|
සුවපත් මනසක්
සුවබර දිවියක් - 45 කොටස:
මෛත්‍රිය බෙදා ගන්න ඉගෙන ගනිමු
ආචාර්ය
හේනේපොල ගුණරතන මහ නාහිමි
ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත
Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි. මෛත්‍රිය බෙදා ගන්න ඉගෙන ගනිමු
ඔබගේ භාවනාවෙන් යම් යම් ප්‍රතිඵල බලාපොරොත්තු විය හැක. මුලින් ප්‍රායෝගික ප්‍රතිලාභ
ලැබෙන අතර, පසුව ලෝකෝත්තර ප්‍රතිඵල අත්වෙයි. සරල මට්ටමේ සිට ඉතා උත්කෘෂ්ට මට්ටම
දක්වා දිවෙන පරාසයක ඒවා විහිදී ඇත. අපි මෙහි සමහරක් සඳහන් කරමු. ඔබගේ පුහුණුව ඔබට
සත්‍යය පෙන්වනු ඇත. වඩාත් වැදගත් වනුයේ ඔබගේ ම අත්දැකීම් ය.
අප නීවරණ හෝ කෙලෙස් නමින් හඳුන්වන දේ හුදෙක් ම අමිහිරි මානසික පුරුදුවලට වඩා වැඩි
බැරෑරුම් දේ ය. ඒවා මමත්වයේ ප්‍රාථමික ප්‍රකාශ කිරීම් වේ. මමත්වය පිළිබඳ හැඟීම
නිසැකව ම වෙන් බවේ හැඟීමකි. මා හා අන් අය අතර අප දකින පරතරය යි. අප බාධාවන් හෝ
කෙලෙස් ලෙස දකින දේ නිරන්තරයෙන් පුරුදු කිරීම හේතුවෙන් මෙම මමත්වය පිළිබඳ දැකීම
තහවුරු වෙයි. තෘෂ්ණාව හා රාගය “එයින් ටිකක්” මට හිමි කර ගැනීමේ උත්සාහය යි. වෛරය හා
ද්වේශය යනු “මා හා එය” අතර විශාල පරතරයක් ඇති කර ගැනීමට වෙර දැරීමේ ප්‍රතිඵලය යි.
සියලු ක්ලේශයන් තමා හා අන් අය වෙන්කරන බාධකයක් ඇතැයි යන දැකීම මත රඳා පවතින බැවින්
ඒවා ක්‍රියාකරන සෑම අවස්ථාවක ම මෙම දැකීම තව තවත් පෝෂණය වෙයි. සිහිය ඇති දේ
ගැඹුරින් හා ඉතා පැහැදිලිව දකියි. එය අපගේ අවධානය ක්ලේශයන්ගේ පතුලට ම ගෙන විත්
ඒවායේ ක්‍රියාකාරිත්වය නිරාවරණය කරයි. ඒවායේ ප්‍රතිඵල හා ඒවා අපට සිදුකරන බලපෑම්
දකියි. සිහිය, මෝඩයාට ඇන්දවිය නොහැක. තෘෂ්ණාව යනු කුමක් ද? හා එය ඔබට හා අන් අයට
කරන දේ කුමක් ද? යන්න පැහැදිලිව දකින ඔබ, ඉබේම එය අතහරිනු ඇත. උදුනකට අත පුළුස්සා
ගන්නා ළමයකුට අත ඉවතට ගන්නට යැයි කීම අවශ්‍ය නැත. ඒ ඔහු සිතා බැලීමකින් තොරව ඉබේම
අත ඉවතට අදින බැවිනි. අපගේ ස්නායු පද්ධතිය හා සම්බන්ධ වන ප්‍රතීක ක්‍රියාවන්
ගොඩනැඟී ඇත්තේ මේ සඳහාමයි. ඒවා සිතිවිල්ලකට වඩා වේගවත් ය. උණුසුම් සංවේදනය අත්දකින
ළමයා අඬන්නට පටන් ගන්නා විටම පාහේ ඔහුගේ අත උණුසුම් උදුනෙන් ඉවතට පැමිණ තිබේ.
වචනයෙන් තොර, ඉබේම ක්‍රියාකරන, ඉතාමත් කාර්යක්ෂම සිහිය ද මේ ආකාරයෙන්ම ක්‍රියා
කරයි. පැහැදිලි සිහිය බාධාවන්ගේ වැඩීම අඩාල කරයි. අඛණ්ඩ සිහිය ඒවා මුළුමනින් ම
විනාශ කර දමයි. එම නිසා සැබෑ සිහිය ගොඩනැඟුªණු විට මමත්වය බිඳවැටී, තෘෂ්ණාව
තුරන්වී දැඩි බව ලිහිල් වෙයි. ඔබ වඩාත් විවෘත, නම්‍යශීලී පුද්ගලයකු බවට පත්වෙයි.
මෛත්‍රීය බෙදා ගැනීමට ඔබ ඉගෙන ගනියි.
සාම්ප්‍රදායික බෞද්ධයෝ මනුෂ්‍ය වර්ගයාගේ පරම ස්වභාවය ගැන කථා කිරීමට කැමැත්තක් නො
දක්වති. කිසියම් හෝ විස්තරයක් දැක්වීමට කැමති අය අපගේ බුද්ධ ස්වභාවය නිර්මල හා
සහජයෙන්ම යහපත් බව කියති. මෙලෙස නො වීමට හේතුව ඔවුන්ගේ එම පරම ස්වභාවය අත්දැකීම
වළක්වා තිබීමයි. වේල්ලක් බැඳ වතුර වළක්වා ඇති ලෙස එයට වැඩ කඩුලු බැඳ ඇත. වේල්ල බැඳ
ඇති ගඩොල් බාධාවන් ය. සිහිය විසින් ගඩොල් දියකර වේල්ලේ සිදුරු තනන විට කරුණාව සහ
දයාභරිත සතුට දෝරේ ගලා යයි.
භාවනාත්මක සිහිය දියුණු වන විට ඔබගේ සියලුම ජීවන අත්දැකීම් වෙනස්වනු ඇත. ජීවත්වීම
පිළිබඳ ඔබගේ අත්දැකීම, සිහිබුද්ධියෙන් සිටීමේ හැඟීම ම, ඉතා පැහැදිලි හා නිසැක වෙයි.
එය තවදුරටත් ඔබගේ කල්පනාවන් සඳහා පසුබිමක් පමණක් නොවනු ඇත. එය නිරන්තර දැක්මක් වනු
ඇත.
සෑම ගෙවීයන මොහොතක් ම කැපී පෙනෙනු ඇත. ඒවා එකිනෙක සමඟ මිශ්‍ර වී අපැහැදිලි ව
නොපවතියි. කිසිවක් නොසැලකිය යුතු යැයි පිළිනොගනියි. කිසිවක් ‘සාමාන්‍යය’ කියා ලේබල්
නො කරයි. සෑම දෙයක් ම දීප්තිමත් සුවිශේෂී බවකින් යුතු වෙයි. එය ඔබගේ අත්දැකීම් වර්ග
කර මානසික කූඩුවලට දැමීමෙන් වැළකී සිටියි. අර්ථදැක්වීම් හා විස්තර කිරීම්වලින් තොරව
සෑම මොහොතකට ම වැදගත්කමක් ලබා දෙයි. සැබැවින් ම, එයට පවසන්නට ඇති දෙයට ඔබ සවන් දෙනු
ඇත. ජීවිතයේ පළමුවරට එය අසන්නකු මෙන් ඔබ එයට ඇහුම්කන් දෙනු ඇත.
ඔබගේ භාවනාව ශක්තිමත් වන විට එය ස්ථිර වීමක් ද සිදුවෙයි. ඔබ නිරතුරුවම හුස්ම හා
මානසික සංසිද්ධීන් පිරිසිදු අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරයි. ඔබට වඩාත් ස්ථාවර
වූ බවක් දැනේ. මොහොතින් මොහොත ජීවත් වීමේ සරල අත්දැකීම තුළ ඔබ හොඳීන් සවිමත් ව
සිටියි.
සිතිවිලිවලින් නිදහස් වූ සිත, පැහැදිලි අවදිමත් බවක් ලබා ඉතාමත් සරල දැනීමක් තුළ
නිශ්චලත්වයට පත්වෙයි. මෙම අවදිමත් බව මුළුමනින් ම විස්තර කළ නොහැක. ඒ සඳහා වචන
ප්‍රමාණවත් නැත. එය අත්දැකිය යුතුම ය. හුස්ම හුදෙක් ම හුස්ම ම නොවේ. එය ඔබ කලින්
හුරුපුරුදුව සිටි ගතික සංකල්ප නොවේ. ඔබ තවදුරටත් එය ආශ්වාස හා ප්‍රාශ්වාසවල එකතුවක්
ලෙස නො දකී. එය තවදුරටත් ඒකාකාරී නො වැදගත් අත්දැකීමක් නොවේ. හුස්ම සජීවී. වෙනස්වන
ක්‍රියාවලියකි. එය සිත් ඇදගන්නා සුලුයි. එය තවදුරටත් කාලය තුළ සිදුවන දෙයක් නොවේ.
එය වර්තමාන මොහොත ම වෙයි. කාලය, අත්දකින ලද යථාර්ථයක් ලෙස නොව සංකල්පයක් ලෙස දකියි.
බාහිර විස්තරවලින් තොර වූ මෙය ලිහිල් කරන ලද ප්‍රාථමික දැනීමයි. ගලායන සජීවී
වර්තමාන පදනමක් තිබෙන එය නිශ්චිත යථාර්ථවාදී හැඟීමක් සලකුණු කර ඇත. මින් පෙර අත්දැක
ඇති සියලුම දෙයට වඩා මෙය සත්‍යය බව ඔබ හොඳාකාරව ම දනියි. නිශ්චිතව ම මෙම දැකීම
අත්කර ගත් පසු ඔබ අලුත් වාසිදායක තත්වයක සිටියි. ඔබගේ අනික් සියලු අත්දැකීම් මැන
බැලීමට නිර්ණායකයක් ඔබට ලැබී ඇත. මෙම දැකීමෙන් පසු ඔබ සම්පූර්ණ සංසිද්ධියේ සහභාගී
වන අවස්ථාවන් හා මානසික ආකල්ප හේතුවෙන් එම සංසිද්ධියට බාධා කරන අවස්ථාවන් ඔබ
පැහැදිලිව දැක ගනියි. පුද්ගලික මත, යළි පැනනඟින ප්‍රතිරූප හා මානසික විවේචන මඟින්
යථාර්ථය පෙරළනු ඔබ දකියි. |