[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ජීවිතය වැරදුණත් ධර්මශ්‍රවණය අතහරින්න එපා

ජීවිතය වැරදුණත් ධර්මශ්‍රවණය අතහරින්න එපා


පින්වතුනි,

බුදුරජාණන් වහන්සේ තමයි අපේ ජීවිතය ගැන ගැඹුරින් ම අපට කියලා දුන්නේ. අපේ ජීවිතය මෙහෙයවන බලවේගය තමයි කර්මය කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මිහිපිට උපන් මිනිසා නිතරම මේ දෙය මෙනෙහි කරන්නට ඕනෑ. කුමක්ද?

කාන්තාවක් වේවා, පිරිමියෙක් වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, නිතරම මේ කරුණ මෙනෙහි කරන්න ඕනෑ. මම කර්මය උරුමය කරගෙන, කර්මය දායාද කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කර්මය උත්පත්ති ස්ථානය කරගෙනයි ජීවත් වන්නේ. මාගේ උපත, පැවැත්ම, මරණය, නැවත ඉපදීම, සැපත, දුක, ලෙඩ රෝග ඇති නැති බව, සැප සම්පත් ඇති නැති බව මේ සමස්තය පිණිස සෘජුව ම බලපාන්නේ ම’ විසින් සිදු කළ කර්මය යි යන කාරණය, නිතර නිතර ගිහි පැවිදි උභය පාර්ශ්වය ම මෙනෙහි කළ යුතුයි කියලා ධර්මරාජ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කුමක් නිසාද එලෙස දේශනා කළේ? එලෙස මෙනෙහි කරන පුද්ගලයා නිතර ම කල්පනා කරනවා කර්මය උරුමය නම්, මෙබඳු කර්මයක් මා කළේ නම්, ඒ කර්මයට විපාකයක් මා කරා එනවා නම්, කිසිම මොහොතක දුක් ලැබෙන දේ ම’ විසින් නොකළ යුතු යි, සැපත පිණිස හේතුවන දේ කරන්නට මා දක්ෂ විය යුතුයි යන වැටහීම, අවබෝධය සහ වුවමනාව ශ්‍රාවකයාගේ හදවතේ ඇතිවෙනවා. ඔය කියන කරුණමයි පින්වතුනි පුද්ගලයෙක් සම්මා දිට්ඨිය වෙත පමුණුවන්නේ.

හොඳ දේ කළොත් යහපතයි. නරක දේ කළොත් අයහපතයි යන බව ආදරණීය ඔබ බොහෝ කලකට පෙර පිළි අරගෙන, වටහාගෙන තිබෙනවා. ඒ කියන්නේ ඔබ සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඔබ යම් පමණකින් හෝ කුසලය හඳුනනවා. අකුසලය හඳුනනවා. ඔබ කුසලයට කැමැතියි. අකුසලයට අකැමැතියි. මේ ජීවිතයේ කෙරෙන අකුසල් නැතිවා ම නොවෙයි. පව්කම් කෙරෙනවා ඇති. නැතිවාම නොවෙයි. හැබැයි පින්වතුනි කෙදිනක හෝ ඒ අකුසලය අතහැරලා, කුසලය උපදවා ගන්නට උපකාර වන්නේ මේ උතුම් මඟ පෙන්වීමයි. ඒ නිසා ජීවිතයේ මොනතරම් වැරැදි තිබුණත්, මොනතරම් අඩුපාඩු තිබුණත්, පංචශීලය ම බිඳී යන බව තමන්ට තේරුණත් බණමඩුවට පිටුපාන්න එපා. බණ අහන එක නතර කරන්න එපා. ජීවිතයේ මොනතරම් අත් වැරැදි සිදු වුණත් කවදා හෝ දවසක ඒ වරදින් අතමිදෙන්න පාර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය විතරයි. ඒ නිසා මොන තරම් වැරැදි තිබුණත්, මොනතරම් බාධා පැමිණියත්, ජීවිතය මොනතරම් අසහනකාරී වුණත් මේ ධර්ම ශ්‍රවණය අත හරින්න එපා. මේ ජීවිතය අවසන් වන තුරු, කන් දෙක ඇසෙනතුරු පාරිශුද්ධ ධර්මය ශ්‍රවණය කරන්න, ඒ ධර්මය අහන්න, අහන්න පින්වතුනි ඔබගේ සිත නිවෙනවා, අවබෝධය, වැටහීම ලැබෙනවා. හැම බණ කතාවක ම කියා දෙන සියලු කරුණු නොවෙන්න පුළුවන්. එහෙත් කරුණක්, දෙකක් හෝ ඔබගේ සිතේ නතර වෙනවා.

ඒ කාරණය ඔබ හිතන්න පුරුදු වෙනවා. එතැනින් තමයි පින්වතුනි ඔබ කවදා හෝ සියලු වැරැදි, අකුසල, පාප ධර්ම අතහැරලා සංසිඳී, පිරිපුන් පිරිසුදු හදවතක් ඇති අයෙක් බවට පත්වන්නේ. එය දවසකින් දෙකකින් සිදු වෙනවා නොවෙයි. මේ ධර්ම මාර්ගයේ අපි රැඳී සිටින්නට ඕනෑ. නිරන්තරයෙන් ශ්‍රද්ධාවෙන්, සත්පුරුෂකමින්, ගුණ ගෞරවයෙන් මේ ධර්මය අසමින්, මෙනෙහි කරමින් කල් ගෙවන්නට ඕනෑ.

දවසක් ඇතුළත කෙසේ හෝ බණ කතාවක් දෙකක් අහන්න කියවන්න ඕනෑ. උදේ අවදි වී නින්දට යන්නට පෙර අඩුම තරමින් මිනිත්තු හතළිස් පහක් වත් පිරිසුදු දහම් කතාවක් අහන්න ඕනෑ. ආවට ගියාට නොවෙයි. උසුළු විසුළු නොවෙයි. එසේ කියන්නේ ඇයි? නිතර නිතර බණ අහනකොට පින්වතුනි අපේ සිත සංසුන් වෙනවා. ටික ටික දමනය වෙනවා. වැරැදි පුරුදු අදහස් ටික ටික අතහැරෙනවා. ලෝකයේ වෙන කිසිම උදව්වක් නෑ මේ හිත පිරිසුදු කර ගන්න. මේ උතුම් ශ්‍රී සද්ධර්මය නැමැති අමාවතුර හැර. ඒ සිහිල් දහමින් අපේ හදවත දෝවනය කරන්න ඕනෑ. ඒ ක්‍රමයෙන් තමයි නිවන් දුටු සියලු රහතන් වහන්සේ, රහත් උත්තමාවියෝ ඒ පරම පාරිශුද්ධිය වෙත පැමිණියේ. දීර්ඝ කාලයක් උන්වහන්සේ පාරමි පිරුවා. මොකක්ද මේ පාරමී පිරීම කියන්නේ දානය, ශීලය, නෛශ්ක්‍රම්‍ය, වීර්යය, ප්‍රඥාව, ක්ෂාන්තිය, මෛත්‍රිය, අධිෂ්ඨානය, සත්පුරුෂකම ඇතුළු මේ ගුණ ධර්ම උපරිම තැනට දියුණු කරනවා. එසේ උපරිම තැනට දියුණු කරනවිට ශ්‍රද්ධාව, කුසල වීර්යය, සතිය, සමාධිය, ප්‍රඥාව දියුණු වෙනවා. ඊළඟට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානු පස්සනා, ධම්මානුපස්සනා කියන සතිපට්ඨාන සතර වඩනවා. වැඩෙනවා.

ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීර්යය, ඒ කියන්නේ නූපන් අකුසල් නූපදවා සිටීමේ වීර්යය, උපන් අකුසල් දුරු කිරීමේ වීර්යය, නූපන් කුසල් උපදවාලීමේ වීර්යය සහ උපන් කුසල් දියුණුවට පමුණුවා ගැනීමේ වීර්යය කියන මේ ආකාර හතරෙන් වීර්යය දියුණු කරනවා.

ඊළඟට කුසල ඡන්දය, කුසල චිත්තය සහ ප්‍රඥාව කියන වීර්යය, ඡන්ද, චිත්ත, වීර්යය, විමංශා වශයෙන් සංසාර ගමනේ දියුණුූ කරනවා.

ඊළඟට බොජ්ඣංග ධර්ම දියුණු කරනවා. ඊළඟට සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගාංග අට දියුණු කරනවා.

ඒ උදෙසා නිතර ම සත්පුුරුෂ සෙවණට පැමිණෙනවා. සත්පුරුෂයා ඇසුරු කරන්න, කරන්න සද්ධර්මය ඇහෙනවා. ඇසෙන්න, ඇසෙන්න යෝනිසෝ මනසිකාරය උපදිනවා. එසේ උපදිනවිට පෙරකී බෝධිපාක්ෂික ධර්ම නමැති අනුධර්ම ප්‍රතිපදාවේ හික්මෙනවා. ඒ කියන්නේ පාරමී ධර්ම සම්පාදනය කරනවා. ඔය විදිහට කියන ලද කාලයක් පුරාවට මේ ධර්මතා දියුණු කරලා කාලයක් යන විට මේ හිත කෙලෙස් දුරු කරන තැනට උසස් වෙනවා. දුසිරිත් මැඩ පවත්වමින් කුසලය දියුණු වෙනවා. එහෙම දියුණුවට පත්වෙන කාලයක බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ශ්‍රවණය කළා ම ඒ පුද්ගලයා මඟ පල නිවන් ලබනවා. චතුරාර්ය සත්‍යය අවබෝධ කරනවා.

ඒ වන තුරුම ආදරණීය ඔබ මේ ධර්ම මාර්ගයේ රැඳී ඉන්න ඕනෑ. රැකිලා ඉන්න ඕනෑ. ඒකට ගිහි පැවිදි අපි හැමෝම දක්ෂ වෙන්න ඕනෑ. පින්වතුනි, ලෝකයේ අමා නිවන් සුව පිණිස වෙන කිසිදු මාර්ගයක් නෑ.

අපි හැමෝ ම සැපතට කැමැතියි. සැපතේ වර්ග දෙකක් තිබෙනවා. ගිහි සැපත, පැවිදි සැපත. ඊළඟට සාමිස සැපත, නිරාමිස සැපත. තවත් වර්ග තිබෙනවා. ගිහි සැපත කියන්නේ සිල් බිඳ ගන්නේ නැතිව ඒ කියන්නේ පංච ශීලය උල්ලංඝණය නොකර ලබන සතුට. බව භෝග සම්පත් උපයාගෙන, ගේ දොර හදාගෙන, අඹු දරුවන් පෝෂණය කරගෙන ලබන සතුට.

ඒ සියල්ල අතහැර, කසාවත් දරාගෙන, බඹසර සිල් රකිමින් යම් පුද්ගලයෙක් ශීල, සමාධි, ප්‍රඥා ගුණ දියුණු කරනවා නම්, ඒ පැවිද්දා දියුණු කරමින් යන ගුණ ධර්ම පරම්පරාව තුළ ලබන සතුටට කියනවා පැවිදි සැපත කියලා. මෙයින් උසස් ම සැපත පැවිදි සැපත. හැබැයි එය උසස් සැපතක් කර ගන්නට පැවිද්දා දක්ෂ වෙන්න ඕනෑ. අවශ්‍යයෙන් ම බඹසර සිල් රකින්න ඕනෑ. ධර්ම විනය ඉගෙන ගන්න ඕනෑ. යටත් පිරිසෙන් සමථ විදර්ශනා භාවනාවේ දිනකට ටික වේලාවක් හෝ යෙදෙන්න ඕනෑ.

ගිහි ගෙදර ඉන්න කෙනා වුණත් ඔහු දක්ෂ වෙන්න ඕනෑ ගිහි වත පුරන්නට. ගිහියෙක් ධර්මානුකූල ව හම්බකර ගත් දෙයින් අම්ම, තාත්ත, ස්වාමියා, භාර්යාව, දරුවන් සහ තමන්ගේ අසල්වාසීන්, ඥාති හිතවතුත් සතුටු කරන අතර උපයාගත් දෙයින් දන් හැන්දක් පූජා කරගන්න ඕනෑ. මාසෙකට දින හතරක් වත් බඹසර සිල් රකින්න ඕනෑ. පුළුවන් විදිහට සංඝයා වහන්සේට සිව් පසයෙන් උපස්ථාන කරන්න ඕනෑ. ලැබෙන සෑම මොහොතක ම පිනෙන් සිත පුරවා ගන්න ඕනෑ. මෛත්‍රීයෙන් සිත පුරවා ගන්න, කරුණාව, ඉවසීම පුරුදු කරන්න ඕනෑ. මේ වත පිරීමට කියනවා ගිහි වත පිරීම කියලා.

මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ලෙස අපේ කය වචනය සංවිධානය කර ගතහොත්, කය වචනය සිත හික්මවා ගතහොත් ඒ මඟින් අපට මෙලොව සහනය ලැබෙනවා. පරලොව සැපතත් නොවරදවා ම ලැබෙනවා. නිවන් සැපතන් ලැබෙනවා.

ඒ නිසා මෙලොව සැනසීමයි, පරලොව සුගතියයි, මෙලොව දී හෝ පරලොව දී හෝ චතුරාර්ය සත්‍යය අවබෝධය කියන කරුණු කාරණා ඉටු කර දෙන්නේ සම්මා සම්බුද්ධ ශාසනය තුළයි. මේ නිසා ගිහි පැවිදි දෙපිරිස ම දිවි හිමියෙන් මේ උත්තම ප්‍රතිපදාවේ යෙදෙන්නට ඕනෑ.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]