කර්මය හා එහි විපාක

කර්මය හා එහි විපාක

සම්බුද්ධ දේශනාවේ “කර්මය වශයෙන් ගැනෙන්නේ කුසල් - අකුසල්, පින් - පව්, හොඳ - නොහොඳ යන දෙකයි. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි යමක් කරන කියන අවස්ථාවෙහි සිතෙහි පහළ වන්නා වූ චේතනා චෛතසිකය (සිතුවිල්ල) ප්‍රධාන කරගෙන, ඒ හා සමඟ යෙදී පවත්නා කුසල චෛතසිකය මීට ඇතුළත් වේ. චේතනා චෛතසිකය නොමැතිව සිත ක්‍රියාකාරී නොවේ. ඒ නිසා එය ප්‍රධාන කොට ඉගැන්වූහ.

පටිච්ච සමුප්පාදයෙහි ‘සංඛාර’ නමින් ගැනෙන්නේ ද මේ කර්මය ම”යි.

කර්මය සිදුවීමට “චිත්ත - චෛතසික - ක්‍රියා” යන මේ තුන තිබිය යුතු ය. ‘චිත්ත’ යනුවෙන් ගැනෙන්නේ ‘භවාංග චිත්තය’ යි. ‘පටිසන්ධි චිත්තය’ ද එය මැ යි. එය ඉතා පිරිසුදු ය. ආගන්තුක අරමුණු නොගත් හෙයිනි. භවාංග චිත්තය වෙනස් වනුයේ චෛතසිකවලිනි. අලෝභාදි කුසල චෛතසිකවලින් ලෝභාදී අකුසල චෛතසික පහව ගොස් කුසල් වීමටත්, ලෝහාදී අකුසල චෛතසිකවලින් සිත කිලිටි ව අකුසල් වීමටත් චෛතසික උපකාර වේ.

මෙසේ චිත්තය හා චෙතසික ඇතත්, කිරීම, සිතීම වැනි කියාවක් ද අවශ්‍යය. එවිට පහළ වන්නා වූ ජවනයෝ “කර්ම” නම් වෙති. ලෝභාදි අකුසල චෛතසිකවලින් යුක්තව තිදොරින් යමක් කරන්නවුනට පහළවන්නා වූ ජවනයෝ අකුසල කර්මයෝ වෙති. එකී කර්මත්වයට වැටෙන ජවනයෝ සත් දෙනෙකි.

කර්මය හා කර්මපථය

හොඳ හෝ නරක හෝ යම් කිසිවක් අදහස් කොට, එය කළ කල්හි කර්ම පථයක් වේ. එය නොකෙළේ නම් කර්ම පථයක් නොවේ මැයි. “වැද්දෙක් සතකු මරා ගෙනෙමැ” යි සිතා අවිගෙන වනයට ගොස්, මරා ගැනුමට සුදුසු සතකු නොලැබ ආපසු ආවේ නම්, සතා නොමැරූ නිසා වැද්දාට ප්‍රාණඝාත අකුසල කර්මය නොවී ය. සතකු මරණ අදහසින් යාම ආදී ප්‍රයෝග නිසා එයින් අකුසල කර්ම විය. කර්ම පථය ප්‍රතිසන්ධියක් දීමට සමත් වෙතත් හුදු කර්ම මාත්‍රය එතරම් බලයක් නොමැත.

කර්ම විපාකය

විපාකය යනු කර්මයාගේ පැසුණු අවස්ථායි. කවර කර්මයකින් හෝ ලැබෙන ප්‍රතිඵලය යි. එය, විපාක දෙන කාල වශයෙන් ද ,විපාක දෙන්නා වූ ක්‍රමයෙන් ද , ඒ ඒ කර්මයන්ගෙන් කැරෙන කිස වශයෙන් ද සතරාකාර යැයි දක්වා ඇත.

විපාක දෙන කාල වශයෙන්

දිට්ඨධම්ම වේදනීය කර්මය

මෙම කර්මය සිදු කළ ආත්ම භාවයේ දී ම විපාක දෙයි. දන් දීම ආදී පින්කමක් හෝ කළ පසු, මෙලොව දී ම විපාක දීමට ශක්තිය තිබෙන ප්‍රථම ජවන් සිතේ විපාක ශක්තිය මෙයට අයත් ය. යම් ලෙසකින් එය විපාක නුදුන්නේ නම්, එය එම ජීවිතයෙන් අවසන් වනවා මිස, එය මතු භවයකට නොයෑම ස්වභාවය යි. අලුත් ගසක බොරු මල් හැදෙන්නාක් මෙන්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය බොහෝ විට විපාක නොදීම අභාවයට යන්නේ ය. මේ කර්මය විපාක දෙන්නේ එය බලවත් නම් පමණි. බලවත් නම් එදින ම හෝ සත් දවසක් ඇතුළත දී හෝ විපාක දිය යුතු ය.

බලවත් නොවූ කල එය එම ජාතියෙහි කවදා හරි විපාක දීමට හැකි ය. එයට ඉඩයක් නොලද හොත් එය අහෝසි වන්නේ ය.

දානමය කුසලයක් මෙලොව ම විපාක දීමට නම්, “වත්ථු - ඛෙත්ත - චේතනා - ගුණාතිරේක” යන සම්පත් සතර අත්‍යවශ්‍ය ය. එහි,

වත්ථු සම්පත්තිය - දෙන වස්තුව ධාර්මික ව ලැබුණු දෙයක් වීමයි.

ඛෙත්ත සම්පත්තිය - දානය පිළිගන්නා වු ප්‍රතිග්‍රාහකයන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිය හැකි අනාගාමී හෝ රහත් කෙනකු වීමයි.

චේතනා සම්පත්තිය - දීමට කලිනුත්, දෙන අවස්ථාවෙහිත්, දීමෙන් පසුවත් යන අවස්ථා තුනෙහි තුටු වීම නම් වූ ඥාන සම්ප්‍රයුක්ත කුසල චේතනා පහළ වීමයි.

ගුණාතිරේක සම්පත්තිය - ප්‍රතිග්‍රාහකයා එදින නිරෝධ සම්පත්තියෙන් නැඟීසිටියකු වීමයි.

“දිනක් රජගහ නුවර සුමන නම් සිටුවරයාගේ පුණ්ණ නමැති දාසයා කුඹුරෙහි සීසාන තැනට නිරෝධ සමාපත්තියෙන් නැඟී පිඬු සිඟීම පිණිස නික්ම ගත් සැරියුත් මාහිමියෝ සැපත් වූහ. උන් වහන්සේට පුණ්ණ දාසයා දැහැටි හා පැන් ද පිළිගැන්වීය. සැමියාට දවල් ආහාර ගෙන යන ඔහුගේ බිරින්දෑට අතරමඟදී හමු වූ සැරියුත් මාහිමියනට ඒ ආහාර මහත් ශ්‍රද්ධාවෙන් පුදා, නැවත ගෙට ගොස් ආහාර සූදානම් කොට ගෙන අවුත් සැමියාට සියලු පවත් කීය. පුණ්ණ තෙමේ ද එයට අපමණ සතුට ප්‍රකාශ කළේ ය. ඒ මොහොතේ ම තමන් සීසෑ කුඹුරේ රන් පහළ වීය. ඒ නිසා ම සිටු තනතුරු ලැබී ය.”

එසේ ම කාකවල්ලිය නම් දුගියාගේ බිරිය මහා කාශ්‍යප මාහිමියනට ඇඹුල් කැඳ පිදූ පිනෙන් සතියක් ඇතුළත සිටු තනතුරු ලැබීම ද, ඒකසාටක බමුණාට සහ සුමන මාලාකාරාදීනට ලැබුණු විපාක ද සලකා බලත් මැ දිට්ඨධම්ම වේදනීය කුසල විපාක ලත් සැටි තේරුම් ගත හැකි ය.

අකුසල කර්මයෙන් මෙලොව දී ම විපාක විඳී “සුනක්ඛත්ත” නම් බලු වැද්දාගේ පුවත ආදී නොයෙක් පුවත් තිබේ. “සුනක්ඛත්ත නම් වැද්දෙක් බල්ලන් සමඟ දඩයමට යන්නේ රහත් භික්ෂූන් වහන්සේ නමක් පෙරමුණට හමුව වනයට ගොස් කිසි දඩයමක් නොලබා ම සුන් වූ බලාපොරොත්තු ඇත්තේ ආපසු හැරී ආවේ ය. භික්ෂුවක් පෙරමුණට හමු වී ගිය නිසා මෙසේ වීය යි සිතමින් එන වැද්දාට ඒ හිමියන් නැවත ද හමු වී දැඩි කෝපයෙන් යුතු ව ඒ හිමියන් පසු පස සිය බල්ලන් ලුහුබැඳ යන ලෙස මෙහෙයැවීය. බල්ලන් ඒ හිමියන් පසුපසැ දිව ගියෙන්, ගසකට නැගගත් උන්වහන්සේට ඒ වැද්දා හී පාර දෙන්නට විය. එවිට හී පාරින් පා සිදුරුවත් ම, දෙඅතින් ගසෙහි එල්ලි දඟලද්දී, උන්වහන්සේ පොරවා තිබූ සිවුර ගැලවී වැද්දා මත වැටිණ. සිවුර වැද්දා මත වැටෙත්ම බල්ලෝ වැද්දා සපා කෑහ. මෙසේ මෙලොව වශයෙන් ම තමන් කළ ඒ අකුසල කර්ම විපාකය ඒ වැද්දා වින්දේ ය.

එදා පමණක් නොව මෙදා ද කුසල් - අකුසල් දෙකේ ම විපාක මෙලෝ වශයෙන් ම (දිට්ඨධම්ම වේදනීය විපාක) ලැබෙන බව නොයෙක් පුවත් අනුව පැහැදිලි කරුණෙකි.

උපපජ්ජ වේදනීය කර්මය

කර්ම සාධක ජවන සිත් සතෙන් සත්වැන්න මෙනමින් හැඳීන් වේ. එය කුසල ජවනයක් වී නම්, එය උපපජ්ජ වේදනීය කුසල කර්මයකි. අකුසල කර්මයක් විනි නම් එය උපපජ්ජවේදනීය අකුසල කර්මයකි. කුසල් වූ හෝ අකුසල් වූ හෝ එම කර්මයාගේ විපාකය මතු ජාතියෙහි ලැබෙන්නේ නම්, ඒ ලැබීම මෙකී කර්ම බලයෙනි. එය විපාක දීමේ දී ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක යන විපාක දෙක ම ලැබේ. “ප්‍රතිසන්ධි විපාකය නම්, උත්පත්තිය ගෙන දීමයි. ප්‍රවෘත්ති විපාකය නම්,උපනුපන් භවයන්හි විඳීන්නට ලැබෙන සුව දුක්” ය.

මට්ටකුණ්ඩලී නම් තැනැත්තා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත් පිනෙන් අන්තිම භවයේ දී ම දෙව්ලොව ඉපදීමෙන් කුසල විපාක ලැබී ය.කෝකාලික නම් පවිටු පැවිද්දා සාරිපුත්ත, මොග්ගල්ලාන මාහිමිවරු පව් අදහස් යනාදී වශයෙන් පරුෂ

අපරාපරිය වේදනීය කර්මය

පිනක් හෝ පවක් හෝ කරන විට එය අරමුණු කැරැගෙන පහළ වන්නා වූ ජවන් සිත් පරපුරේ 2, 3, 4, 5, 6 යන ජවන් සිත්වලින් සිදුවන්නා වූ කර්මය “අපරාපරිය වේදනීය කර්ම” නම් වේ. එය අසුවල් ජාතියේයැ යි නියමයක් නොමැති ව, කර්මය සිදු වූ ජාතියෙන් තුන්වන ජාතියේ සිට ඉඩ ලද කවර ජාතියේ හෝ ප්‍රතිසන්ධි විපාක, ප්‍රවෘත්ති විපාක වශයෙන් විපාක දිය හැකි කර්මයකි. පෙරකී කර්ම දෙකට ම වඩා මෙය ප්‍රබල ය. ශක්ති සම්පන්න ය. ඒ එසේ වීමට හේතුව නම් ප්‍රථම ජවන චේතනාවේ ද ආසේවන ප්‍රත්‍යයන් (ඇසුරෙන්) බලසම්පන්න වීමයි. ඒ නිසා නිවන් දක්නා තෙක් මේ කර්මයෙහි විපාකය ඉඩ ලද හැම විටකදීම දිය හැක.

සත්ත්වයා විසින් රැස් කරන ලද කර්ම එම ජාතියේදීත්, අනන්තර ජාතියේදීත් හැර අන්හැම ජාතියේ දී ම ඉඩලදොත් විපාක දිය හැකි ලෙස, සත්ත්වයා පසු පස එළවමින් රැස් වැ තිබෙන්නා වූ මේ කර්මයන්ගේ ප්‍රමාණය මෙතෙකැ’යි කිව හැක්කේ කාටද? ඒවා අපමණ ය. එහෙයින් තුන්වන ජාතියේ සිට අපරාපරියවේදනීය වශයෙන් ලැබෙන කර්මයන්ගේ විපාකය කවර මොහොතෙක් හි දී විඳීන්නට සිදුවේ දැයි කිව නොහැකි ය. බලාපොරොත්තු රහිත අවස්ථාවල දී ඒ විපාකයන්ට මුහුණ දෙන්නට සිදු වන්නේ ය.

රහතන් වහන්සේට වුව ද, ලොවුතුරා බුදුරජාණන් වහන්සේට වුව ද අපරාපරිය වේදනීය කර්මයේ

ප්‍රවෘත්ති විපාකය ලැබීම ස්වභාවයකි. “ලෝසක මහ රහතන් වහන්සේ පෙරැ ජාතියෙක් හි දී රහත් නමකට පිළිගන්වන්නටය යි දායකයකු විසින් දෙන ලද දානය ඉවත ලූ පාප කර්ම විපාකයෙන්, තමන් රහත් වූ ජාතියේදීවත් කුස පුරා ආහාරයක් නො ලැබූහ.

මුගලන් මහ රහතන් වහන්සේ පෙර ජාතියෙක්හි බිරියගේ කීම නිසා මුළාවට පත්වී අඳ මවුපියන්ට පහරදී මැරූ හෙයින්, අන්තිම ජාතියේදීත් හොරුන්ගෙන් පහර කා එම වේදනාවෙන් ම පිරිනිවීයහ.

චක්ඛුපාල මහරහතන් වහන්සේ පෙර ජාතියක දී ඇස් වෙද මහතකු ව වෙසෙද්දී ඇස් ලෙඩින් පෙළුණ ස්ත්‍රියකගේ ඇස් අන්ධ කළ පවින් රහත් වූ ජාතියේදීත් ඇස් අන්ධ භාවයට පත් වූහ. එපමණක් නොව ලොවුතුරා බුදුරජාණන් වහන්සේටත් මෙකී කර්මයේ ප්‍රවෘත්ති විපාක ලැබී ඇත. පෙර ජාතියෙක්හි සුරභි නම් පසේ බුදු කෙනෙකුට බැණුම නිසා එම විපාකයෙන් විඤ්චිමානවිකාවගෙන් බැණුම් ඇසූහ. තවත් ජාතියෙක්හි දී “කුඩා ළමයකු ව සිටිද්දී වීදියේ ක්‍රීඩා කරමින් සිටියේ මඟ වඩනා පසේ බුදු කෙනෙකුන්ට ගලකින් ගසා තුවාල කළ හෙයින් දේවදත්ත ගල් පෙරළා ලේ සොලවන ලදී.

කුසල කර්මයන්ගේ ප්‍රවෘත්ති විපාක ද රහත්වීමෙන් පසුව පවා ලැබුණු සැටි සීවලී මහරතන් වහන්සේගේ ලැබීමෙන් අග තැන්පත් බව, මහ බෝසත් කල්හි සංඛ නම් බමුණකු ව ඉපිද පසේ බුදු කෙනකුගේ ධාතු චෛත්‍යයට කළ පුද සත්කාරයෙන් රතන සූත්‍රය දේශනා කිරීම සඳහා විශාලා මහනුවරට වැඩම කරද්දී තථාගතයන් වහන්සේ මහත් පුද සත්කාර ලැබූ සැටි ආදී කරුණු රැසක් ඇත.

අහෝසි කර්මය

විපාක ශක්තිය අවසාන වූ කර්මය “අහෝසි කර්ම” නමි. මෙලොව ම විපාක දිය යුතු කර්ම වන දිට්ඨ ධම්මවේදනීය කර්මයාගේ ශක්තිය විපාක නොදුන් කල්හි, එය කිසි විටෙකදී

විපාක නොදෙන්නේ ය. එය විපාක දී අවසාන යැයි සැලකෙන හෙයින් අහෝසි කර්මය නමි.

උපපජ්ජවේදනීය වශයෙන් අනන්තර භවයේ දී විපාකය එම භවයේ දී විපාක නුදුන්නේ නම්, එය ඊළඟ භවවලට නොගොස් ඒ භවයෙන් ම අවසාන වේ. අහෝසි වේ. අපරාපරිය වේදනීය වශයෙන් සංසාරයෙහි ශක්තිය තිබෙන කර්ම විපාක දීමට ඉදිරිපත් නොවූ කල්හි එයත් අහෝසි කම්ම ගණයට වැටේ. කොටින් ම කියතොත් ඒ ඒ අවස්ථාවේ දී විපාක දිය යුතු කර්ම විපාක නොදී අභාවයට පත් වීමයි.

මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]