[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අයහපත යහපතට මෙහෙයවන ප්‍රඥාව

අයහපත යහපතට මෙහෙයවන ප්‍රඥාව

ලොව පවතින දැනුම ඉක්මවා යන්නේ යමක් ද, ඒ ප්‍රඥාව ම ය. යම් අත්දැකීමක් අවබෝධයකට හරවන්නට ද, යම් ක්‍රියාවක් අභිලාෂයක් බවට පත් කරන්නට ද, උපකාර වන ආලෝකය ලැබෙන්නේ ප්‍රඥාවෙනි. බලපුළුවන්කාරකම් වියැකී යන, වත් පොහොසත්කම් නැතිවී යන, නිවැරැදි මෙහෙයවීමක් රහිත දැනුම පවා නපුරට හේතුවන ලොවක ප්‍රඥාව මිනිසා අයහපතින් යහපත කරා මෙහෙයවන්නේ ය.

එහෙයින්, සියලු ප්‍රඥාවන්තයන් අතරින් අග්‍ර වූ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය දේශනා කොට ඇත්තේ නැණවතුන් උදෙසා බව වදාළ සේක.

“පඤ්ඤාවන්තස්ස අයං ධමෙමා - නායං ධමෙමා දුප්පඤ්ඤස්ස

“මහණෙනි, මේ ධර්මය ප්‍රඥාවන්තයන් උදෙසා ය. ප්‍රඥාවෙන් තොර වූවන් සඳහා නොවේ.”

වරක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි උපාසකයකු භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය.

“ස්වාමීනි, මම දුටු දෙයක් නම් ඔබ වහන්සේ ඇතැම් අයට දීර්ඝවත්, ඇතැම් අයට මධ්‍යමවත්, ඇතැම් අයට කෙටියෙනුත් ධර්මය කියා දෙන බවයි.

ඊට හේතුව කුමක්ද? ස්වාමීනි?”

අප බුදුරජාණන් වහන්සේ කරුණාබරව ඔහුගෙන් මෙසේ ඇසූහ.

“පින්වත් උපාසකය, ඔබ ජීවිකාව සඳහා කරන්නේ කුමක්ද?”

“මම ගොවියෙක් ස්වාමීනි,”

“එසේ නම් පින්වත් උපාසකය, ඔබට කුඹුරු තුනක් තියෙනවා යැයි සිතමු. එකක් ඉතාමත් සාරවත්. අනෙක මධ්‍යම ව සාරවත්. ඉතිරි කුඹුර පුරන් කුඹුරක්. ඔබට බීජ ටිකක් ලැබුණොත් මේවායේ වපුරන්නේ කොහොම ද?

“ස්වාමීනි, මම මුලින්ම සරු කුඹුරේ වපුරනවා. දෙවනුව මධ්‍යම ප්‍රමාණයේ අස්වැන්නක් ලැබෙන කුඹුරේ වපුරනවා. තවත් බීජ ඉතිරි වුණොත් සතුන්ටවත් ප්‍රයෝජනවත් වේ යැයි සිතාගෙන පුරන් කුඹුරේ වපුරනවා.”

ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ උපාසකයාට මෙසේ පැහැදිලි කළහ.

“පින්වත් උපාසකය, මමත් එහෙමයි. ප්‍රඥාවෙන් මුහුකුරා ගිය කෙනාට හුදෙක් ප්‍රයෝජනවත් වෙන නිසා ධර්මය දීර්ඝ ව කියා දෙනවා. එවැනි අය කියාදුන් ධර්මය හොඳින් අවබෝධ කරගෙන පුහුණුූ වී පරම ශාන්තියට පත්වන බව මම දන්නවා.

මධ්‍යම ප්‍රමාණයෙන් ප්‍රඥාව ඇති දෙවැනි කෙනාට ධර්මය දීර්ඝ ව කියාදී පලක් නැහැ. එනිසා ඒ අයට ප්‍රඥාව දියුණුූ කර ගත හැකි ආකාරයට ධර්මය නිසි අයුරින් කියා දෙනවා.

ප්‍රඥාව අඩු පුද්ගලයා වන තෙවැන්නාට ධර්මය කියාදිය යුතු සෙමෙන්. ඒ අයට දාන කතා, සීල කතා, ආදී වශයෙන් කෙටි දේ කියාදෙන්නේ සෙමෙන්. ඒවා ග්‍රහණය කර ගත හැකි අයුරින් ධර්ම මාර්ගයත්, මෙලොව පරලොව යහපතත් තමා තුළ ඇති කරගත හැකි අයුරිනුයි.”

එය ඇසූ උපාසකයා සාධුකාර දී භාග්‍යවතුන් වහන්සේගේ පැහැදිලි කිරීම සතුටින් පිළිගත්තේ ය.

ධර්මය පුහුණුූ කරන ඕනෑම පින්වත් මිනිසකුට ප්‍රඥාව ඉතාමත් වැදගත් ය. දුකින් මිදීමේ මඟ වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ඕනෑම කෙනකුට එහි පදනම වන සම්මා දිට්ඨි හෙවත් ඇති දෙය ඇති සැටියෙන් දැකීමටත්, සම්මා සංකප්ප හෙවත් ඒ හරහා ඇතිවන යහපත් ගැඹුරු ආකල්ප ඇතිකර ගන්නටත් මූලික වන්නේ ප්‍රඥාව ය.

සීල හා සමාධි පුහුණුව හරහා සිතේ මතුපිට ස්වභාවය පිරිසුදු වන නමුදු ඉන් සියලු කෙලෙස් දුරුවීමක් සිදු නොවේ. සමාධිය උපරිම මට්ටම දක්වා දියුණුූ කළ ද ඉන් කෙලෙස් යටපත් වී යනු මිසක උදුරා දැමීමක් සිදු නොවේ. රබර් පටියක් අඹරන තාක් එය ඇඹරී පවතින නමුත්, ඇඹරුම අත්හැරි විගස එය මුල් තත්ත්වයට පත්වන සේ සමාධි පුහුණුවෙන් යටපත් වන කෙලෙස් එම පුහුණුව ඇති තාක් යටපත් ව පවතින මුත් පුහුණුව නතර කළ විගස යළිත් ක්‍රමයෙන් මතුවීම අරඹයි. එනිසා කෙලෙස් සම්පූර්ණයෙන් ම දුරු කිරීමට ප්‍රඥාව අවශ්‍ය වන අතර, අප ප්‍රඥාව දියුණුූ කර ගන්නට මහත් වීර්යයෙන් කටයුතු කළ යුතු ය.

දියුණුූ කරගත යුතු ප්‍රඥාව ලෞකික හා ලෝකෝත්තර වශයෙන් දෙයාකාර වේ. ලෞකික ප්‍රඥාව යනු එදිනෙදා කටයුතු කර ගන්නට, ශිල්ප හදාරන්නට, රාජ්‍ය පාලනයට ආදී වශයෙන් උපකාර වන ප්‍රඥාව ය. තම ජීවිතය පහසුවෙන් ගෙවන්නටත් සමාජයක්, රටක් සුඛිත මුදිත කරන්නටත්, ඇවැසි ලෞකික ප්‍රඥාවයි.

උදාහරණයක් ලෙස නෙල්සන් මැන්ඩෙලා බිඳුණු දකුණු අපි‍්‍රකාව සමඟියේ හා දියුණුූවේ මාවතට ගත් ලෝකාදර්ශයන් වූ තීරණ පිළිබඳ අපට අවධානය යොමු කළ හැකි ය. අසාධාරණ ලෙස 27 වසරක් සිරබත් කෑමෙන් පසුව දකුණු අපි‍්‍රකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා වූ නෙල්සන් මැන්ඩෙලා එම පදවියට පත් විගස ඔහුගේ මිතුරන් ඔහුට යෝජනා කළේ මෙතෙක් කලක් කළු ජාතිකයන්ට කෙණෙහිලිකම් කළ සුදු ජාතිකයන්ගෙන් පළිගැනීමට ය. එහෙත් ප්‍රඥාවන්ත මැන්ඩෙලාගේ පිළිතුර වූයේ මෙසේ ය.

මිතුරනි, අමිහිරි අතීතයක් නිසා අප අමිහිරි අනාගතයක් ඇතිකර නොගත යුතුයි. ගිය දේ ගියා. අපි යළිත් පළිගන්න ගියොත් දකුණුූ අපි‍්‍රකාව ම ලේ විලක් වෙලයි නවතින්නේ. ඒ නිසා අපි අමිහිරි අතීතයට සමු දී මිහිරි වර්තමානයකුත්, සුමිහිරි අනාගතයකුත් උදාකර ගත යුතුයි.”

මේ ප්‍රඥාවන්ත පණිවුඩයත්, ඒ හා ක්‍රියාත්මක වූ ප්‍රායෝගික ක්‍රියාදාමයත් සමස්ත අප්‍රිකාව පුරා පැතිරුණු අතර, ඉන් දශක ගණනාවක් කළු - සුදු වෛරයෙන් බෙදුණු අපි‍්‍රකාව සමඟි ව දියුණුවේ මාවත කරා ගමන් කළේ ය. වර්තමාන සමෘද්ධිමත් දකුණුූ අපි‍්‍රකාව නෙල්සන් මැන්ඩෙලාගේ ලෞකික ප්‍රඥාව කියාපාන අගනා ස්මාරකයකි.

ලෝකෝත්තර ප්‍රඥාව යනු ඇත්ත ඇති සැටියෙන් දැක ලබන අවබෝධය වන අතර, එය ධර්මය කියවීමෙන් හා ඇසීමෙන් ලබන සුතමය ප්‍රඥාවත්, ගැඹුරට අවබෝධාත්මක ව සිතා ලබන චින්තාමය ප්‍රඥාවත්, භාවනා පුහුණුව හරහා තම අත්දැකීමෙන් ම සාක්ෂාත් කර ගන්නා භාවනාමය ප්‍රඥාවත් යන ත්‍රිවිධ ප්‍රඥා දියුණු කිරීම හරහා වර්ධනය කරගත යුතු ය.

ප්‍රඥාව වඩන තැනැත්තා ප්‍රඥාව දුර්වල කරන පමාවී වැඩ කිරීම, පංච නීවරණවලට යටවීම, බහු ආශ්‍රය, මාන්නය, නොසන්සුන් සිත, බාලයන් සේවනය, නුවණැතියන් අනාශ්‍රය, හීනමානය, වැරැදි කල්පනාව, සංවේග රහිත බව, අදාළ දුර්ගුණ පසෙක ලා ප්‍රඥාව වඩවන ශිල්ප ශාස්ත්‍ර හා ධර්මය ඉගෙනුම, පණ්ඩිත ආශ්‍රය, නොදන්නා දේ ඇසීම, පණ්ඩිතයන් හා සාකච්ඡාව, භාවනාව යන යහපත් ගුණ පුරුදු කළ යුතු ය.

මෙසේ වැඩූ ප්‍රඥාව ඇති තැනැත්තා මනා කායික, වාචසික හා මානසික සංවරයෙන්, අවිහිංසාවෙන්, යහපත් ගතිගුණින්, සතුටින් යුක්ත වූයේ තමාටත්, අනුන්ටත් හිතකර කටයුතුවල යෙදෙමින් කටයුතු කරන්නේ ය. එබන්දෝ මරණින් මතු දිව්‍ය මනුෂ්‍ය උපත් ලබා පරලොව ද සුව සේ වසත් ම ය. වහ වහා දහම් මඟ නොපමාව දියුණුූ කොට කෙලෙසුන් දුර ලා, පරම ශාන්තිය වූ අමාමහ නිවන්සුව ලබන්නට ද ඒ පුද්ගලයා සුදුස්සකු වේ.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]