|
ඉල් පුර පසළොස්වක පෝ දා
2025-11-05
අත්හළ නොහැකි
වගකීමක්
ඉපිද මියෙන යළි උපදින, යළිදු මියෙන සසර කතරක අපි ගමන් කරමින් සිටිමු. එහි කෙළවරක්
නොදකිමු. එහෙත් ඒ සසර මඟ එක් නැවතුම්පලක දුර්ලභ මනුසත් බව ලබන්නට අපි පුණ්‍යවන්තයෝ
වීමු. සම්බුදු දහම ජීවමාන කාලයක, මිථ්‍යාදෘෂ්ටික මඟට නොවැටී, බෞද්ධ රටක, බෞද්ධයන්
වීමට ද භාග්‍යවන්තයෝ වීමු.
මසැස නම් වූ ඇසින් රූප දුටුව ද මනැස නම් වූ ඇස අන්ධ වීම නිසා ලෝකය දකින්නට අපොහොසත්
ව ඒ භාග්‍යය, අභාග්‍යයක් බවට පත් කර ගත්තෝ ද විරල නොවේ. ලෝකය දැකීම නම් තමන් පිළිබඳ
දැකී ම ය. ඇස, කන, නාසය, දිව, ශරීරය නම් වූ ඉඳුරන්ට ගොදුරු වන අරමුණුවල අනිත්‍යය
තේරුම් ගන්නට හැකි වීම ය. ඒ යථාව අවබෝධ කර ගන්නට තවමත් නොහැකි වී තිබෙනවා නම්
බෞද්ධයන් වීමේ වටිනාකම ගැන ඇත්තේ ප්‍රශ්නයකි.
බෞද්ධයා යනු බුද්ධිමතෙකි. කවර දෙයක් වුව යෝනිසෝ මනසිකාරයෙන් දකින්නට සමතෙකි. ඒ
දක්ෂකම වැඩෙන්නේ සත්පුරුෂ ඇසුරෙනි. සද්ධර්මය ඇසුරෙනි. නාමය බෞද්ධ වුව ඒ සත්පුරුෂ
ධර්මය ක්‍රියාවට නොනැඟීම තුළ සසර කළ මහා පිනකට උරුම වූ මිනිසත් බවේ භාග්‍යය
අභාග්‍යයට පෙරළීම වැළැක්විය නොහැකි ය.
අප තථාගතයන් වහන්සේගේ සිරි මුව මඬලින් දේශිත අමා ධර්මය ඝොර සසර මඟ අපමණ දුක්ඛිත
ගමනක යන සකල ලෝ සත වෙත පතළ මහා කරුණාවෙන් ම දේශිත ය. ඒ දහම් මඟ යන ශ්‍රාවකයා තුළ
වෛරය නැත. ක්‍රෝධය නැත. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්ධ නැත. ඊර්ෂ්‍යාව, කුහකකම,
මාන්නය නැත, අනෙකා පරයා නැඟී සිටින්නට වෙර දරන්නේ නැත. පාපයෙහි බිය වන්නේ ය.
ලජ්ජාවන්නේ ය. යහපතට මිස අයහපතට නොනැමෙන සිත තමන්ටත්, අනුන්ටත් අනර්ථයක් නොකරන්නේ
ය. ඒ සාමකාමී බව බෞද්ධ සමාජයක කැඩපත ය. එහෙත් අද අප ජීවත්වන පරිසරයේ මේ යථාර්ථය අත්
නොවිඳිමු.
අපේ ළමා පරපුර රැක ගැනීම ගැන අපිට බියක් තිබේ. පවුල බිඳී විසිරී යමින් තිබේ. දුක්
මහන්සියෙන් උපයා ගන්නා දේ ආරක්ෂා කර ගන්නට ඊටත් වඩා මහන්සි ගත යුතු තත්ත්වයක් උදා
වී තිබේ. පුංචි දියණියකගේ සිට මැහැල්ලක දක්වා ම අනාරක්ෂිත බවට පත්වෙමින් තිබේ. තව ද
බොහෝ අනර්ථ ඉදිරියේ බිය ජනක බවේ අඳුරු සෙවණැලි වැටෙමින් තිබේ. ඒ, මතට ගිජු වූවෝ
නිසා ය. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උපායශීලීත්වය, අමනෝඥ බව රටක්, සමාජයක් අඳුරු
ආගාධයකට ඇද දමමින් තිබේ.
ගිහි ජීවිතය ශක්තිමත් කරන ප්‍රතිපදාව පංච ශීලයයි. එහි පස්වැනි සිල්පදය සුරාවෙන්,
මතින් වැළකීමයි. අද අපේ සමාජය මත් ද්‍රව්‍ය විසින් ගිලගෙන යමින් තිබේ. එය ජාතික
ව්‍යසනයක් බවට නිර්මාණය කර ඇත. සමාජය මේ ආගාධයට වැටීමෙන් බේරා ගැනීමේ අභියෝගය අප
හමුවේ තිබේ. පවුල තුළ ළමා ළපටීන් සේ ම වැඩිහිටියන් ද මත්ද්‍රව්‍ය රකුසාගෙන්
සුරක්ෂිත කරගනු පිණිස අවදි විය යුතු කාලය එළඹ තිබේ. විෂ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය,
බෙදා හැරීම අලෙවිය, ප්‍රවර්ධනය සහ ඊට අනුබල දීම මුළුමනින් ම ප්‍රතික්ෂේප කිරීමටත්
එරෙහි වීමටත්, ඊට සම්බන්ධ පිරිස් නීතිය හමුවට පැමිණ වීම සඳහා සහය වීමටත් තමන් තමන්ට
ප්‍රතිඥා දිය යුතු ම ය. එය ජාතික අවශ්‍යතාවකි. බෞද්ධයන් ලෙස මතින් දුරුවනවා සේ ම
අන්‍යයන් ද ඉන් ගලවා ගැනීමට දරන්නා වූ වෑයම සහ ඒ යුතුකම ඉටුකිරීම සාර්ථක වූ තැන යහ
සමාජයක අරුණාලෝකය දුර නොවනු ඇත. |