සාධු දිවිමඟ මිහිර
ආචාර්ය
බොරලැස්ගමුවේ පේමරතන හිමි
සමහර දිළිඳු තැනැත්තන් අවංකව ම ගෙවා ගත හැකි යැයි සිතා ණයට මුදල් ලබා ගත්තත් ඔවුනට
ජීවිතයේ විවිධ බාධක ගැටලු හා වසංගත වැනි වළකා ගත නොහැකි බාධක හමුවේ අසරණ වී ණය
වාරික මුදල් ගෙවා ගත නොහැකි ව දැඩි අසීරුතාවට පත් වෙති.
ගිහි දිවියක් ගතකරන්නකු විඳීය යුතු සැප හතරක් ගැන බුදුහිමියන් අනණසුඛ සූත්‍රයෙහි
දේශනා කර තිබේ.
ගිහියකු සතු ව ස්ථාවර ධනයක් උපයා ගෙන තිබිය යුතු ය. එය ධාර්මික ව, උත්සාහයෙන්, වෙර
වීරිය යොදා කැපවීමෙන් යුතු ව උපදවා ගත් වස්තුවක් විය යුතු ය. තමා සතු වස්තුව දෙස
බලා යම් ගිහියෙක් මගේ මේ සියල්ල නීතිවිරෝධී ව්‍යාපාරවලින් හෝ අල්ලස, දූෂණය හා
වංචාවලින් හෝ බලහත්කාරයෙන් හෝ ගත් ඒවා නොව මගේ ම ඩහදිය මහන්සියෙන් නීත්‍යනුකූල
ව්‍යාපාරවලින්, දැහැමින් උපයා ගත් ඒවා යැයි යමකුට සතුටු විය හැකි නම්, එය සැපයක් බව
බුදුහිමියන් දේශනා කර තිබේ.
එලෙස දැහැමින් උපයා ගත් වස්තුව තමා හා අඹු දරුවන් සඳහා වැය කොට නෑ හිත මිතුරු
සේවකාදීන්ට කළ යුතු හා කළ හැකි යුතුකම ඉටු කොට තමා අදහන ආගමික මධ්‍යස්ථාන පුස්තකාල,
පාසල්, රෝහල් ආදී පොදු ස්ථානවලටත්, උදව් උපකාර හා පරිත්‍යාග කොට තමා උපයා ගත් ධනය
යොදා විඳීන සතුට ගිහියකු විඳ ගත යුතු භෝග සුඛය යි.
කිසිවකුට ණය නොවී, ස්වාධීන ව, ආත්ම ගෞරවය රැකෙන පරිදි අය වැය තුලනය කර ගෙන
කිසිවකුටත් ණය නැතැයි සිතමින් විඳීන සතුට තෙවන සැපය යි. ගිහියකු විඳීය යුතු සිව්වන
සුවය නම් නිවැරැදි රැකියාවකින් දිවි ගෙවීමයි. මෙවැනි ගිහි දිවියක් ගත කිරීමට
ශ්‍රද්ධාව සහ බුද්ධිය තිබිය යුතු ය.
ඒ සැප හතර විඳීන කුමන තරාතිරමේ අයකුට වුව ද නිතර සැකයෙන්, දුකෙන් හා බියෙන්
ජීවත්වීමට සිදු වී ඇත්නම් ඒ ධනයෙන් පලක් නැත. පුද්ගලයකු සතු පරම ධනය සතුට බව
“සන්තුට්ඨි පරමං ධනං” යනුවෙන් බුදුහිමියන් දේශනා කර ඇත්තේ මහමෙරක් තරම් ධනය තිබුණත්
ඒ තැනැත්තාට සතුටක් නැති නම් ඒ ධනය පලක් නැති බව වටහා දෙමිනි.
සමහර දිළිඳු තැනැත්තන් අවංකව ම ගෙවා ගත හැකි යැයි සිතා ණයට මුදල් ලබා ගත්තත් ඔවුනට
ජීවිතයේ විවිධ බාධක ගැටලු හා වසංගත වැනි වළකා ගත නොහැකි බාධක හමුවේ අසරණ වී ණය
වාරික මුදල් ගෙවා ගත නොහැකි ව ඔවුහු දැඩි අසීරුතාවට පත් වෙති. ඇපයට යමක් තැබී නම්
එය ද අහිමි විය හැක. ඇතැම් විට ණය මුදල් ගෙවා ගත නොහැකි වීමෙන් හිරේ විලංගුවේ වැටිය
හැක.
මේ අවස්ථාවලට ඉතා උචිත දහමක් අපේ බුදුහිමියන් විසින් දේශනා කර තිබේ. ඒ අංගුත්තර
නිකායේ, සිව්වන කාණ්ඩයේ, ඡක්ක නිපාතයේ, ප්‍රථම පණ්ණාසකයේ, ධම්මික වර්ගයේ ඇතුළත්
තුන්වැනි සූත්‍රය වන ඉණ සූත්‍රය යි.
මෙම සූත්‍රය ප්‍රශ්න විචාරාත්මක ස්වරූපයෙන් දේශනා කරන ලද්දෙකි.
දාළිද්දියං භික්ඛවේ දුක්ඛං ලෝකස්මිං කාමභෝගිනෝති?
මහණෙනි, මේ ලෝකයේ කාමභෝගීන්ට දුප්පත්කම දුකක් ද?
ඒවං භන්තේ
එසේ ය ස්වාමීනි
යම්පි භික්ඛවේ දළිද්දෝ අස්සකෝ අනාළ්හියෝ ඉණං ආදියති. ඉණාදානම්පි භික්ඛවේ දුක්ඛං
ලෝකස්මිං කාමභෝගිනෝති?
මහණෙනි, තමන්ගේ කියා ධනයක් නැති පොහොසත් නොවූ, දුප්පතෙක් ජීවත් වීම සඳහා ණය
ගත්තොත්, මෙලොව කාමභෝගීන්ට ණය ගැනීම දුකක් ද?
ඒවං භන්තේ.
එසේය ස්වාමීනි
මහණෙනි, තමන්ගේ කියා ධනයක් නැති, පොහොසත් නොවූ, දුප්පතෙක් ණය ලබා ගෙන ඒ සඳහා පොළිය
ගෙවීමට පොරොන්දු වෙයි. මෙලොව ඒ කාමභෝගියාට පොලිය සඳහා පොරොන්දු වීමට සිදුවීම දුකක්
ද?
එසේය ස්වාමීනි.
මහණෙනි, ඒ දුප්පතාට පොරොන්දු වූ පොළිය නියමිත දිනට ගෙවා ගත නොහැකි වීම නිසා
පොරොන්දු කඩකිරීමේ චෝදනාවට ලක්වීම දුකක් ද?
එසේය ස්වාමීනි.
ගත් ණය මුදල්වලට අදාළ පොලිය නොගෙවීම නිසා පිරිස මැද නින්දාවට ලක් වීම, ණය මඟහැරී
විට අල්ලා ගැනීමට ලුහුබැඳීමට ලක්වීම දුප්පතාට දුකක් ද?
එසේය ස්වාමීනි.
එසේ පලා යන දුප්පතා අල්ලා ගෙන බැඳ තැබීමට ලක් වුවහොත් දුකක් ද?
එසේය ස්වාමීනි
මේ අයුරින් ගිහි දිවියක් ගත කරන, පස්කම් සුව සොයන පහත කරුණු දුක් සහිත බව බුදුහිමි
දේශනා කර තිබේ.
දිළින්දකු ව ඉපදීම,
ණය ගැනීම,
එහි පොළිය නො ගෙවීම,
ඒ මත චෝදනාවට ලක්වීම,
පොළී ගෙවා ගත නොහැකි ව ණය හිමියාගෙන් බේරීමට පලා යෑම සහ ණය හිමියා ඔහු ලුහුබැඳ
අල්ලා ගැනීම හා විවිධ වධබන්ධනවලට ලක්වීම ය. |