[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බියකරු සසර නුවණින් දිනන්න

බියකරු සසර නුවණින් දිනන්න

දිවා රාත්‍රී ඉක්ම ගොස් අප ගතකරන ආයු කාලය ද ඉතා වේගයෙන් ගෙවී ගෙවී යයි. ගත වූ වසර තුළ ජීවිතයේ ඇති කරගත් දියුණුව ගැන සිහි කළ යුතු ය. බාහිර හා ආධ්‍යාත්මික වශයෙන් ඒ දියුණුව දෙයාකාර ය.

භවභෝග සම්පත්තිය ගිහි ජීවිතයට සැපතකි. සතුටකි. ශක්තියකි. තම

යුතුකම් ඉටු කිරීම සඳහා මිල මුදල්, ධනය අත්‍යවශ්‍ය ය. දිළිඳු ජීවිතය තුළ සතුට, සැපත නොරැඳේ. තමන්ගේ යුතුකම් ද ඉටු කළ නොහැකි ය. එබැවින් ගිහි ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනඟාගත යුතු ය. සදාචාර සම්පන්න ජීවිතය ධර්මය තුළින් නිතර අභිනන්දනය කෙරේ. මානසික සුරක්ෂිතභාවය මෙලොවට ද, පරලොවට ද, සසර ගමනට ද ශක්තියකි, ආශිර්වාදයකි. සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තුළ බුදුන් වහන්සේ මේ කරුණු අවධාරණය කළහ.

කළ පව් අතහැරීම,

නොකළ පව් නොකරම සිටීම,

නොකළ පින් කිරීම හා

කළ පින් වර්ධනය කර ගැනීමට ගන්නා උත්සාහය තුළින් කෙනකුට තම ජීවිතයේ ආධ්‍යාත්මික මෙන්ම, භෞතික දියුණුව ද ලැබිය හැකි ය.

ජීවිතය ගෙවී යන සංස්කාරයකි. කය අනිත්‍ය ප්‍රවාහයකි.

පරිඡින්ණ මිදං රූපං - රෝග නිඩ්ඩං පභංගුරං

භිජ්ජති පූති සන්දේ හෝ - මරණං තම්හි ජිවිතං යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

මේ සිරුර ජරාවට පත්වේ, රෝගයනට කැදැල්ලකි, මේ සිරුර බිඳී බි ඳී යයි, මරණයෙන් කෙළවර වේ.

මිනිසාට පමණක් නොව බොහෝ පින් රැස්කර දෙව්ලොව ගොස් එහි සැප විඳීන දෙවියන්ට ද මේ ජරා මරණ පොදු ය, සාධාරණ ය. දෙවියන් දෙව්ලොවින් චුතවීමට පෙර ඒ ලකුණු පහළ වේ.

දෙවියන් පැළඳී මල් මැලවී යයි, ඇඳුම් කිළුටු වෙයි, ශරීරයෙන් දහදිය ගලයි, ශරීරයේ ප්‍රභාව අඩුවෙයි.

තම විමානය අතහැරීමට සිතේ. මෙම ලක්ෂණ පහළ වනවිට අනිත් දෙවිවරු මේ බව දැන හැඳීනගනී. දෙවියාට කතාකොට සුගතියක උපදින ලෙස පවසයි. මේ දෙවිවරු සුගතිය ලෙස සලකන්නේ මේ මිනිස් ලෝකය යි.

අසූවැනි වස් පිරූ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් අමතා තමන් වහන්සේගේ ශරීරය ගැන මෙසේ වදාළ සේක.

ආනන්ද මම දැන් දිරුවෙමි. වියපත්මි. මහලු වෙමි. දිගු කලක් ගතකළෙමි. අසූ වයස් පිරුවෙමි.

මේ කියන්නේ ජීවිතේ අනිත්‍යභාවය යි

එබැවින් දෙලොව ම සුවපත් කරගත යුතු වේ. ඒ සඳහා දෙලොව ම දකින අය ඇසුරු කළ යුතු බව දහමේ ඉගැන්වේ.

අන්ධයා (දෙලොව ම නොදකින්නා) ඒක චක්ඛුං (මෙලොව පමණක් දකින්නා) සපුරා වර්ජනය කළ

යුතු ය. දෙඇසම පෙනෙන පුද්ගලයා (දෙලොව ම දකින්නා) ඇසුරු කළ යුතු යැයි බුදුරජාණන් වහන්සේ වදාළහ.

දිනක් බුදුරදුන් වෙත පැමිණි තරුණයකු දෙලොව ම දියුණු කර ගත හැකි දහමක් දේශනා කරන ලෙස ඉල්ලා සිටියේ ය. බුදුරජාණන් වහන්සේ ඔහුට දහම් කරුණු අටක් දේශනා කළහ.

මෙලොව දියුණුව සඳහා උට්ඨාන සම්පදා (උත්සාහයෙන් දියුණු වීම), ආරක්ඛ සම්පදා (තමා සතු දේ රැකගැනීම), කල්‍යාණ මිත්තතා (හොඳ මිතුරන් ඇසුර), සමජීවිකතා (අයවැය සමව පවත්වාගැනීම) ය.

පරලොව සර්ධනය සඳහා සද්ධා සම්පදා (සැදැහැවතකු වීම), සීල සම්පදා (සිල්වතෙකු වීම), චාග සම්පදා (පරිත්‍යාගශීලීයකු වීම), ප්‍රඥා සම්ප්‍රදා (නුවණැතියකු වීම)ය.

ප්‍රඥා හෙවත් නුවණ බුදු දහමේ මූලික, ප්‍රධාන අභිමතාර්ථය යි. අවබෝධය කරා යා යුත්තේ ප්‍රඥාව තුළින් බැවිනි. ප්‍රඥාව දියුණු කර ගැනීම සඳහා ලෝකාමිශය දුරු කළ යුතු බව අවධාරණය වේ. ලෝකාමිශය යනු භවත්‍රයට ඇති ආශාවයි. කාම, රූප, අරූප භවවල සංචාරය කිරීමට, සැප වි¼දීමට ඇති ආශාව දුරු කළ යුතු ය. එහි ආදීනව දැකගත යුතු ය. සසර පැවැත්මේ බියකරු බව මෙනෙහි කළ යුතු ය. සසර අත්හල යුතු ය. සසර ගමන තුළ නිවනක් නැති බව සිතිය යුතු ය. නිවන නම් සසර ඉක්මවා ගිය තැන ය. සසර තරණයට අවශ්‍ය දේ ලෝකාමිශය දුරු කිරීමයි.

ඒ සඳහා, අද කළ යුතු දේ අදම කළ යුතු ය. හෙට මරණය අප කරා පැමිණිය හැකි ය. මේ දහම් සිතුවිල්ල ලබන නව වසර අර්ථවත් කර ගැනීම පිණිස හේතුවනු ඇත.

උඳුවප් පුර පසළොස්වක

දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා පූ.භා 08.39 පුර පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා 04.45න් ගෙවේ.
04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

 ‍දෙසැම්බර්  04 

Second Quarterඅව අටවක

‍දෙසැම්බර්  11    

Full Moonඅමාවක

දෙසැම්බර් 19

First Quarterපුර අටවක

දෙසැම්බර් 27   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]