ශ්‍රී බුද්ධ වර්ෂ 2569 ක් වූ ඉල් පුර පසළොස්වක පෝ දා 2025 නොවැම්බර් 05 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම මාර්ගයේ ගමන් කොට, හොරවෙලට පැමිණ එතැන් සිට කි.මී. දෙක හමාරක් පමණ ගමන් කිරීමෙන් මැදිලිය රජමහා විහාරයට ළඟා විය හැකි ය. අරණායකත්, හෙම්මාතගමත් අතර කුඹුරු යායකට මුහුණලා පිහිටි මේ විහාරය ටැම්පිට විහාර ගණයට අයත් වේ. ගල් කණු සිටුවා, ඒ මත දැව දඬු දමා ඉන් අනතුරුව ලෑලි අතුරා ඒ උඩ බිත්ති බැඳ ඉදි කරනු ලබන විහාර මන්දිරය ‘ටැම්පිට විහාර’ ලෙස හඳුන්වයි. මහනුවර යුගයේ මේ විහාර සම්ප්‍රදාය බිහි වීමට හේතු වී ඇත්තේ අටදාගෙය, හැටදාගෙය වැනි පිළිමගෙවල් සම්ප්‍රදායයන් බව විශ්වාස කෙරේ. ඒවායෙහි පැවැති ගන්ධ කුටිය, අන්තරාලය සහ මහල් ක්‍රමය ටැම්පිට විහාර ඉදිවීමට ද බලපා තිබේ. ටැම්පිට විහාරවල ආකෘතිය බොහෝ දුරට උඩරට ප්‍රදේශයේ ගල් කණු මත ඉදිකරනු ලබන වී අටුවල ආකෘතියට සමාන ය. හාරිස්පත්තුවේ මැදවල ටැම්පිට විහාරය, කෑගල්ල අම්බුළුගල ටැම්පිට විහාරය, කුරුණෑගල දොරබාවිල ටැම්පිට විහාරය මෙයට තවත් නිදසුන් විහාර කිහිපයකි. ටැම්පිට විහාරවල වහලය හෙවිලි කර ඇත්තේ පෙති උළු යොදා ගෙන ය. ටැම්පිට විහාර කලාත්මක අතින් ඉතා සුවිශේෂ වේ. ප්‍රතිසංස්කරණ නිසා ඇතැම් ටැම්පිට විහාර ටැම්පිට විහාර ලෙස හඳුනා ගත නො හැකි මට්ටමට පත් ව ඇත. මැදිලිය ටැම්පිට විහාරය අඩි දෙකයි අඟල් භාගයක් පමණ උස ගල් කුළුණු විස්සක් මත ඉදිකර තිබේ. ගල්කණු මත අඟල් නවයේ නවයේ ලී රඳවා ඒ මත අඟල් හතරක් පළල දැව ලෑලි තට්ටුවක් අතුරා ඒ මත බිත්ති නංවා තිබේ. ටැම්පිට විහාරයේ දිග අඩි විස්සකි; පළල අඩි දොළහකි. අභ්‍යන්තර ප්‍රතිමා ගෘහයේ දිග අඩි දොළහකි; පළල අඩි හතකි. වරිච්චි බිත්ති ඉදිකර ඒ මත හුණු ආලේප කොට, වහලය පැතිලි උළු යොදා සෙවිලි කර තිබේ. විහාරාභ්‍යන්තරයේ සමාධි ප්‍රතිමා වහන්සේ අඩි තුනහමාරක උසකින් හා අඩි දෙක හමාරක පළලකින් යුක්ත ය. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙපසින් සිටින භික්ෂූන් වහන්සේ වන්දනා කරන අයුරින් ද, තවත් පිරිසක් නෙළුම් මල් අතැති ව සිටින අයුරින් ද, චිත්‍රණය කර ඇත. පිළිමය සිරස්පතකින් යුක්ත ය. තව ද මහනුවර යුගයට ආවේණික රැළි සහිත සිවුරකින් ද, සමාධි ඉරියව්වෙන් වැඩ සිටින අයුරින් ද, ෂඩ් වර්ණ රශ්මි මාලා විහිදෙන අයුරින් ද ප්‍රතිමා වහන්සේ මූර්තිමත් කර ඇත.
නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ. 05 බදාදා සිල්
පසළොස්වක
නොවැම්බර් 05
අව අටවක
නොවැම්බර් 12
අමාවක
නොවැම්බර් 19
පුර අටවක
නොවැම්බර් 28
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]