මනුලොව ද සුගතියකි
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා “මහණෙනි, යම් කලෙක දෙවියෙක්
දෙව්ලොවින් මතුවන ස්වභාව ඇත්තේ ඔහුට පෙරනිමිති පහක් පහළ වන්නේ ය.
පළමු පෙර නිමිත්ත පැළැඳි මල් මැලවීමය. දෙවැන්න හැඳි වත් කිලිටි වීමය. තෙවැන්න
කිහිලිවලින් දහඩිය වැගිරීමය. සිව්වැන්න සිරුරෙහි දුර්වර්ණ බව ඇති වීමය. පස්වැන්න
තමාගේ දෙවඟනන් සමූහය සමඟ ක්‍රීඩා කරන හැසිරෙන දිව්‍යාසනයෙහි නො ඇලීම ය යනුවෙනි.
“මහණෙනි, මේ පෙර නිමිති පහළව ඇති ඒ දෙව් පුත් මහත් පින් ඇති අනෙක් දේව සමූහයා
විසින් නන්දන උයනට ගෙන යනු ලබති. එසේ ගොස් මෙසේ ඔහු අස්වසති. සතුටු කරති. ප්‍රමෝදය
උපදවති. අවවාද කර ආශීර්වාද කරති.
“පින්වත ඔබ මේ දෙව් ලොවින් චුත ව සුගතියට යන්න. සුගතියට ගොස් මනාකොට ලැබිය හැකි
ලාභය ලබන්න. (සුලද්ධ ලාභං) ඒ සුලද්ධ ලාභය ලැබ සුප්පතිට්ඨිත වන්න. (සුප්පතිට්ඨිතො
භවාහීති) යනුවෙන් කියා සනසවති’යි වදාළහ.
“මහණ, දෙවියන් කියූ ඒ සුගති ගමන වනුයේ මිනිස් ලොව මිනිසත් බව ලැබීම ය. මනු ලොව
මිනිසෙක් වුවකු බුදුරදුන් විසින් වදාළ ධම්මවිනයෙහි යම් ශ්‍රද්ධාවක් ලබා දී මහණෙනි,
මෙය වනාහි සුලද්ධලාභ එන” (යහපත් ලෙස පිහිටි ලාභයයැයි) කියන ලදී. තෙවනුව කියූ
“සුප්පතිට්ඨිතවීම” යනු ධම්ම විනයෙහි හික්මී ලැබූ ශ්‍රද්ධාව හෙවත් ඒ සුලද්ධ ලාභය
සිත් තුළට පිවිස හටගත් මුල් ඇත්තේ ස්ථිර ව පිහිටියේ නම් (සෝවාන් ඵලය සාක්ෂාත්
කිරීම) ඒ අචල - ආකාරවතී) ශ්‍රද්ධාව ශ්‍රමණයකු විසින් හෝ, බ්‍රාහ්මණයකු විසින් හෝ
දෙවියකු, බ්‍රහ්මයකු, මරකු, අන් කිසිවකු විසින් හෝ ඉවතලිය නොහැක්කේ වෙයි, යන අර්ථය
වේ.
ඉන්පසු පැහැදිලි කිරීම තවත් ගාථා 7 කින් පූර්ව නිමිත්ත සූත්‍රයේ සඳහන් ව ඇත. එකී
ගාථා හා පූර්ව සටහන පිළිබඳ අටුවාවේ දක්වා ඇති පැහැදිලි කිරීම් කීපයක් මෙසේ ය.
මේ පෙර නිමිති පහළවීම මහා පින් ඇති මහේශාක්‍ය දෙවියන්ට ම පමණි. ඔවුන් අතර ද ඇතැම්
දෙවියන් දැන ගනිති. එහෙත් සියල්ලන්ට ම නොපෙනේ. තවද මද කුසලයකින් උපත් දෙවිවරු චුත ව
කොහි උපදී දැයි නොදනිමි කියා බිය වෙයි. මහත් දන් දී සිල් රැකීමෙන් මහත් පින් රැස්
කළ මහේ ශාක්‍ය දෙවිවරු චුත ව සුගතිය ම කැමැති ව බිය නොවෙයි. මොවුහු බොහෝ විට
සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් ය. ශ්‍රද්ධාදි ගුණ, විශේෂයෙන් දේව උත්පත්තියට ගියහ.
මිනිසත් බවට රුචි බව මෙසේ වදාළ බව අටුවාව දක්වයි “මනුස්සත්තං ඛො භික්ඛු දෙවානං
සුගතිගමන සංඛ්‍යානං”
පන්සාළිස් වසක් පුරා භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ “ධම්ම විනය” පිළිබඳ මෙසේ
පැහැදිලි කිරීමක් අටුවාවේ ඇත. අධිසීල, අධිචිත්ත අධි ප්‍රඥා සංඛ්‍යාත ත්‍රිවිධ
ශික්ෂාව මේ ශාසනයෙහි ධර්මය යි. ධර්මයෙන් ඉවත් නොවූ බැවින් ධර්ම ද, සිතට අනුරූප ව
හික්මීමට සුදුසු අයගේ හික්මවීම ඇති කරන හෙයින් විනය ද, ධර්ම විනයයි. උපනිශ්‍රය
සම්පත්තියෙන් එනම් රහත් වීමට හේතු සම්පත්තියෙන් හෝ ධර්මයෙන් හෝ ඉවත් නොවූ බැවින්
කෙලෙස් අඩු තැනැත්තා හික්මවයි යන අරුතින් ධර්ම විනය වෙයි. ධර්මයෙන් හෝ විනයෙන් මිස
දඬුවලින්, ආයුධවලින් හික්මවීම නොවේ යන අරුතින් ද ධර්ම විනයයි. ධර්මයෙන් යුක්ත වූ
විනය ධර්ම විනයයි. නැතහොත් මාර්ගඵල සමඟ නිවන පිණිස ධර්මයෙන් ඇතිවෙන හික්මීම ධර්ම
විනයයි. මහා කරුණා සර්වඥ ඥානය ආදී ධර්මයෙන් සිදුවන විනය ධර්ම විනයයි. භාග්‍යවතුන්
වහන්සේ නිසැකව ම ධර්මය වෙති. ධර්මයෙන් ම වූයේ වෙති. ධර්මකාය වෙති. ධර්ම ස්වාමි
වෙති. ඒ ධර්මයේ විනය තර්කයෙන් ගත හැක්කක් නොවේ යන අර්ථයෙන් ද ධර්ම විනය යැයි කියනු
ලැබේ.
“විනයො නාමං සාසනස්ස ආයු” සම්බුද්ධ ශාසනයේ ආයු විනයයි. මේ විනය ධර්මය හා අභිධර්මය
ප්‍රමුඛ කොට පවතින්නකි.
තවද මනුලොව ශ්‍රද්ධා පටිලාභය මුල, මැද, අග සංඛ්‍යාත කෙවල පරිපුණ්ණ ස්වාක්ඛාත දහමින්
ම ලබන්නෙකි. ශ්‍රද්ධාවන්තයා වනාහී මේ ධර්ම විනයෙහි එන අනුශාසනා පරිදි පිළිපැදීමෙන්
ලෞකික වශයෙන් සුලද්ධලාභ හා අචල ස්ථිර ශ්‍රද්ධා ඇත්තා ලෝකෝත්තර වශයෙන් සුප්පතිට්ඨිත
නම් වූ සතරමඟ සතර ඵල කෙළවර අර්හත් බුද්ධත්වයට ද හිමිකම් ලාභියකු ලෙසට උරුමකම්
කියන්නකු බව ගාථා රත්නයන්හි දක්වා ඇත.
මේ අයුරෙන් මනුලොව අනෙකුත් සියලු ලෝකයන් අබිභවා සුගති ලෝකයක් ලෙස දේශනා කොට ඇත්තේ
ලෞකික ශ්‍රද්ධාවෙන් මෙලොව පරලොව සම්මත සියලු සැපයට හිමිකරුවකුවීමට හැකිවීමත්,
ලෝකෝත්තර අචල ශ්‍රද්ධා ඇති කර ගත්තා වූ පුද්ගලයාට සසර සයුරෙන් එතෙර ව නිවනට හිමිකම්
කීමට හැකි එකම සුගතිලෝකය මනුලොව නිසාත් ය.
“හික්මීම, සංවරය, විනය කෙළවර කොට ඇති නිවන සාක්ෂාත් කළ හැක්කේ මෙලොව ජීවත්ව සිටියදී
ම ය. මරණයෙන් පසු පරලොවක දී නොවේ.”
ඉතිවුත්තක පාලි - පුබ්බ නිමිත්ත
සූත්‍රය ඇසුරිනි. |