[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

  නොබිඳෙන නොසැලෙන පින්කමක අරුත

 නොබිඳෙන නොසැලෙන පින්කමක අරුත

වාර්ෂික ව විහාරස්ථානයක එක් වරක් පමණක් පැවැත්විය හැකි පූජාව කඨින චීවර පූජාවයි. වස් කාල සීමාවේ කූටප්‍රාප්තිය ලෙස සැලකෙන කඨින චීවර පූජාව සෑම බෞද්ධයකු විසින් ම ඉමහත් බැතියෙන් හා ගෞරවයෙන් සිදු කරනු ලබන සුවිශේෂි පින්කමකි. ‘කඨින’ යන වචනයේ තේරුම තද, ශක්තිමත් යන්න යි.

මහපොළොව මෙන් කම්පා නොවන, මහාමේරුව මෙන් සුළඟට නොසෙල්වෙන, වජ්‍ර පර්වතයක් මෙන් බිඳීය නොහැකි, ඉතා ශක්තිමත් වූ පින්කම ‘කඨිනය’ නම් වන බව ‘පඨවිරිව න ජාතු කම්පනේ - න චලති මේරුරිවාතිවායුනා’ යනුවෙන්

නාගිතාපදානයේ සඳහන් ගාථා පාඨයෙන් කියැවෙයි.

කඨින පින්කම යනු අටමහා කුසල්වලින් එකකි. ගරුක කුසල කර්මයකි. එය ඕනෑ ම භවයක යහපත් විපාක ලබා දිය හැකි පින්කමකි. දුගතිගාමී නොවීමට ද හේතු වේ. එම නිසා චූල සෝතාපත්ති ඵලයට පැමිණීම හා සමාන ය. එනම් සසර බැඳ තබන දස සංයෝජන අතුරින් සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන සංයෝජන ධර්ම තුන තණ්හා, මාන සහ දිට්ඨි ලෙස ගැනීම වැරැදි යැයි වැටහීම යි. ඒ නිසා සසරෙහි විඳීන්නට තිබෙන දුක් ප්‍රමාණය ද අඩු වේ. සතර අපායෙහි ද නොවැටේ. ඒ නිසා ම සක්විති රජකමටත් වඩා, දිව්‍ය - බ්‍රහ්ම ලෝකවල උප්පත්තියටත් වඩා ශ්‍රේෂ්ඨ ඵල ලබා ගත හැකි පින්කමක් ලෙස කඨින චීවර පූජාව සැලකේ. එවන් වැදගත් මහානිසංස ලබා ගත හැකි පින්කමකි.

සම්බුද්ධ දේශනාව තුළ සඳහන් වන පූජා අතර තෙවරක් ම පූජා සිදු කරන පින්කම ද වන්නේ මෙය යි. දායකයන් විසින් වස්ත්‍රයක් වශයෙන් පළමුවත්, චීවරයක් වශයෙන් පොදුවේ මහසඟරුවනටත්, මහා සංඝයා විසින් විනය කර්ම වාක්‍යයක් මඟින් එක් භික්ෂුවකටත් මෙම චීවරය පූජා කෙරේ. මෙයින් දායකයා තුළ ගොඩනැඟෙනුයේ මහා කුසල සම්භාරයකි.

කඨින චීවරයක් පිළිගත් භික්ෂූන් වහන්සේ නමකට ලැබෙන ප්‍රතිඵලය මෙන් ම, එය පූජා කළ පින්වතුන්ට ද ආනිසංස විශාල ප්‍රමාණයක් හිමි වේ. අහස උසට සිවුරු පූජා කළත් ප්‍රමාණ කළ නොහැකි එක් කඨින චීවරයක් පමණක් පූජා කිරීමෙන් ලැබෙන ආනිසංස පිළිබඳ ව නාගිත නම් රහතන් වහන්සේ බුදුහිමියන් ප්‍රමුඛ රහතන් වහන්සේ පන්සිය නමක් ඉදිරියේ පෙර ආත්මයක තමන් කළ කඨින පූජාමය පින්කමක ප්‍රතිඵල ලෙස ලැබූ ආනිසංස පිළිබඳ ව කර ඇති ප්‍රකාශනයෙන් පැහැදිලි වේ.

“ගිරිරාජ සමං රාසිං
සංඝේ දේති තිචීවරං
ඒකස්ස කඨින දානස්ස
කලං නාග්ඝති සෝළසිං”

තව ද මනුෂ්‍ය සම්පත්, පරිවාර සම්පත්, ආහාර -පාන, වස්ත්‍රාභරණ මෙන් ම සියලු දෙනාගේ ගරු- බුහුමන් හා පූජා සත්කාර ආදිය ද හිමි වේ. සියලු දෙසින් පැමිණෙන උපද්‍රවයන්ගෙන් ද ආරක්ෂා වේ. කොතැනක උප්පතිය ලැබුව ද ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් හා ප්‍රඥාවෙන් ආඪ්‍ය වූ ජීවිත ම ලබයි.

වස් සමාදානය හා කඨින චීවර පූජාව සමාජ සම්මුතියට අනුගත ව ජනමතය පිළිගැනීම හේතු කොට ගෙන ආරම්භ වූවකි. වැරැදි දෙය නොපිළිගැනීමත්, නිවැරැදි දෙය අනුගමනය කිරීමත් අද දක්වා බුදු දහම ජන සමාජයේ පිළිගැනීමට හේතු වූ සාධකයකි. එබැවින් ම උගත් නූගත් කාගේත් ප්‍රසාදයට ද පාත්‍ර වී ඇත. සරල බව හා චාම් බව බුදහමෙන් අපට උගන්වන යහපත් ධර්මයකි. ඇඳුම් අතර චීවරය යනු ඉතා සරල චාම් වූ වස්ත්‍රයකි. එය පෙරවන රෙදිකඩකි. පැවිදි වූවකු පංශුකූල සිවුරු දිවි ඇති තෙක් ම දැරිය යුතු ය, යන්න ද බුද්ධාවවාදය යි. මැසි මදුරු ආදීන්ගෙන් වන පීඩාව වළක්වා ගැනීම එහි ප්‍රධාන පරමාර්ථය යි. නියමිත පරිදි කොටස් වශයෙන් කපා අමුණාගෙන තුන් සිවුරෙන් එක් සිවුරක් පූජා කිරීම කඨින චීවර පූජාවෙහි දී සිදු වෙයි. ඒ අනුව එම රෙදිකඩ සේ ම එය පූජා කිරීම ද ඉතා සරල චාම් චාරිත්‍රයක් පමණක් විය යුතු ය. මෙලෙස බුදු දහමේ ඉගැන්වෙන වැදගත් සාරධර්ම රාශියක් ප්‍රායෝගික ව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසෙන්නේ කඨින පින්කම් තුළිනි.

කඨින පින්කම අද බෞද්ධ සංස්කෘතියට එක් වූ ආගමික උත්සවයක් ලෙසින් පවත්වන නිසා ධර්ම ම ය පදනමෙන් ද දුරස්ථ වී ඇත. විශේෂයෙන් කඨින පෙරහර රත්නත්‍රය වෙනුවෙන් සිදු කෙරෙන අභිවාදනයක් විය යුතු ය යන සංකල්පය ද බැහැරව ඇති අයුරු සමහර අවස්ථාවන්හි දී පැහැදිලි ව දත හැකි ය. එ නිසා ම අනවශ්‍ය වියදම් දරමින් වර්තමානයේ සිදු කෙරෙන කඨින පින්කම් ගෞරව බහුමානයෙන් හා බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිදු කරන බවක් ද නොපෙනේ.

මැදියම් රැයේ ආරම්භ වන ඇතැම් කඨින චීවරය රැගත් පෙරහර වේග රිද්ම ගී හෝ බයිලා හෝ වෙනුවෙන් සැපයෙන සංගීතය පෙරහර ආරම්භයේ සිට ම අවසානය තෙක් පැවැත්වීම ඊට ප්‍රධාන හේතුවයි. සැදැහැතියන්ගේ සිත් ශ්‍රද්ධානුසාරී ව සහ ධම්මානුසාරී ව පෙරහරේ ගමන් කරනු වෙනුවට ඇතැමකු නටමින් ගයමින් එහි ඇති අගය නසාලමින් ගමන් ගනු පෙනේ. ඒ අතර ඇතැමෙක් රතිඤ්ඤා වැනි දේ ද දල්වති. ඇතැමෙක් මත්ද්‍රව්‍ය පානය කොට කෑ ගසමින් එසේ නැති නම් ‘හූ’ කියමින් නටමින් කඨින චීවර පෙරහරේ උසස් බව හා ගෞරවයට හානි වන අයුරින් ක්‍රියා කරති. මෙකී අංග ඉවත් කොට කඨින චීවරයේ ගරුත්වය රැකෙන පරිදි එම පින්කම් සංවිධානය කිරීම කාලෝචිත කාර්ය භාරයක් බව අප කවුරුත් සිහියේ තබා ගත යුතු ය.

එමෙන් ම පන්ති භේද, කුල භේද සහ පක්ෂ භේදවලින් තොරව කඨින චීවරය සම්බන්ධ කටයුතු කිරීමේ දී හා අවශ්‍ය පූජා පැවැත්වීමේ දී නිවැරැදි පරිසරය සකසාලීමට ද අප සැමගේ වගකීමක් හා යුතුකමක් විය යුතුª ය. මුළු ගම ම වසරකට වරක් සිදු කෙරෙන පින්කමක් බවට පත් කර ගැනීමට ද සියලු දෙනා ම කටයුතු කළ යුතු ය. එය ගමෙහි සහජීවනය හා සමගිය වර්ධනය කර ගැනීමට ද මඟ පෑදෙන පින්කමක් කරගත යුතු ය.

එබැවින් නිවන පරමාර්ථ කොට ගෙන චරිතය හැඩගස්වා ගන්නා අප වසරකට වරක් පමණක් පැවැත්වෙන ගිහි පැවිදි දෙපිරිසට ම මහත්ඵල මහත් ආනිසංස ලැබෙන ප්‍රශස්ත පුණ්‍ය කර්මය ලෙසින් කඨින චීවර පූජාව ආදර්ශ ව සිදු කිරීම ට අප කාගේත් වගකීම බව අවධානයෙන් සිහි කරගත යුතු ය.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]