[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සියවස් ගණනක ඉතිහාසය සැඟවුණු මනරම්‍ය පුදබිම මැදිලිය ටැම්පිට විහාරය

සියවස් ගණනක ඉතිහාසය සැඟවුණු මනරම්‍ය පුදබිම මැදිලිය ටැම්පිට විහාරය

කෑගල්ල දිස්ත්‍රික්කයේ හෙම්මාතගම මාර්ගයේ ගමන් කොට, හොරවෙලට පැමිණ එතැන් සිට කි.මී. දෙක හමාරක් පමණ ගමන් කිරීමෙන් මැදිලිය රජමහා විහාරයට ළඟා විය හැකි ය.

අරණායකත්, හෙම්මාතගමත් අතර කුඹුරු යායකට මුහුණලා පිහිටි මේ විහාරය ටැම්පිට විහාර ගණයට අයත් වේ. ගල් කණු සිටුවා, ඒ මත දැව දඬු දමා ඉන් අනතුරුව ලෑලි අතුරා ඒ උඩ බිත්ති බැඳ ඉදි කරනු ලබන විහාර මන්දිරය ‘ටැම්පිට විහාර’ ලෙස හඳුන්වයි.

මහනුවර යුගයේ මේ විහාර සම්ප්‍රදාය බිහි වීමට හේතු වී ඇත්තේ අටදාගෙය, හැටදාගෙය වැනි පිළිමගෙවල් සම්ප්‍රදායයන් බව විශ්වාස කෙරේ. ඒවායෙහි පැවැති ගන්ධ කුටිය, අන්තරාලය සහ මහල් ක්‍රමය ටැම්පිට විහාර ඉදිවීමට ද බලපා තිබේ.

ටැම්පිට විහාරවල ආකෘතිය බොහෝ දුරට උඩරට ප්‍රදේශයේ ගල් කණු මත ඉදිකරනු ලබන වී අටුවල ආකෘතියට සමාන ය. හාරිස්පත්තුවේ මැදවල ටැම්පිට විහාරය, කෑගල්ල අම්බුළුගල ටැම්පිට විහාරය, කුරුණෑගල දොරබාවිල ටැම්පිට විහාරය මෙයට තවත් නිදසුන් විහාර කිහිපයකි.

ටැම්පිට විහාරවල වහලය හෙවිලි කර ඇත්තේ පෙති උළු යොදා ගෙන ය. ටැම්පිට විහාර කලාත්මක අතින් ඉතා සුවිශේෂ වේ. ප්‍රතිසංස්කරණ නිසා ඇතැම් ටැම්පිට විහාර ටැම්පිට විහාර ලෙස හඳුනා ගත නො හැකි මට්ටමට පත් ව ඇත.

මැදිලිය ටැම්පිට විහාරය අඩි දෙකයි අඟල් භාගයක් පමණ උස ගල් කුළුණු විස්සක් මත ඉදිකර තිබේ. ගල්කණු මත අඟල් නවයේ නවයේ ලී රඳවා ඒ මත අඟල් හතරක් පළල දැව ලෑලි තට්ටුවක් අතුරා ඒ මත බිත්ති නංවා තිබේ.

ටැම්පිට විහාරයේ දිග අඩි විස්සකි; පළල අඩි දොළහකි. අභ්‍යන්තර ප්‍රතිමා ගෘහයේ දිග අඩි දොළහකි; පළල අඩි හතකි. වරිච්චි බිත්ති ඉදිකර ඒ මත හුණු ආලේප කොට, වහලය පැතිලි උළු යොදා සෙවිලි කර තිබේ. විහාරාභ්‍යන්තරයේ සමාධි ප්‍රතිමා වහන්සේ අඩි තුනහමාරක උසකින් හා අඩි දෙක හමාරක පළලකින් යුක්ත ය. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙපසින් සිටින භික්ෂූන් වහන්සේ වන්දනා කරන අයුරින් ද, තවත් පිරිසක් නෙළුම් මල් අතැති ව සිටින අයුරින් ද, චිත්‍රණය කර ඇත. පිළිමය සිරස්පතකින් යුක්ත ය. තව ද මහනුවර යුගයට ආවේණික රැළි සහිත සිවුරකින් ද, සමාධි ඉරියව්වෙන් වැඩ සිටින අයුරින් ද, ෂඩ් වර්ණ රශ්මි මාලා විහිදෙන අයුරින් ද ප්‍රතිමා වහන්සේ මූර්තිමත් කර ඇත.

සියවස් ගණනාවක් ඉක්ම ගියත් ප්‍රතිමා වහන්සේ මුල් ස්වරූපයෙන් ම ආරක්ෂා වී පවතියි. ප්‍රතිසංස්කරණවලට ලක්වුණු බවක් දක්නට නැත. සිත නිවන තරමේ අලංකාරයකින් මේ ප්‍රතිමාව නිමවා තිබේ. විහාරයේ බිත්තිවල සැරසිලි රටා විශාල ප්‍රමාණයකි. ඒවායේ වර්ණ අවැපැහැ ගැන්වීම දක්නට නොමැති තරම් හොඳීන් ආරක්ෂා වී තිබේ.

ටැම්පිට විහාරය පැරැණි ස්වරූපයෙන් ම ආරක්ෂා කිරීමට මෙම විහාරයේ වැඩ සිටිය සහ වැඩ සිටින භික්ෂූන් වහන්සේත්, දායක - දායිකාවන් ආදි පිරිසත් සැලකිල්ලක් යොමු කරන්නට ඇති බව සිතිය හැකි ය. විහාරය ඉතා කුඩාවට නිර්මාණය කර ඇතත් විහාරාභ්‍යන්තරයට පිවිසෙන කෙනකු

විස්මයටත්, මහත් ප්‍රීතියටත්, සැනසීමටත් පත්වන ආකාරයේ සැරසිලි රටා සමුදායකින් යුක්ත ය. මේ විහාරාභ්‍යන්තරයේ සිවිලිම දැවයෙන් නිර්මාණය කර ඇති අතර, ඒ දැව මත සිතුවම් දක්නට ඇත. ඒ අතර හංස රූපය ඉතා විශිෂ්ට අයුරින් චිත්‍රණය කර ඇත. එය මුල් ස්වරූපයෙන් ම පාහේ අදටත් දැකගත හැකි ය. මෙයට අමතරව සිවිලිම මත විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා යැයි විශ්වාස කළ හැකි චිත්‍රයකුත්, වෙනත් දෙවිවරුන් යැයි විශ්වාස කළ හැකි පරිවාර දෙවිවරුන් ද විශිෂ්ට ලෙස චිත්‍රණය කර ඇත. ඔවුන් පැළඳ සිටින ආභරණ අලංකාරවත් ව දක්වා තිබේ. පිරුණු ශරීරවලින් යුක්ත ය. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ චිත්‍රය ඇද ඇත්තේ ඇස් විවර කරගෙන පහළ සිටින අය දෙස බලා සිටින ආකාරයෙන් ය. දෙපස දෙවිවරුන් ඔහුට වන්දනා කරන අයුරින් හා ඔහු දෙස බලා සිටින අයුරින් සිතුවම් කර තිබේ. මෙයට අමතර ව විහාරයේ සිවිලිමෙහි සහ බිත්තිවල අවකාශ පිරවීමට නෙළුම් මල් මෝස්තර, අනෙකුත් ලියකම් විශාල ප්‍රමාණයක් වර්ණවත් ව ඇඳ ඇත. සැරපෙන්දියා හා වෙනත් සත්ව රූප ද දැක ගත හැකි ය.

ටැම්පිට විහාරය ඉදිරිපස මණ්ඩපයක් දක්නට ලැබේ. එය ඉදිකර ඇත්තේ පැමිණෙන පිරිසට රැඳී සිටීමට ය. අඩි දෙකක් පමණ උසට වේදිකාවක් අයුරින් සිමෙන්ති බිමට අතුරා සකස් කර ඇත. එම කොටස අව්වෙන්, වැස්සෙන් ආවරණය වන සේ ගල් හෝ ගඩොළුවලින් හෝ සකස් කළ කණු හතරක් සිටුවා ඒ මත වහලයක් ඉදිකර සිංහල උළුවලින් හෙවිලි කර තිබේ. මේ විහාර ගොඩනැඟිල්ල මහනුවර යුගයේ අවසාන භාගයට අයත් වන බව කියැවේ.

ටැම්පිට විහාරය හැරුණු කොට කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වාගෙන යන ඉපැරැණි දේවාලයක් ද දක්නට ලැබේ. ඉපැරැණි බෝධීන් වහන්සේ නමක් ද වැඩ සිටිති. සංඝාවාසයක් ද දක්නට ඇත. විහාරය පිහිටා ඇත්තේ ද කඳු පංතියක් දර්ශනය වන අලංකාර භූමියක ය. දේශීය විදේශීය සංචාරකයන්ගේ අවධානයට යොමු විය යුතු අලංකාර හුරුබුහුටි ටැම්පිට විහාරයක් ලෙස මැදිලිය ටැම්පිට විහාරය සැලකිය හැකි ය.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]