් යුක්ත ව සමාජයට යහපත් මාර්ගය පෙන්වා දෙමින් වැඩ සිටින බැවින් එවැනි
උත්තමයන්ට දෙනු ලබන දානය අපේ බෞද්ධ ආගම අනුව මහා පුණ්‍යකර්මයක් වන්නේය. මහා සංඝයාට
දානය පූජා කිරීම උන්වහන්සේගේ ගුණවත් භාවයට කරන මහා සංග්‍රහයක් වන්නේ ය.
සමාජයේ සෑම දෙනාම එක හා සමාන නොවන්නේ ය. විවිධ වූ උස් පහත්කම් ඇති දුප්පත්, පොහොසත්
ආදි තත්ත්වයන්ට පත්ව ජීවත්වන අය දක්නට ලැබෙයි. එනිසා සමාජයේ ජීවත් වන්නන්ට අපට හැකි
අයුරින් උදවු කිරීමට ඉදිරිපත් වීම අප සතු යුතුකමකි. එය පරාර්ථකාමී ලක්ෂණයකි. සමාජයට
විවිධාකාරයෙන් උපකාර කිරීමට හැකියාව ඇත්තේ ය. එය ධනයෙන්, ශ්‍රමයෙන් යන දෙයාකාරයෙන්
ම ඉටු කළ හැකි වේ. දුප්පතුන්ට ආහාරපාන ලබාදීම වස්ත්‍රාභරණ ලබාදීම, ඉගෙනුම සඳහා
අවශ්‍ය අයට පොතපත ලබාදීම ආදි දීමනා පරිත්‍යාග දානය ලෙස හැඳින්වේ. ආමිස දාන, අභය
දාන, ධර්ම දාන යන උතුම් දාන පිළිබඳ බෞද්ධ පොතපතෙහි විස්තර සඳහන් වන්නේ ය. ඒ අනුව
නැති බැරි අයට අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම, බියෙන් ජීවත් වන්නන් නිර්භය කොට
ආරක්ෂා කිරීම, සත්ත්වයන්ට අභය දානය දී නිදහස් කිරීම, දුශ්චරිතයන්ට පුරුදු වූ අයට
ධර්මය කියාදී දුසිරිතෙන් මුදා ගැනීම ආදි කාර්යයන් එම ත්‍රිවිධ දානයන්ට අයත් වන්නේ
ය.
එහිදී බෞද්ධ ධර්මයෙහි සඳහන් වන්නේ ලෝභ, දෝස, මෝහ යන අයහපත් සිතිවිලිවලින් බැහැරව
දානය දීම බොහෝ ආනිශංසයන්ට හේතු වන බව ය. බෝධිසත්ත්වයන් වහන්සේ තමන් බුද්ධත්වය සඳහා
පෙරුම් දම් පිරීමේ දී දානමය පුණ්‍ය ක්‍රියාව ප්‍රථමයෙන් ම සම්පූර්ණ කළ යුතු බව
විස්තර වේ. ඒ අනුව දස පාරමිතා අතර දාන පාරමිතාව පළමු වන පාරමිතාව ලෙස දක්වා ඇත්තේ
ය. එහිදී දාන පාරමිතා, දාන උප පාරමිතා, දාන පරමත්ත පාරමිතා ආදි වශයෙන් තුන් ආකාරය
‘දීම’ නම් වූ උතුම් ක්‍රියාව මෙලොව වශයෙන් යහපත් සමාජ ජීවිතයකටත්, පරලොව වශයෙන්
යහපත් උත්පත්තියටත් හේතු වන මහානිශංස පින්කමකි.
බෞද්ධ ඉගැන්වීම අනුව දස පාරමිතා අතර දාන පාරමිතාව, පළමු පාරමිතාව වන්නේ ය. බුදු බව
පතන බෝධි සත්ත්වයන් වහන්සේ තමා සන්තක සියලු ම වස්තු අන්‍යයන්ට දානය කරන අතර ම ඇස්,
ඉස්, මස්, ලේ ආදි ශරීරාංග ද දන් දෙන බව බණ පොත්වල සඳහන් වේ.
අපේ බොහෝ සාහිත්‍ය ග්‍රන්ථවල දානය පිළිබඳ බොහෝ විස්තර සඳහන් ව ඇත. ව්‍යාස නම් වූ
ඍෂිවරයාගේ ඉගැන්වීම ඇතුළත් (ව්‍යාසකාරය) නම් වූ සංස්කෘත ග්‍රන්ථයෙහි සඳහන් වන
ශ්ලෝකයකින් දානය පිළිබඳ අගනා අදහසත් මතුකර ඇත.
මේ ලෝකයේ දන් දීම අගනා ආභරණයකි. දන් දීම දුක් නිවාලන පිළිවෙතකි. දානය සුගතියට
ඉණිමඟකි. දානය නිවන් සැප සලසාලන උතුම් ධර්මයකි යන්න ය.
සංස්කෘත සාහිත්‍යයේ දක්නට ලැබෙන ප්‍රත්‍ය ශතකය නම් වූ අර්ථවත් ප්‍රබන්ධයේ ද දානය
පිළිබඳ වූ අගනා අදහස් සඳහන් ව ඇත.
එහි අදහස බුද්ධ වචන කීමෙන් මුඛය පිරිසුදු වෙයි. කාරුණිකව සිතීමෙන් සිත පිරිසුදු
වෙයි. මැනවින් දන් දීමෙන් අත පිරිසුදු වෙයි. යහපත් ගමන් යාමෙන් පාදය පිරිසුදු වෙයි
යන්න ය.
බෞද්ධ ධර්මයේ සඳහන් වන්නේ දානය දිය යුත්තේ තුන් සිත ම පහදා ගෙන බව ය. දානය දීමට
සිතන පළමු අවස්ථාවේ දී ත්, දානය දෙන දෙවන අවස්ථාවේ දී ත්, දානය දීමෙන් පසු තුන්
වැනි අවස්ථාවේ දී ත් වශයෙන් එම තුන් අවස්ථාවේ දී ම සිත පහදා දානය දීම ඉතා උතුම් ලෙස
ධර්මයේ සඳහන් ය. තවදුරටත් ධර්මයේ විස්තර වන්නේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ආදි බොහෝ
සම්පත් ලැබීමට දන්දීම මූලික වන බව ය. අපේ ජන සමාජය අතර ද එදිනෙදා කතා බහේදී දානය
නැතහොත් දීම පිළිබඳ නොයෙක් ප්‍රකාශ අසන්නට ලැබේ. තැනට ගැළපෙන අයුරු ප්‍රකාශ කරන
ප්‍රස්ථා පිරුළු අතර ද දානය ගැන සඳහන් වන කියුම් දක්නට ලැබේ.
1. දුන්නොත් දානය - ලැබෙයි නිධානය
දන් දීම සැම විටම උතුම් ක්‍රියාවක් වන්නේ ය. දන් දීම මහා නිධානයන් ලැබීමට හේතු වේ.
එනිසා නිරතුරුව ම දන් දීම වටිනා ක්‍රියාවක් වන බව පැහැදිලි වේ.
කෑ දේ ගඳ ලු - දුන් දේ සුවඳ ලු
කෑ දේ ශරීර ගතවී කුණපයක් බවට පත් වන්නේය. එහෙත් දුන් දෙයෙහි ගුණ සියල්ලෝම වර්ණනා
කරන්නෝය. එහිදී එම දානයෙහි ගුණ සුවඳ පැතිරෙන්නේය. එයින් දානයෙහි ආනිශංස ප්‍රකාශ
වන්නේ ය.
දන් දී වැරදුණ කෙනෙක් නැත
දන්දීම ජයග්‍රහණයක් වන බව මෙහි ප්‍රකාශ වේ. දන් දීමෙන් යහපතක්ම සිදුවන බවත් එයින්
අවැඩක් නොසිදුවන බවත් මෙම ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ය.
ලුණු දුන්නා වුවත් පණ ඇති තෙක් අමතක කරන්න එපා.
මෙයින් කියැවෙන්නේ කුමන දෙයක් දුන්න ද එය පණ ඇති තෙක් අමතක නොකළ යුතු බවය. ලුණු යනු
ඉතා ම සුලබ දෙයකි. එමෙන්ම ලුණු ඉතා පහසුවෙන් ම සොයා ගත හැකි ද්‍රව්‍යයක් ද වන්නේ ය.
නැති වේලාවක ලුණු ටිකක් හෝ ලැබීම මහා භාග්‍යයකි. මෙයින් ප්‍රකාශ වන්නේ දානයෙහි උසස්
බවය.
දුන් දෙය පලිහක් මෙන් තමා රකියි.
මෙම කියමනෙන් ප්‍රකාශ වන්නේ දානය නිසා තමන් රැකෙන බව ය. සතුරාගේ ප්‍රහාර වැළැක්වීමට
පලිහ උපකාර වේ. ඒ අයුරු දානය සැම විට ම පුද්ගලයා ආරක්ෂා කරන බව එහි අදහස් වේ.
නොපැකිළව දුන් විට දන් දුන්නා හා සමාන වේ.
දන් දීමට ප්‍රමාද වීම සුදුසු නොවේ. දෙන දෙය ඒ වෙලාවේ ම දීම ඉතාම යහපත් බව මෙහි අදහස
වේ. දන් දීමේ දී දෙන්දෝ නොදෙන් දෝ සිතමින් ප්‍රමාද වීම නොකළ යුතු ය. ඒ අනුව
අප්‍රමාදව දීම ඉතාම යහපත් බව මෙහි අදහස වන්නේ ය.
කේ. මහතුන් ගමගේ |