[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අව අටවක පෝ දා 2026-03-11

වටිනා ම වත්කම

බොදු මඟ යන කෙනකු හඳුනාගත හැකි ප්‍රධානතම ලකුණ සීලයයි. සීලය නම් ඉන්ද්‍රිය සංවරයයි. එනම් තමන්ගේ කය සහ වචනය සංවර කර ගැනීමයි. බොහෝ දෙනෙක් දුසිල්වත් වන්නේ සැප සොයන්නට ය. ප්‍රාණඝාතයෙන්, සොරකමින්, බොරුවෙන්, කාමය වරදවා හැසිරීමෙන්, සුරාවෙන් ලැබෙන්නේ සැපයකැයි ඔවුහු මුලා වේ වැටී දුසිල්වත් ව කටයුතු කරති. තමන් බෞද්ධයෙකැයි අනුන්ට පෙන්වමින් අභ්‍යන්තරය මෙසේ පාපී වූ කල මේ ජීවිතය සේ ම පරලොව ද අභාග්‍ය සම්පන්න වන බව ඔවුහු නොදනිති.

ඉන්ද්‍රිය සංවර කර ගනිමින්, ඒ මුලාවෙන් බේරීමට වීර්යය වඩන පුද්ගලයකු වීමට ගන්නා උත්සාහය තමන් සිල්වතකු බවට පත් කරයි.

එය ජීවිතයට ආරක්ෂිත ස්ථානයකි. සීලයෙහි අරමුණ වන්නේ ම සිල් රකින පුද්ගලයාට රැකවරණය, පිහිට ලබා දීම ම ය.

සම්බුද්ධ දේශනාවේ සීල කතාවෙහි සඳහන් වන්නේ සීලයෙහි පිහිටා සිටින්නේ, පහසු ස්ථානයක එනම්, බැඳීම් නැති තැනෙක සිටිනවා වැනි බව ය. සීලයෙහි පිහිටා සිටින්නේ අව්, වැසි, සුළං ආදියෙන් ආරක්ෂා වන නිහඬ ලෙනක සිටිනවා වැනි බව ය.

බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක භික්ෂූන් වහන්සේ අරභයා සීලයෙහි ගුණ වර්ණනා කළේ මෙලෙස ය.

“මහණෙනි, මා තිරිසන් ආත්මභව ලබා සිටිය දී සංඛපාල නාගරාජ ව, භූරිදත්ත නා රජව, චම්පෙය්‍ය නම් නාග රාජ කාලයෙහි, ශීලව නාග රාජ ව සිටිය දී, මාතුපෝෂක හස්තිරාජ කාලයෙහි, ඡද්දත්ත හස්ති රාජ කාලයෙහි යන නොයෙක් ආත්ම භවයන්හි ශීලය පිරුවෙමි. මෙලොව, පරලොව සැප අතරින් සීලය හා සමාන සැපතක් නැත.” යනුවෙනි.

අපගේ ශාස්තෘවරයාණන් වහන්සේගේ මෙවන් ප්‍රකාශ ඉදිරිපත් කෙරෙන්නේ කියවා දැනුමට පමණක් එක්කර ගැනීමට නොවේ. ජීවිතයට ප්‍රායෝගික කර ගන්නට ය. ඒ ප්‍රායෝගිකත්වය තුළ ජීවිතය ආලෝකවත් කර ගන්නට ය.

බොහෝ අය පුරුදුව සිටින්නේ අන් අයගේ අවධානය දිනා ගන්නට, සිත පහදවා ගන්නට, අනුන් ආකර්ශනය කර ගන්නට බාහිර අලංකාරයට මුල්තැන දෙන්නට ය. එසේත් නැතිනම් ව්‍යාජ රංගනයක යෙදෙන්නට ය. එහෙත් නොපැහැදුණු අය පැහැදෙන ලෙසත්, පැහැදුණු අය තව තවත් පහදින ලෙසත් හැසිරීමට ශීලාලකාරය සමාන අලංකාරයක් වෙනත් නොවන බවයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළේ

සිල්වත් පුද්ගලයාට කරදරයක්, විපතක් කරන්නට කිසිවෙක් ඉදිරිපත් වේ නම්, අගෞරවයට, අපකීර්තියට පත් කරන්නට උත්සාහ කරන්නේ නම් උඩු සුළඟට දැමූ දුහුවිල්ලක් සේ ඒ පුද්ගලයා වෙතම ඒ විපත, අපකීර්තිය ළඟාවීම වැළැක්විය නොහැකි ය. සිල්වත්කම රැක ගන්නට සේ ම සිල්වතුන්ට ගැරහීමෙන්, කරදර, විපත් පමුණුවන්නට උත්සාහ ගැනීමෙන් වැළකී සිටින්නට උත්සාහ ගත යුතු ය. ඒ, බෞද්ධකමේ සැබෑ ස්වරූපය යි. කිසිවකුටත් සොරාගත නොහැකි, උදුරාගත නොහැකි වත්කමයි.

මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]