[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

නිර්වාණගාමී ප්‍රතිපදාවට සතර සම්‍යක් ප්‍රධානවල උපයෝගීතාව

නිර්වාණගාමී ප්‍රතිපදාවට සතර සම්‍යක් ප්‍රධානවල උපයෝගීතාව

නිර්වාණ ප්‍රතිපදාව සාක්ෂාත් කිරීම බෞද්ධ ජනතාවගේ එකම උතුම් අභිලාෂය වේ. ඒ සඳහා අනුගමනය කළ හැකි ප්‍රතිපදා කීපයක් ඇත. සතර සතිපට්ඨාන ඔස්සේ ද, ත්‍රිලක්ෂණය පදනම් කරගත් විදර්ශනා මාවත ද ජනපි‍්‍රය ඒකායන මාවත් වේ. මේ අතර ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ පෙන්වා වදාළ මධ්‍යම ප්‍රතිපදාව ආර්ය විමුක්තිය පිණිස ඉවහල් වන ඒකායන මාවත ලෙස ත්‍රිපිටක සාහිත්‍යයේ දී අපට හමුවේ.

නිවන යනු තෘෂ්ණාවෙන් බැඳීමෙන් වෙන් වූ විරාගී දහමකින් සමන්විත විමුක්තියකි. මෙය “නිරෝධ” හෙවත් දුක අවසන් කිරීමේ අවසන් ප්‍රතිඵලය වේ. අප කතා කරනවාට වඩා ධර්මාවබෝධය තුළින් ප්‍රත්‍යක්ෂ කරගත යුතු පිළිවෙතක් බව සිහිපත් කළ යුතු ය. ධර්මානුධර්ම පිළිවෙත් ඔස්සේ ගිහි පැවිදි සාධු ජනයා වීර්යයෙන් පසක් කළ යුතු නිවන හේතු ප්‍රත්‍යවලින් තොර විරාගී සුවයක් බව මතක තබාගත යුතු ය.

“රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානං” යනුවෙන් පෙළ දහම තුළ විස්තර කරන නිවන සම්පූර්ණ අකුසල කෙලෙස් හෝ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමෙන් ලබා ගත යුතු තත්ත්වයක් බව පසක් කරගත යුතු ය. සංසාර දුක් නිවීම සංසාර ගමන නතර කිරීම සහ යළි සංසාරයට නොපැමිණීම යන කරුණු ත්‍රිත්වය මැනවින් පසක් කර ගැනීමෙන් නිවන පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. එකම දුක් සසර දුක වේ. එකම බර සංසාර ප්‍රවාහයේ ගමන් කිරීම වේ. සංසාරය සහ නිර්වාණය සාක්ෂාත් කර ගැනීමෙන් මෙම ද්විත්වයේ ඇති වෙනස වටහාගත හැකි ය.

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉගැන්වෙන එක සංකල්පයක් වනුයේ සම්මා වායාම ප්‍රතිපදාවයි. මෙය සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂා වේ. සමාධි කොටසට අයත් වේ. නිර්වාණගාමී ප්‍රතිපදාව ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙහිලා උපයෝගී කරගත හැකි සම්මා වායාම හෙවත් නිවැරැදි උත්සාහය තුළ විස්තර වන්නේ සතර සම්‍යක් ප්‍රධාන බව සිහිපත් කළ යුතු ය. මෙය සතර ප්‍රධන් වීර්යය ලෙස ද බුදුදහමේ ඉගැන්වේ. කුසල සහ අකුසලය වටා දිවෙන සතර සම්‍යක් ප්‍රධාන ඍජුව ම නිර්වාණගාමී ප්‍රතිපදාව ඉලක්ක කර පවතිනු ලැබේ. මේ පිළිබඳ විස්තර සංයුක්ත නිකායේ ධම්මචක්ක පවත්වන සූත්‍රයේ මෙන්ම මජ්ක්‍ධිම නිකායේ සච්ච විභංග සූත්‍රයෙන් ද දැනගත හැකි ය. අකුසලයෙන් වෙන්වී කුසල් වැඩීම සහ ස්වකීය චිත්ත සන්තානය පවිත්‍ර ව තබා ගැනීම මුල් බුදුසමයේ ඉගැන්වීමක්. සතර සම්‍යක් ප්‍රධාන අප පුරුදු කළ යුත්තේ ද එම සංකල්පය ජය ගැනීම පිණිස ය. මේ අනුව සතර සම්‍යක් ප්‍රධාන යනුවෙන් හඳුන්වන්නේ නූපන් අකුසල් නොඉපදවීමට වෑයම් කිරීම, උපන් අකුසල් ප්‍රහාණය සඳහා වෑයම් කිරීම, උපන් කුසල් දියුණු කිරීමට වෑයම් කිරීම, නූපන් කුසල් ඉපදවීමට වෑයම් කිරීම යනුවෙනි.

මේ අනුව අපට පෙනීයන ප්‍රධානම කරුණක් වන්නේ නිර්වාණගාමී ප්‍රතිපදාවට සෘජුවම දායක වන කුසල පක්ෂය වර්ධනය කිරීමේ මාවත මෙම සතර සම්‍යක් ප්‍රධාන තුළින් අවධාරණය කර ඇති බවකි. මෙය සමාධි ශික්ෂාවට අනුගත වූවකි. සතර සම්‍යයක් ප්‍රධාන වර්ධනය වීම තුළ අකුසල මෙන්ම පාපය ද ප්‍රහාණය වී කුසල පක්ෂය සෑම අතින් ම වැඩිදියුණු වේ.

දීඝ නිකායේ සාමඤ්ඤඵල සූත්‍රයේ සඳහන් අන්දමට ආර්ය සති සම්පජ්ඤ්ඤය හෙවත් කුසල පක්ෂයට බර වූ මනා සිහිබුද්ධිය පවත්වා ගෙන යාමටත් සම්මා වායාමය සමඟ බද්ධ වූ සතර සම්‍යක් ප්‍රධාන ඉවහල් වේ.

එපමණක් ද නොව ආර්යය මාවතේ විජයග්‍රහණයට ඉවහල් වන්නේ ප්‍රඥාවේ උපරිම දියුණුවයි. එය ද සාමඤ්ඤඵල සූත්‍රයේ සඳහන් වන්නේ ආර්ය ප්‍රඥාස්ඛන්ධය ලෙස ය. මේ අනුව සම්බුදු දහම විමර්ශනය කරන විට පෙනී යන්නේ ආර්යය අෂ්ටාංගික මාර්ගයේ සඳහන් සම්මා දිට්ඨි ආදී අංග එකිනෙක නිර්වාණගාමී ප්‍රතිපදාව ඉලක්ක කරගෙන සැකසී ඇති බවයි. සතර සම්‍යක් ප්‍රධාන ඇතුළත් සම්මා වායාම ද එසේ ම ය.

මජ්ක්‍ධිම නිකායේ මහා හත්ථිපදෝපම සූත්‍රය සහ මහා කම්ම විභංග සූත්‍රය ද විමසන විට මෙම කරුණ මැනවින් සනාථ වේ. මිනිස් සන්තානය හා මිනිසාගේ ක්‍රියාකාරීත්වය සිත, කය, වචන යන තුන්දොර ඔස්සේ ක්‍රියාකාරී වේ. කුසල අකුසල සම්පාදනයේ දී ප්‍රමුඛ වන්නේ මෙම දොරටු තුනයි. බුදු දහම එහිදී අකුසලය බැහැර කොට දෙලොව ජයගත හැකි දස කුසල සම්පාදනය තුළින් සාධු ජන සත්පුරුෂයකු බිහිවන ආකාරය ඉහත සූත්‍ර ඔස්සේ අවධාරණය කර ඇත.

කාය දුෂ්චරිත ලෙස බුදුදහම පෙන්වා දෙන්නේ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර යන තුනයි. වාග් දුශ්චරිත ලෙස මුසාවාද, පිසුනාවාච, ඵරුසාවාච සහ සම්පප්ප්‍රලාප ද අනුමත කොට ඇත. මනෝ දුෂ්චරිත ලෙස අභිධ්‍යා හෙවත් විෂම ලෝභයද ව්‍යාපාදය හෙවත් බද්ධ වෛරය සහ මිථ්‍යාදෘෂ්ටිය හඳුනාගෙන ඇත. මිථ්‍යාදෘෂ්ටිය හෙවත් වැරැදි දැකීම් දෘෂ්ටිවාද බහුල සමාජයක පහළ වූ ගෞතම බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය ලොවට පෙන්වා එමඟින් ප්‍රඥාලෝකය දරාගත හැකි මාවත දේශනා කළ සේක. සතර සම්‍යක් ප්‍රධාන අන්තර්ගත සම්මාවායාමය ද බුදු දහම පෙන්වා දෙන්නේ සංසාර දුක තරණය කර නිර්වාණගාමී ප්‍රතිපදාව පසක් කරගත හැකි ආර්ය මාවතේ එක් පියවරක් ලෙසට ය. එය සම්‍යක් සමාධිය ළං කර ගත හැකි ආර්ය මාවතේ එක් පියවරක් ලෙසටය. එය සම්‍යයක් සමාධිය ළංකර ගත හැකි ත්‍රිශික්ෂාවල පරිපූර්ණත්වය සපල කරන මාවත බව සඳහන් කළ යුතු ය.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]