නූපන් කුසල් උපදවා ගන්න
පියවරෙන් පියවර
ඉහළට එන්න
- කොබෙයිගනේ නාරද හිමි
සම්මා සම්බුදු රජාණන් වහන්සේ වදාළ සියලු ම ධර්මස්කන්ධයන් අයත් වන්නේ සත්තිෂ්
බෝධිපාක්ෂික ධර්මයන්ට යි. ඒ ගම්භීර වූ ධර්මය තුළ ගැබ්ව ඇති සතර සම්‍යක් ප්‍රධාන
වීර්ය තුළ සඳහන් ව ඇති නූපන් කුසල් උපදවා ගැනීමට ශ්‍රාවකයා අනුගමනය කළ යුත්තේ
කවරකාර වැඩපිළිවෙළක් ද යන්න පිළිබඳ කොබෙයිගනේ නාරද ස්වාමින් වහන්සේ සමඟ කළ
සාකච්ඡාවකි.
ස්වාමින් වහන්ස, සම්බුදු දහමේ විස්තර කෙරෙන කුසලය හා අකුසලය පහදා දෙන්න.
අලෝභ, අදෝෂ, අමෝහ කියන චේතනා උපදවා ගැනීම කුසල චේතනා ලෙසත්, ලෝභ, ද්වේෂ, මෝහ අකුසල
චේතනා ලෙසත් හඳුන්වන්නට පුළුවන්. පන්සිල් පද පහ රැකීම කුසල චේතනාවට අයත්. ඒ තුළින්
තමන් සිත යම් ආකාරයකට වක්‍රාකාර ව දමනය කිරීමට උත්සාහයක් ගෙන තිබෙනවා. සීලය තුළින්
කය, වචනය සංවර වෙනවා. එවිට අකුසල චේතනා යටපත් වී කුසල චේතනා ඉපදවීමක් වෙනවා.
පන්සිල් රකින ඔබ ඊටපසුව උත්සාහ කරන්න ඕන ද උපෝසථ සීලය රැකීමට යි. උපෝසථ සීලය රකින
ඔබට පුලුවන්. ඉන්පසුව දසසිල් රකින්නට. එය නූපන් කුසල් උපදවා ගැනීමට ගන්නා වෑයමක්.
මේ සියල්ල කුසලයක් මත පිහිටා කළ යුතු වෙනවා. මුහුදක් අසලට යන කෙනාට මුලින්ම හමු
වන්නේ වෙරළයි. ඒ වගේ මේ කුසල් දහම් දියුණු කර ගන්නට කැමැති ශ්‍රාවකයා මුලින් ම
පියවර තැබිය යුත්තේ සීලය දෙසට යි.
නිර්වාණගාමී මාර්ගයට සීලය උපකාරී වන්නේ කොහොමද?
බුදුරජාණන් වහන්සේ වදාළා සීලය කියන්නේ නිවන් මාර්ගයට චරණ ධර්මයක් කියලා. චරණ ධර්ම
දියුණු කිරීමත් නූපන් කුසලය ඉපදවීමක්. දන් දීමේ දී ත්, භාවනා කිරීමේ දී ත්, එදිනෙදා
ජීවිතය ගත කිරීමේ දී ත් සීලය තුළින් ආත්ම දමනයක් ඇති වෙනවා. සෑම දෙයකට ම සීලය මුල්
වෙනවා. අප ජීවත්වන මේ මිනිස් ලෝකය වගේම තිරිසන් ලෝකයේත් දකින්නට ලැබෙන පොදු කරුණු
තිබෙනවා. ඒ ආහාර, වාසස්ථාන, සැපය ආදි දේ. එහෙත් මනුස්ස ලෝකයේ දී ඒ දේ තවත් සංකීර්ණ
වෙනවා. ප්‍රසිද්ධිය, බලය, අනෙකා අබිභවා යාම, ජීවත්වන වටපිටාව, අඳින පළඳින දේ ආදී මේ
මනුස්ස ජීවිතයේ දකින්නට තිබෙනවා. කුසල් හා අකුසල් මිනිසුන් තුළ තිබෙන පොදු දෙයක්.
අකුසලයෙන් බේරීමට නම් අප සිත රැක ගැනීමට මුල් තැන දිය යුතු වෙනවා. එය තම තමන්
පෞද්ගලික ව කළ යුතු වෙනවා.
සිත රැක ගැනීමේ ක්‍රමවේද ධර්මයට අනුව පැහැදිලි කර දෙන්න?
තමා ගත කරන සහ ගත කළ ජීවිතය පිරිසුදුව තිබෙනවා ද කියලා තමාට ම යි නිගමනයකට එන්න
පුළුවන්. සිත රැක ගැනීමට සීලය මහත් උපකාරයක් වෙනවා. සීලය පිරිසුදු කර ගැනීමට
පටන්ගත් වීර්යය අත්‍යවශ්‍ය යි. ධර්ම ශ්‍රවණය කර ඒ ධර්මය තුළින් කුසල කර්මවල වටිනාකම
දැනගෙන ඒ කුසලකර්ම සිදු කිරීමේ විපාක ලෙස මට සැපය ලැබෙනවා කියා විශ්වාස කරනවා. ඒ
තුළින් තමා ඔබට ආරද්ධ විර්යය ඇති වෙන්නේ.
ඒ වගේම කුමන හෝ භාවනාවක් තුළින් සමාධියක් දියුණු කර ගන්නට පුළුවන් නම් ඒ ජීවිතය ගැන
සතුටු වෙන්න පුළුවන්. තමා ඉපදෙන විට ලැබුණු ඇස, කන, නාසය, දිව, කය, මනස ගැනත්, ඒවාට
බැඳීයාම ගැනත් මේ ඉන්ද්‍රියයන් නිසා සිත කිලුටුවන බවත් සිහියෙන් යුතු ව මෙනෙහි
කරමින් ඒ පිළිබඳ ව මනා දැක්මක් තමන් තුළ ගොඩනඟා ගත යුතු වෙනවා.
සිත රැක ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය මුල් කර ගෙන සීලයක පිහිටා, භාවනාව
තුළින් සමාධියක් උපදවා ගත යුතු වෙනවා. සමාධියක් තිබෙනවා නම් ඒක කුසලයක්. ඒ කුසලය
පවත්වා ගෙන යාම, සිහි මුළා නොවීම, සිත විපුල බවට පත්කර ගැනීම පිණිස භාවනාව ඉවහල්
වෙනවා. භාවනාව වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය වන්නේ ආරද්ධ විරිය යි. ශ්‍රාවකයා තුළ
උපදවාගත් යම් සීලයක් තිබේ ද, සමාධියක් තිබේ ද? ප්‍රඥාවක් තිබේ ද එය තවදුරටත් වර්ධනය
කරමින්, ස්ථාවර කරගෙන වැඩිදියුණු කර ගැනීම පිණිසයි සම්බුදු සසුනක් තිබෙන්නේ.
ස්වාමීන් වහන්ස, මේ සියලු කරුණු සිදුකර ගැනීමට අප තුළ නැති කුසලධර්ම උපදවාගත
යුතුයි. එය මුලින් ම පටන්ගත යුත්තේ කොතැනින් ද?
නූපන් කුසල් උපදවා ගැනීමට මුලින් ම ඔබ කළ යුත්තේ තෙරුවන කෙරෙහි සිත පහදවා ගෙන
සිල්වත් වීමයි. තමා සමාදන් වූ සීලයේ තිබෙන දොස් මොනවාද කියා නිතර නිතර ආවර්ජනා
කිරීම තුළින් මෙතෙක් උපදවා ගන්නට නොහැකි වූ කුසල් උපදවා ගන්නට පුළුවන්කම ලැබෙනවා.
ඔබ දිනපතා පංචසීලය සමාදන් වෙනවා. දිනය අවසන දී ඒ සීලයේ දොස් ඇද්දැයි ඔබ ම විමසා
බලන්න. පලුදු වූ සිල්පද නැවත නැවත සමාදන් වීමෙන්, රැක, ගැනීමට මහන්සි නූපන් කුසල
උපදවා ගන්න කරන වීර්යයක්.
අප දන්නවා බොහෝ අයට පටන්ගත් වීර්යයක් තිබෙනවා. නමුත් ඒ වීර්යය පවත්වා ගෙන යාමට
වීර්යයක් නැහැ. මේ සසරින් නිදහස්වීමට සිතාගෙන රාග, ද්වේෂ, මෝහ දුරුකරන්න සිතා
ශ්‍රද්ධාවක් ඇතිකර ගත්තා නම්, යම් සීලයක් සමාදන් වූවා නම්, යම් සමාධියක් දියුණුූ කර
ගත්තා නම් ඒ සිල, සමාධි, ප්‍රඥා පරිපූර්ණ කර ගන්නා තෙක් මාර්ග වීර්ය අත්හරින්නේ
නැහැ කියලා අධිෂ්ඨානය නැවත නැවත ඇති කර ගන්නට ඕනෑ. එවිට අපට පුලුවන්කම ලැබෙනවා.
දිනෙන් දින ඉපදෙන කුසල් වැඩි දියුණු කර ගන්නට.
දිනක් අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාළා මහ පොළොවේ ඇවිදින සතුන්ගේ විශාලතම පියවර
සටහන් තිබෙන්නේ ඇතාට. මේ විශාලතම පියවර සටහන ඇතුළට අනෙක් සියලු සතුන්ගේ පාද සටහන්
දමන්නට පුලුවන්. ඒ වගේ මේ ලෝකයේ යම්තාක් කුසල ධර්ම තිබෙනවා නම් ඒ සියල්ලම චතුරාර්ය
සත්‍ය ධර්මය තුළට දමන්නට පුලුවන් බව. උපන් කුසල ධර්මයන් වැඩිදියුණු කර ගැනීමට කියා
අප මේ ඉගෙන ගන්නේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය යි.
ස්වාමින් වහන්ස, නූපන් කුසල් උපදවා ගැනීමට ශ්‍රද්ධාව උපකාරී වෙනවා නේද?
ඔව්, මේ සඳහා තෙරුවන් කෙරෙහි නො සෙල්වෙන ශ්‍රද්ධාව අවශ්‍ය ම යි. ඒවගේ ම ධර්මය
නුවණින් මෙනෙහි කිරීමත්, පංච උපාධානස්කන්ධය, පටිච්චසමුප්පාදය, ආයතන, ධාතුන් ආදි
ඉගෙනගෙන නුවණින් විමසීමත් නූපන් කුසල් උපදවා ගැනීමට පිටිවහලක් වෙනවා.
ඔබගේ ජීවිතයේ සිල්පද දෙකක් රකිනවා කියා සිතන්න. ඔබ මේ ධර්මය තේරුම් ගෙන අද සිට මම
සිල්පද දෙක වෙනුවට තුනක් රකිනවා කියා සිතුවොත් එයත් ශ්‍රද්ධාව මත පිහිටා නූපන්
කුසලයක් මතුකර ගැනීමක්. මේ සඳහා ශ්‍රද්ධාව වගේ ම සිහියත් අවශ්‍ය වෙනවා.
මෙසේ අප ඔබට කියා දුන් හැම කරුණකින් ම ප්‍රකට වෙන්නේ තමා තුළ උපදවාගත යුතු වීර්යය,
උත්සාහය ගැනයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් කියැවෙන්නේ තමා ගැනයි. ධර්මය
තමාගේ ජීවිතයට ගළපා ගැනීමයි කළ යුතු වන්නේ. නූපන් කුසල් ඉපදවීමට ගන්නා වීර්යය හරියට
පඩිපෙලක් වගේයි. පඩියෙන් පඩිය ඉහළට ගැනීම ඔබ සතු කාර්යයක්.
නයනා නිල්මිණී |