සත්තාහකරණය
ගෞරව ශාස්ත්‍රවේදී,
බුලත්සිංහල සිරි ඤාණරතන හිමි
‘සත්තාහකරණ’ යනු වස් සමාදම් වූ භික්ෂුව හෝ භික්ෂුණිය විසින් පිළිපැදිය යුතු වූ විනය
ප්‍රඥප්තියකි.
දින හතක් ඇතුළත යම් කළ යුතු කටයුත්තක් වේ ද එය ‘සත්තාහකරණ’ නම් වන බව
සමන්තපාසාදිකාව පෙන්වා දෙයි.
“සත්‌තාහබ්‌භන්‌තරෙ යං කත්‌තබ්‌බං තං සත්‌තාහකරණීයං” අටවන දින අරුණෝදගමනය වීමට පෙර
එය නිම කළ යුතු ය. “අට්‌ඨමො අරුණො තත්‌ථෙව න උට්‌ඨාපෙතබ්‌බොති අත්‌ථො.” වස් සමාදන්
වූ භික්‍ෂුව එම ස්ථානයෙන් කිසියම් වූ අනුමත කටයුත්තක් සඳහා බැහැරට යන්නේ නම්,
අටවැනි දින අරුණෝද්ගමනයට පෙර වස් සමාදන් වූ එම ආරාමයට නැවත පැමිණිය යුතු ය. මෙනිසා
වස් සමාදන් වූ භික්‍ෂුව වස් සමාදන් වූ සීමාවෙන් පිට වී යෑමට පෙර “මගේ ජීවිතයට
අනතුරන් නො වේ නම් සත් දිනක් ඇතුළත එමි‘යි අධිෂ්ඨාන කොට යා යුතු ය. මුලින් සිහි කොට
ගමන සඳහා ආරාමයෙන් පිටවන මොහොතේ දී සිහි නො කළ ද ඇවැත් නො වන බව විනයාලංකාර ටීකාවේ
සඳහන් වෙයි.
“පුරිමක්‌ඛණෙ ආභොගං කත්‌වා ගමනක්‌ඛණෙ විසරිත්‌වා ගතෙපි දොසො නත්‌ථි”
මෙකල කොසොල් ජනපදයෙහි උදේන නම් උපාසකතුමා සංඝයා උදෙසා විහාරයක් ඉදි කොට තිබුණි.
එතුමා භික්‍ෂූන් වහන්සේ සමීපයට දූතයකු යවා දන්වා සිටියේ තමා දන් දීමට, බණ ඇසීමට,
භික්‍ෂූන් වහන්සේ දැකීමට කැමැති නිසා තම විසින් ඉදි කරන ලද විහාරස්ථානයට වැඩම කරවන
ලෙසයි. මේ වන විට මෙම භික්‍ෂූන් වහන්සේ වස් සමාදන් ව සිටි නිසා ජනපද චාරිකාවේ
හැසීරීම ප්‍රතික්‍ෂේප කරන ලද්දේ බුදුන් වහන්සේ විසින් වස් කාලය තුළ ආරාමයට ම පමණක්
වී සිටීමට අනුදැන වදාරා ඇති නිසා ය. වස් නිමා වන තුරු බලාපොරොත්තුවෙන් සිටින ලෙස
පවසන්න යැයි භික්‍ෂූහු එම දූතයා ලවා ම උදේන වෙත දන්වා යැවූහ.
“මම දායක වෙමි. කටයුතු සොයා බලා කරන්නෙක් වෙමි. සංඝෝපස්ථායකයෙක් වෙමි. එසේ තිබිය දී
මගේ ආරාධනාව පිළිගෙන කෙසේ නම් නො එත් දැ” යි උරණ වූ උදේන භික්‍ෂූන්ට අවමන් කරන්නට
විය.
මෙය දැනගත් භික්‍ෂූන් වහන්සේ මෙම ප්‍රවෘත්තිය බුදුන් වහන්සේට දැන්වූහ. මෙම අවස්ථාවේ
බුදුන් වහන්සේ විසින් ‘මහණෙනි, පණිවිඩ එවූ කල්හි සත් දෙනකු වෙත සත්තාහකරණයෙන්
යන්නටත්, පණිවිඩ නො එවූ කල්හි නො යන්නට ද අනුදනිමි. භික්‍ෂුව, භික්‍ෂුණිය,
හික්මෙන්නිය, සාමණේරය, සාමණේරිය, උපාසක, උපාසිකා යන මේ සත් දෙනා වෙත සත්තාහකරණයෙන්
යාමට ද, සතියෙන් ඒම ද කළ යුතු යැ”යි ශික්‍ෂාපදයක් පනවා ‘සත්තාහකරණ’ අනුදැන වදාළහ.
විනය පිටකයේ මහාවග්ගපාළියේ වස්සූපනායිකක්ඛන්ධකයට අනුව විහාරයක්, සල්පිල්හලක්,
සක්මණක්, මුළුතැන්ගෙයක්, ඡන්තාඝරයක් ආදි ස්ථානයක් කොට හෝ පුතකුගේ හෝ දියණියකගේ හෝ
ආවාහ විවාහ මංගල්‍යයක් හෝ වේ ද, ධර්ම ඉගෙන ගැනීමේ ආශාවක් වේ ද, වෙන කිසියම් යහපත්
කටයුත්තක් වේ ද, උපාසකයකු හෝ උපාසිකාවක හෝ අරාධානා කරත් ද භික්‍ෂුව සත්තාහකරණයෙන්
යා යුතු ය. ආපසු ඊම ද කළ යුතු ය. එසේ ම භික්‍ෂුවක, භික්‍ෂුණියක, සාමණේර, සාමණේරිය,
හික්මෙන්නියක හෝ අනුව විහාරයක්, සල්පිල්හලක්, සක්මනක්, මුළුතැන්ගෙයක්, ඡන්තාඝරයක්
ආදි ස්ථානයක් කොට, බණ ඇසීම කැමැති වේ ද, භික්‍ෂුව සත්තාහකරණයෙන් යා යුතු ය. ආපසු ඒම
ද කළ යුතු ය.
දිනක් එක් භික්‍ෂුවක් රෝගාතුර විය. එම භික්‍ෂුව “මම ගිලන් වෙමි. මා බැලීමට
භික්‍ෂූහු වඩිත්වා. භික්‍ෂූන්ගේ ඊම කැමැත්තෙමි’යි භික්‍ෂූන්ගේ සමීපයට දූතයකු යැවීය.
මෙම සිද්ධිය ද බුදුන් වහන්සේට දැන්වූ පසුව ආරාධනා කළ ද, නො කළ ද භික්‍ෂු,
භික්‍ෂුණී, හික්මෙන්නිය, හෙරණ, හෙරණිය යන පස් දෙනෙකුගේ සමීපයට සත්තාහකරණයෙන් යෑමට
අනුදැන වදාළහ.
“අනුජානාමි භික්‍ඛවෙ පඤ්චන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං පගෙව පහිතෙ
භික්ඛුස්ස භික්‍ඛුණියා සික්‍ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා...” මෙපරිද්දෙන් ඉහත කී
පස්දෙනා ගිලන් වූයේ වේ ද, බෙහෙත් සොයන්නේ වේ ද, කලකිරීමකින්, සැකයකින්, මිථ්‍ය
දෘෂ්ටියකින් පසුවන්නේ වේ ද ගරු ඇවතකට ලක් වූයේ වේ ද, මූලායපටික්කස්සන, මානන,
අබ්භාහන විනයකර්මයට සුදුසු වේ ද මේ ආදි තවත් කරුණු නිසා සත්තාහකරණයෙන් යෑමට හා ඊමට
බුදුන් වහන්සේ විසින් අනුදැන වදාරන ලදි.
මෙසේ කල් යත් දී දිනක් එක්තරා භික්‍ෂුවකගේ මවු තොමෝ ගිලන් වූවා ය. “මම ගිලන් වූවා
වෙමි. පුත්‍රයාගේ ඊම කැමැත්තෙමි’යි අම්මා තම පැවිදි පුත්‍රයාට දූතයකු මාර්ගයෙන්
පණිවිඩයක් යැවී ය. තම මැණියන් උපාසිකාවක් නොවන හෙයින් යෑම විනය විරෝධි දැයි එම
භික්‍ෂුවට සැකයක් හටගත්තේ ය. මන්ද ආරාධනා එවු කල්හි සත්තාහකරණයෙන් යෑම සඳහා ඒ වන
විට බුදුන් වහන්සේ විසින් අවසර ලබා දී තිබුණේ උපාසක උපාසිකා සහිත හත් දෙනකු සඳහා
පමණි. මෙය දැනගත් බුදුන් වහන්සේ විසින් පණිවිඩ එවූව ද, නො එවූව ද භික්‍ෂු,
භික්‍ෂුණී, හික්මෙන්නිය, හෙරණ, හෙරණිය, මව, පියා යන සත් දෙනෙකුගේ සමීපයට
සත්තාහකරණයෙන් යෑමට අනුදැන වදාළහ.
“අනුජානාමි භික්‍ඛවෙ සත්තන්නං සත්තාහකරණීයෙන අප්පහිතෙපි ගන්තුං පගෙව පහිතෙ
භික්ඛුස්ස භික්‍ඛුණියා සික්‍ඛමානාය සාමණෙරස්ස සාමණෙරියා මාතුයා ච පිතුස්ස ච...”
සහෝදරයෙක්, නෑයෙක්, මෙහෙකරුවෙක් අසනීප වී පණිවිඩ එවූ කල්හි ද යෑමට පණිවිඩ නො එවූ
කල්හි නො යෑමට ද, විනාශ වූ ආරාමයක් සැකසීම පිණිය දැවාදිය ගෙන ඒ ම පිණිස ආරාධනා ලද
විට යෑමට ද බුදුන් වහන්සේ විනයෙන් අවසර ලබා දී ඇත.
සමන්තපාසාදිකා නම් වූ විනය අටුවාව අන්ධට්ඨකථා නම් වූ හෙළ අටුවාවක ඇති දෙයක්
දක්වමින් පෙන්වා දෙන්නේ මවුපියන්ට උපස්ථායක වූ හෝ ඥාති වූ හෝ ඥාති නො වූ හෝ යම්
කෙනෙක් වේ ද ඔවුන් වෙතට ද ආරාධනාවක් නො ලද ද සත්තාහකරණයෙන් යෑම විනය විරෝධි නො වන
බව යි. නමුත් එම සඳහන අන් අට්ඨකථාවල හෝ ත්‍රිපිටකය තුළ සඳහන් නො වන නිසා නො සැලකිය
යුතු යැයි බුද්ධඝෝෂ හිමියෝ පෙන්වා දෙති. ධර්ම ශ්‍රවණය පිණිස ආරාධනාවක් නො ලැබ
සත්තාහකරණයෙන් නො යා යුතු බවත්, ඊට පෙර දිනක එක් මහා විහාරයක
‘අසුවල් දවසෙහි රැස්විය යුතු යැ’යි කතිකාවතක් කරන ලද්දේ වේ ද ආරාධනා කරන ලද්දක් කොට
සලකා සත්තාහකරණයෙන් යෑම යුතු යැයි සමන්තපාසාදිකාව පෙන්වා දෙයි. සත්තාහකරණය පිළිබඳ
ගිහි-පැවිදි දෙපාර්ශ්වයේ ම අවධානය යොමු විය යුතු ය. |