[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මරණය කියවීම : ඉන්නා කාලයේ කළ කම් දකිනු විනා මළකඳ මළ අයුරු ගැන කුමකට ද කතා

මරණය කියවීම :

ඉන්නා කාලයේ කළ කම් දකිනු විනා - මළකඳ මළ අයුරු ගැන කුමකට ද කතා


“මිසිස් අජන්තා...ඔයා ඉස්කෝලේ හාමිනේගේ මළ ගෙදර ගියාද? මම මේ ගිහින් ආවා විතරයි... සෙනග කොච්චර පිරිලා හිටියද කියනවා නම් අපිට වාහනය පාර්ක් කර ගන්නවත් ඉඩක් තිබුණේ නෑ.

ඉස්කෝලේ හාමිනේගේ මූණ වුණත් හරි පින් පාටට තිබුණේ. කිසිම අසනීපයක් නිසා දුක් වින්දෙත් නෑනේ. සයිලන්ට් හාර්ට් ඇටෑක් එකකින් නින්දෙදිලුනේ නැති වුණේ. හරි පින්වන්ත මරණයක්. මාත් කවදා හරි ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ මරණයක් තමයි.

අපිට මළගෙදර දී මතක් වුණේ ඇක්සිඩන්ට් එකකින් මැරුණු ඉස්කෝලේ හාමිනේගේ මල්ලිව. තනිකඩව ඉඳගෙන ගොඩක් පින් දහම්වලට එයාගේ මුළු ජීවිතය ම කැප කළත් ඇක්සිඩන්ට එකෙන් පස්සේ මාසයක් විතර ගොඩක් දුක් විඳලයි එයා මළේ. මල්ලි තරම් පින් කළේ නැතත් අක්කා වාසනාවන්ත වුණා.”

ඉහත සඳහන් වන්නේ හදිසි හෘදයාබාධයකින් මිය ගිය පාසල් ගුරුවරියක සහ අනතුරකින් මිය ගිය ඇයගේ මලණුවන් පිළිබඳ තවත් එක් උපාසිකාවකගේ අදහස යි. එදිනෙදා සමාජය තුළ මෙවන් සංවාද ඔබ කොතෙකුත් අසා ඇතැයි සිතමි. ඇතැම් විට ඔබගේ මුවගින් හෝ මෙවන් අදහස් ඕනෑ තරම් ප්‍රකාශ වී තිබෙන්නට වුව ද ඉඩ ඇති ය.

මරණය යනුවෙන් සරල ව අදහස් වන්නේ ජීවියකුගේ ප්‍රාණය නිරුද්ධ වීම යි. එය ඕනෑ ම මොහොතක, ඕනෑ ම ස්වරූපයකින් ඔබ, අප කරා එළැඹිය හැකි ය. මෙම ලිපිය සැකසෙන්නේ මරණයේ ස්වරූපය පිළිබඳ ජන සමාජගත මිථ්‍යා මත පිළිබඳ බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් ඔබගේ චින්තනය අවදි කරවීමට යි.

මරණයේ ස්වරූපය අනුව එක් එක් මරණ වාසනාවන්ත හෝ අවාසනාවන්ත ලෙස නිර්ණය කරන්නේ කෙසේ ද? එවන් පදනමක් බෞද්ධ දර්ශනය තුළ තිබිය නො හැකි ය. එය මුළුමනින් ම පාහේ වෙනත් සමයාන්තර බලපෑමකින් හෝ ජන සමාජගත විශ්වාස පද්ධතිය නිසා හෝ මිනිස් සන්තාන තුළ පැළපදියම් වූ කරුණකි. පසුගිය දා මුළු මහත් සමාජය ම කම්පා කරවමින් සිදු වූ නා උයන ආරණ්‍ය සේනාසනයේ ස්වාමීන් වහන්සේ කිහිප නමකගේ අපවත් වීම පිළිබඳ පුවත ද ඔබට මේ සමඟ ම සිහිපත් වෙතැයි සිතමි. ආරණ්‍ය සේනාසනයක වැඩ වාසය කරන භාවනානුයෝගී, සුපේෂල, ශික්‍ෂාකාමී යතිවරුන් වහන්සේහට මෙවන් විපතක් සිදු වීම සම්බන්ධයෙන් ඔබගේ කුකුස ද ඒ සමඟ වර්ධනය වන්නට ඇත.

ආකාරවතී ශ්‍රද්ධාවෙන් යුතු ප්‍රඥාවන්ත සැබෑ බෞද්ධයා විසින් මෙවන් සිදුවීම් දහමට අනුව තාර්කික ව ගළපා ගනු ලබයි. බෞද්ධ සාහිත්‍යයේ එන අරහත් මහා ශ්‍රාවකයින් වහන්සේ පිළිබඳ විමසා බලන විට එළදෙනුන් ආදි සතුන්ගේ ප්‍රහාර නිසා, හදිසි අනතුරු නිසා, අනපේක්‍ෂිත කරදර ආදිය නිසා පරිනිර්වාණයට පත් වූ අරහතුන් වහන්සේ පිළිබඳව ද කරුණු අනාවරණය වේ. අප හොඳීන් ම දන්නා මුගලන් මහරහතන් වහන්සේ සහ උප්පලවණ්ණා මහරහත් තෙරණිය පවා පිරිනිවනට පත් වූයේ ජනසමාජගත කියැවීමට අනුව නම් වාසනාවත්ත අයුරින් නො වේ. සාමාවතී වැනි ප්‍රධාන පෙළේ සුසිල්වත් උපාසිකාවන් පවා ඝාතනය වූයේ අවාසනාවන්ත අන්දමිනි. අතීත හෝ වර්තමාන භවයන්හි කරන ලද කුසල්-අකුසල්හි ප්‍රතිඵල නිර්වාණය තෙක් ම ලැබෙන බව නො රහසකි.

එවන් කර්මයාගේ පලා’පල අනුව එම ශ්‍රාවකයන් වහන්සේ පිරිනිවුණ ද ඒ වන විටත් සාධනය කරගෙන තිබූ උත්තරීතර නිර්වාණ සුවය එකී අවාසනාව ඉක්මවා නැඟී සිටියා නො වේ ද? මෙහි දී අප ආවර්ජනය කරගත යුතු වන්නේ එම යථාර්ථය යි.

“ආයුනාමෙතං අබලං දුබ්බලං තථාහි සත්තානං ජිවිතං අස්සාස-පස්සාසූපනිබද්ධං චෙව

ඉරියාපථූපනිබද්ධඤ්ච සිතුණ්හුපනිබද්ධඤ්ච මහාභූතූපනිබද්ධඤ්ච ආහාරූපනිබද්ධඤ්ච”

යන්නට අනුව “ජීවිතය නම් වූ මෙය අබල ය. දුබල ය. සත්ත්වයන්ගේ ජීවිතය ආශ්වාස ප්‍රශ්වාස නිසා පවත්නක් ය. ඉරියවු පැවැත්වීම නිසා ද, ශීතෝෂ්ණ දෙක නිසා ද, මහා භූතයන් නිසා ද පවත්නක් ය.” බෞද්ධ දර්ශනයෙහි මරණය යනුවෙන් අදහස් කෙරනුයේ එක් භවයක් කෙළවර “ජීවිත ඉන්ද්‍රියයාගේ” සිඳී යාම යි. එනම් කර්ම, චිත්ත, ඍතු හා ආහාර යන රූප සමුට්ඨාන ධර්මයන්ගෙන් හටගත් රූප පරම්පරාව වර්ෂ සිය ගණනන් හෝ දහස් ගණනක් හෝ විනාශ නො වී පවත්වා ගනු ලබන්නේ ජීවිත ඉන්ද්‍රිය නම් වූ රූපය යි. යම් කලෙක එකී ජීවිතඉන්ද්‍රිය විනාශ වේ ද එය ‘මරණය’ යැයි විසුද්ධිමග්ගය පෙන්වා දෙයි. ඒ, “තත්‍ථ මරණන්ති එකභවපරියාපන්නස්ස ජීවිතඉන්ද්‍රියස්ස උපච්ඡේදො” යනුවෙනි.

අතිගරු රේරුකානේ චන්දවිමල මහනාහිමියන්ට අනුව සත්ත්වයකුගේ උත්පත්තියට කර්මයක් වුවමනා වන්නාක් මෙන් සෑම කල්හි ම මරණයට කර්මයක් වුවමනා වන්නේ නැත. සමහර විට සත්ත්වයෝ කර්මය නිසා ද මිය යති. කර්මය හැර වෙනත් නොයෙක් හේතු නිසා ද මිය යති. අප වටහා ගත යුත්තේ ස්වරූපය කුමක් වුවත් මේ කුමනාකාරයකින් හෝ අප සැමදෙනා මිය යන බවයි. ප්‍රාණය නිරුද්ධ වූ සිරුරෙහි නොහොත් දෙණෙහි අංග ලක්‍ෂණවලින් හෝ මුහුණෙහි පිහිටා ඇති සිනා රැලිවලින් වාසනාව, අවාසනාව හෝ මතු භවය තීරණය කළ හැක්කේ නො වේ. ඒ සඳහා බලපානු ලබන්නේ ප්‍රාණය නිරුද්ධ වීමට පෙර අවධිය යි.

බුදු දහමට අනුව ආයුෂය ගෙවී යාම නිසා සිදු වන මරණය “ආයුක්ඛය-මරණ” නම් වේ. කර්ම ශක්තිය ගෙවී යාමෙන් “කම්මක්ඛය-මරණ” සිදු වේ. ආයුෂය සහ කර්මය යන දෙ අංශයේ ම පිරිහීමෙන් “උභයක්ඛය-මරණ” සිදු වේ. තථාගතයන් වහන්සේ පවා කර්මජ සහ වෙනත් හේතුන් මත විවිධ රෝගාබාධාදිය වැලඳුණු උත්තරීතර මනුෂ්‍යයෙකි.

මරණය පිළිබඳ ජන සමාජගත ආකල්ප ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් ම විකාසනය වූවක් වන අතර, මේ වන විට එයට තව බොහෝ විශ්වාස පද්ධති සහ අභිචාර කර්මාදිය ද එකතු වී ඇත. ප්‍රඥා ගෝචර බෞද්ධයකු ලෙස මරණය යන්න කියවා ගත යුත්තේ එකී සාටෝපවලින් බැහැරව ය. ඒ අනුව වඩා වැදගත් වන්නේ මරණය සිදු වන ස්වරූපය වෙත සිත පිහිටුවා ගැනීම නො ව ඊට පෙර ජීවිතයේ එනම් සුජීවත් ව සිටින කාල පරිච්ඡේදයේ පුණ්‍යවන්ත භාවය ගැන සිත පිහිටුවා ගැනීම ය.

රණය කෙරෙහි හේතුව විමැසුමෙහි මනා
ඉපැදුණු සාධකය පමණක් ඉතිරි වුණා
මළකඳ, මළ අයුරු වැනි දේ සොයන දනා
ජීවත්වීම යන්නෙන් ඇයි බැහැර වෙනා

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]