කුසගිනි නිවූ දානයක අනුසස්

කුසගිනි නිවූ දානයක අනුසස්

ලංකාද්වීපයේ රජරට රාජ්‍ය පවතින කාලයේ ‘සුළුන්තර’ නම් පළාතට නායක ව හිටියා ‘වේණිගල’ නමින් අමාත්‍යවරයෙක්.

මේ ඇමැති ඉතාම තේජස් සම්පන්නව ජීවත් වූ කෙනෙක්. උපභෝග පරිභෝග සම්පත්වලින් අඩුවක් තිබුණේ නෑ. මෙහෙම සැප සම්පත් විඳිමින් ජීවත් වෙනකොට ඔහුට දාව බිරිඳට පුතෙක් ලැබුණා. ඔහු හැඳින්වූයේ ‘අම්බ’ කියලා.

මේ කුමාරයා කාලයත් එක්ක ටිකෙන් ටික ලොකු වුණා. රාජ්‍ය සේවයට අවශ්‍ය ශිල්පයත්, අධ්‍යාපනයත් ලබා ගත්තා. තරුණ වයසට පත් වෙනකොට ‘වේණිගල’ අමාත්‍යවරයා බොහෝම වයසට පත්වෙලයි හිටියේ. ඒ නිසා තමන්ගේ අමාත්‍ය තනතුරු ඉදිරියට කරගෙන යන්නට ‘අම්බ’ කුමාරයාට බාර කළා.

කුමාරයාත් ඉතා උනන්දුවෙන් රාජ්‍ය කටයුතුවල නිරත වුණා. මේ අතරේ මව්පිය දෙදෙනා කළුරිය කළා. හැබැයි ඒ දෙන්නා මිය ගියේ අම්බ කුමාරයාට සුදුසු කුලයකින් කුමාරිකාවක් විවාහ කරදීලයි. මේ දෙන්නා මව්පියන් දායාද කළ ඉඩකඩම්, මිලමුදල්, රන් රිදී, මුතු මැණික්, සේවක - සේවිකාවන් ආදී හැම උපභෝග පරිභෝග සම්පත්තියක් ම භුක්ති වින්ඳා. හරිම සතුටින් ජීවිතය ගෙන ගියා. මේ අතරේ රටේ අවාසනාවට දැඩි නියඟ සමයක් උදා වුණා. මාස පහක් හයක් බලන් හිටියා වැස්සේ නෑ. අවුරුද්දක් බලන් හිටියා ඒත් වැස්සේ නෑ. නියඟය දැඩි නිසා මිනිසුන් හරිම අමාරුවෙන් තමා ජීවත් වුණේ. වපුරපු කුඹුරු ඔක්කොම වේලිලා ගියා. වැව් පොකුණු සිඳී ගියා. ඒ වගේම මහා වනාන්තර ලැව්ගිනිවලින් පිච්චිලා ගියා. දෙපා, සිවුපා, උරග සත්තු තැන තැන සාපිපාසාවෙන් දුවන්න පටන් ගත්තා. මිනිසුන් එහේ මෙහේ මැරි මැරී වැටෙන්න පටන් ගත්තා.

මේ අතරේ සමහර භික්ෂූන් වහන්සේ හිස ගිනි ගත්තකු ඒ ගිනි නිවන ලෙස කියනවා වගේ ලහි ලහියේ භාවනා කරමින් අර්හත්භාවය ලබාගෙන පිරිනිවන් පාන්නට උත්සාහවත් වෙමින් විදර්ශනා භාවනාවේ යෙදෙන්න පටන් ගත්තා. මේ ආකාරයට උත්සාහවන්ත වූ භික්ෂූන් වහන්සේ කෙනෙක්ගේ කථාවක් තමයි මේ කියන්න යන්නේ.

මේ කාලයේ ඒ විදිහට උත්සාහයෙන් විදර්ශනා භාවනාව වැඩුවා. චුලපිණ්ඩපාතික නාග නම් භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේ භාවනා කළේ ‘බටකඩ’ කියන පධානඝරයක. දවස් ගණනක් භාවනාවෙන් ම කාලය ගත කර සමාධියෙන් නැඟිට පිණ්ඩපාතය හොයාගෙන එන්න ඕනෑ සිතා සිවුර ගැටවටු ගන්වාගෙන පාත්‍රයත් ගෙන භාවනා කුටියෙන් එළියට වැඩම කරලා ‘සුළුන්නරු’ ජනපදයේ පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා.

මේ කාලය හරිම දුෂ්කර කාලයක් නිසා තියෙන ආහාර වුණත් ඉතාම පරිස්සමින් තමා මිනිස්සු ආහාරයට ගත්තේ. එහෙම කාටවත් දෙන්න අදහසක් පහළ වෙන්නේ නෑ. තමන්ගේ ජීවිතයත්, තමන්ට සමීපතම අයගේ ජීවිතත් ආරක්ෂා කර ගන්න තමයි සියල්ලෝ ම කටයුතු කළේ. මුළු ජනපදයේ ම ඇවිදගෙන ගියත් කිසිම තැනකින් කිසිදු දෙයක් ලැබුණේ නැහැ. ඒ නිසා මේ චූලපිණ්ඩපාතිකනාග තෙරුන් වහන්සේ නැවතත් තමන්ගේ භාවනා කුටිය බලා වැඩම කරන්න යෙදුණා.

මේ කාලයේ අර මුලින් සඳහන් කරපු අම්බ අමාත්‍යතුමාත් එදා වේලටවත් යමක් හොයා ගන්න බැරි තරම් අසරණ වෙලයි හිටියේ. තිබුණු උපභෝග පරිභෝග සියල්ල ම නැතිවෙලා ගිහින්. මෙදින උදේම අවධිව තමන්ගේ බිරිඳගෙන් ඇසුවා කෑමට මොනවා හරි තියෙනවාද කියලා. බිරිඳ කියනවා අද උයන්න මොකුත්ම ගේ අහලකවත් නෑ’ කියලා. ඒ නිසා තමන්ට හිටපු සේවකයකුට අමතලා කියනවා.

‘පින්වත, නුඹ ගල්වල රටට ගිහින් කෑමට යමක් ගෙන එන්න’ කියලා ඔහුව පිටත් කරලා හැරියා. මේ ගල්වල රට කියන්නේ වතුර තිබුණ පළාතක්. ඒ පළාතේ කොළ වර්ග, අල වර්ග තිබෙනවා. ඒවා ගෙන එන්න කියා සේවකයාට අණ කළා. ඒ පුරුෂයාත් පිටත් වෙලා ගියා. ඔහුට නැවතත් එන්න දවස් ගණනාවක් ගතවෙනවා. ඒ වෙනකම් බඩගින්නේ ඉන්න වෙනවා. දහවල් වෙන්න වෙන්න මේ අම්බ අමාත්‍යවරයාට බඩගින්න ඉවස ගන්න ම බැරිව ගියා. ඒ නිසා දෙන්නාම එකතුවෙලා මුළු ගේම පීරලා බැලුවා මොනවා හරි දෙයක් තියෙනවාද කියලා. එහෙම බලකොට හම්බ වුණා ගොඩක් කාලයකට ඉස්සර තමන්ට මඟ හැරුණු හාල් නැළියක්.

ඉතා සන්තෝෂෙන් ඒ හාල් ටික ලිප තියා උයා ගත්තා. බත් පත අතට ගෙන කන්න හදනකොට ම දුටුවා අර චූලපිණ්ඩපාතිකනාග තෙරුන් වහන්සේ හිස් පාත්‍රය අතැතිව නැවතත් කුටිය බලා වැඩම කරනවා. තමන්ගේ අතේ තියෙන බත්පත උන්වහන්සේට දෙන්න පූර්ව චේතනාව ආවා. ඒත් තමන්ගේ බඩගින්නත්, ජීවිතයත් ගැන හිතා ඒ චේතනාව ආපහු යටපත් කර ගත්තා. දෙවන වතාවටත් දන් දෙන චේතනාව පහළ වුණා. ඒ වතාවේත් යුද්ධ කරනවා වගේ ලෝභකමත්, අලෝභකමත් අතර සටන් වැදුණා. අවසානයේ මෙහෙම කල්පනා කරන්න පටන් ගත්තා.

‘සංසාරයේ ආහාරපාන නැතිව අනන්තවත් දුක් විඳින්න ඇති, තිරිසන් ආත්මවල බඩගින්න ඉවස ඉවසා ඉන්න ඇති, ඒ වගේම අවීචි ආදි නිරයවල කුසගින්නේ පැසිපැසී ඉන්න ඇති, මනුෂ්‍යයන් බත් කන තැන්වල හිටියත් මට බත් කටක්වත් නො ලැබුණු තැන් තියෙන්න ඇති, මිනිස්සු සෙම්, සොටු, කෙළ, අලුත වදා දැමුණු වැදෑමහ විසි කරනකම් බලා ඉන්න ප්‍රේතයෙක් විදිහට ඉන්න ඇති. ඒවා කාලා කුස ගින්න නිවා ගන්න ඇති. පෙර ජාතිවල ආහාරයක් දන් දී ගන්න බැරි නිසා තමයි මේ සියල්ල ම සිද්ධ වුණේ. මට ඒවා අද නො දැනුණත් ඒ ආත්ම භාවයේ ඉපදුණ විට ඒවා දැනෙන්න පටන් ගන්නවා. තව ටික කලකින් මම මිය යනවා. ඒ නිසා පරලොවට අවශ්‍ය ආහාරපාන සකසා ගන්න මේ හොඳම අවස්ථාව. ආහාර හිඟ කාලයක මට දෙන්න යමක් තියෙනවා. ආහාර හිඟ කාලයක ම දෙන්න සුදුසුම කෙනෙක් මගේ නිවස ඉදිරිපිට වැඩම කරනවා. මගේ දීමේ චේතනාවයි දැන් මට අවශ්‍ය. මම ඒ දීමේ චේතනාව සකසා ගන්නව‘ යි තීරණය කරලා සතුටු සිතින් අර බත් පත චුලපිණ්ඩපාතිකනාග තෙරුන් වහන්සේට පූජා කළා. තෙරුන් වහන්සේ මේ දායකයා ඉතාම ශ්‍රද්ධාවෙන් තමයි මෙවැනි දුර්භික්ෂ සමයක මට දන් දුන්නේ. මම මේ ආහාර දානය අර්හත් භාවය ලබාගෙන මිස වළඳන්නේ නෑ යි එවලේ ම ඒ අසල වනයට වැඩම කරලා විදර්ශනා වඩලා අර්හත්භාවයට පත් වුණා.

මේ මහා කුසලයේ බලයෙන් ඒ මොහොතේම අම්බ අමාත්‍යාගේ ගෙදර බත් මුට්ටිය සමන් කැකුළු වගේ ලස්සන බත්වලින් පිරී ගියා.

‘අම්බ අමාත්‍යවරයා දානය පාත්‍රයට පූජා කරලා හරිම සතුටින් නිවසට පැමිණ ඒ සතුට භුක්ති විඳිමින් හිටියා. නමුත් හවස් වෙන විට කුසගින්න ඉවසා ගන්න ම බැරි වුණා. බිරිඳ අමතලා කියනවා,

‘සොඳුර, බත් මුට්ටියේ අඩිය පිහල ගන්නවත් බත් ටිකක් නැද්ද? ‘නෑ ස්වාමීනි, තිබුණු ඔක්කොම තමා පිසදමා ගත්තේ’ කියලා නැවතත් ටික වේලාවකින් අහනවා

බත් මුට්ටියට වතුර ටිකක්වත් දමා සෝදලා බොන්නවත් බත් ඇටයක්වත් නැද්ද?’ කියලා. ඒ අවස්ථාවේත් කියනවා

‘නෑ. තිබුණ ඔක්කොම හෝදලා තමා ගත්තේ’ කියලා. තුන්වෙනි වතාවේත් කියනවා

‘ගිහින් බත් මුට්ටිය බලන්න, කියලා. ඒ වතාවේ සැමියාගේ දැඩි ඉල්ලීමට ගිහින් බත් මුට්ටියේ පියන ඇරලා බැලුවා. බිරිඳ පුදුමයෙන් පුදුමයට පත්ව දුවගෙන විත් කියනවා

‘ස්වාමීනි, බත් මුට්ටිය බත්වලින් පිරී ගිහින්. මේ නම් සිතා ගන්න බැරි ආශ්චර්යයක්, මහ තෙරුන් වහන්සේට දුන් දානයේ විපාක අදම අපට ලැබිලා යි’ සතුටට පත් වෙමින් කියන්න පටන් ගත්තා.

දෙන්නා ඇති තරම් බත් බෙදාගෙන මුට්ටිය වසා තබන විටම නැවතත් බත් මුට්ටිය පිරී යනවා. මේ නිසා අඩු නො වන බත් මුට්ටියෙන් මුළු ප්‍රදේශයේ ජනතාවගේ ම කුසගින්න නිවා දැම්මා. ජීවිත කාලය පුරාවට ම ඒ බත් මුට්ටියෙන් දන් දී බොහෝ පින් කරගෙන ආයු කෙළවර මේ දෙදෙනා දෙව්ලොව උපත ලැබුවා’යි රසවත් දාන කතාවක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

පින්වත්නි, නැතිබැරි කාලයක වගේම දුර්භික්ෂ කාලයක ගුණයෙන් පිහිටි භික්ෂුවකට දන් දී මෙවැනි ආශ්චර්යවත් සැප සම්පත් ලබන්න. අම්බ අමාත්‍යවරයාටත්, ඔහුගේ බිරිඳටත් පුළුවන් වුණා. ඒ නිසා දන් දීමට අවස්ථාවක් ලැබුණොත් මඟ නො හැර දන් දෙන්න. දෙන දෙය ඉතා කුඩා දෙයක් වුණත් ශ්‍රද්ධාවෙන් දාන චේතනාවෙන් දන් දීමට සිත සකසා ගන්න. එයම ඔබගේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් සැප සම්පත්වලින් ආඪ්‍ය කරවන්න හේතු වාසනා වෙනවා.

මැදින් අව අටවක

මාර්තු 11 බදාදා පූ.භා. 01.56න්
අව අටවක ලබා 12 බ්‍රහපතින්දා පූ.භා. 04.21න් ගෙවේ.
11 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  

Full Moonපසළොස්වක

‍අප්‍රේල් 01 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]