අරන්තලා පින්බිමේ මහසෑරදුන්ගේ
මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය අදයි
මීට වසර 38කට පෙර මහා ගණ වනයෙන් වැසී තිබූ අරන්තලාව මේ වන විට මිනිස් සිත් සතන්
නිවාලන දර්ශනීය පුණ්‍ය භුමියක් බවට පත් වී ඇත.
|

යෝජිත චෛත්‍යය ආකෘතිය |
මේ පින් බිමට ඇති එකම අඩුපාඩුව මකාලමින් අඩි 150ක් උසින් යුතු චෙත්‍යය රාජයාණන්
වහන්සේ නමක් ඉදිකිරීමට කටයුතු යොදා ඇත. එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය ඉල් පුන් පොහෝ
දා පෙ.ව. 09.11 ට යෙදෙන සුභ මොහොතින් දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු
කිරීමට නියමිත බව අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති, අම්පාර විද්‍යානන්ද
පරිවෙනාධ්‍යක්ෂ, උතුරු නැඟෙනහිර දෙපළාතේ සමත බල සම්පන්න අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති
කිරිඳිවෙල සෝමරතන නාමිහියෝ පවසති.
අරන්තලාව යනු එදා 1987 ජුනි මස 02 දා ලොවම බොදුදනන් කම්පාවට පත් කරමින් පූජ්‍ය
හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය 31 නමක් වර්ගවාදී කොටි
ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කළ භුමියකි. ඒ මහා ඛේදවාචකය පිළිබඳ ව පුනපුනා කිව යුතු
නැත. ඒ අතීත කථාව නොදන්නා කෙනෙක් මේ ලක් දෙරණ තුළ නැති තරම් ය.
අපවත් වූ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් යනු දකුණු ලක අග නගරයෙන් හෑගොඩ ගම්මානයේ ඉපිද
පැවිදි වී එදා අලි, කොටි වගවලසුන් ගහන මහා ගණ වනාන්තරයක් ව පැවති ගල්ඔය නිම්නයට
1950 දශකයේ දී වැඩමකරවා පසුකාලීන ව අම්පාර නගරයේ සාමණේර භික්ෂුන් වහන්සේ අට නමකින්
නැඟෙනහිර පළාතේ ප්‍රථම පිරිවෙන විද්‍යානන්ද මහා පිරිවෙන ආරම්භ කළ මහා පඬිරුවනකි.
එසේම ඒ කාලය තුළ ම ගල්ඔය නිම්නයේ ජනපද, ගම්නියම් ගම් පුරා දින ගණන් පයින් ඇවිද
යමින් වෙහෙර විහාර නොමැති ජනපද ගම්මාන හඳුනාගෙන ඒවායේ විහාරස්ථාන ඉදිකරවා ස්වාමින්
වහන්සේ වැඩ හිඳුවා ගල්ඔය නිම්නයේ, දිගාමඩුල්ල පුරවරයේ බෞද්ධ පුනුරුදය ඇති කිරීම
සඳහා සිය ජීවිතය කැප කළ යතිවරයාණන් වහන්සේ කෙනෙකි. උන්වහන්සේ එසේ ආරම්භ කළ
විහාරස්ථාන 50 කට අධික ය. එසේම උන්වහන්සේ 1983 දී උතුරු නැඟෙනහිර ආරම්භ වූ කොටි
ත්‍රස්ත්‍රවාදී යුද සමයේ ප්‍රහාරවලට ලක් වූ මායිම් ගම්මානවල සැරිසරමින්, ඔවුන්
දිරිමත් කරමින්, ඔවුන්ට ආරක්ෂාව සපයා දීමට ආරක්ෂක හමුදා කඳවුරු, මුරපොළ පිහිවුවීමට
බලධාරින් උනන්දු කරමින් බෞද්ධ උරුමය සුරැකීමට විශාල කැප කිරිම් කළහ.
උන්වහන්සේ බිහිකළ සඟ පරපුරේ වර්තමාන ප්‍රධාන නියමුවානන් වන්නේ පූජ්‍ය කිරිඳිවෙල
සෝමරතන නාහිමියන් ය. උන්වහන්සේගේ සංකල්පයක් අනුව එදා මහා කැලැවක් වූ අරන්තලාව, අද
දන මන පුබුදන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් මෙන් ම, දන් පැන් පිදෙන, බණ භාවනා
කරන, මහා පුණ්‍ය භූමියක් බවට පත් කර ඇත.

|

අරන්තලා පින් බිමේ බුද්ධ ප්‍රතිමා වහන්සේ |
ශාස්ත්‍රපති කිරිඳිවෙල සෝමරතන නාහිමියන් මේවන විට උන් වහන්සේගේ පැවිදි දිවියේ පනස්
වසර සම්පූර්ණ කර ඇත. උගත්කමින්, අත්දැකීමෙන්, පළපුරුද්දෙන් , හැකියාවෙන්
නිර්මාණශීලිත්වයෙන් හා කැපවීමෙන් සන්නද්ධ ය. නූතන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් වූ
අරන්තලාව දන මන පුබුදුන, සැදැහැ වඩවන පුණ්‍ය භූමියක් බවට පත් කරිමට සමත් වී ඇති
අයුරු එහි ගිය අපිට
දැකගත හැකි විය.
“පුණ්‍ය භූමියක් සම්පූර්ණ වීමට නම් චෙත්‍යයක් තිබිය යුතුයි. ඒ අවශ්‍යතාව තමා අපි මේ
ඉටුකරන්න යන්නේ. අප මේ අරන්තලාව පුදබිමක් බවට පත් කිරීමෙන් බලාපොරොත්තු
වන්නේ උගත්, ගුණවත්, සිල්වත් සඟ පරපුරක් ලෝකයට දායාද කිරීමටයි. ඒ වගේම මේ තුළින්
අපවත් වී වදාළ හෑගොඩ ඉන්ද්‍රසාර නාහිමියන් ඇතුළු 31 නමක් සහ ත්‍රස්තවාදීන් අතින්
අපවත් වු සියලුම සංඝයා වහන්සේ, රටදැය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් වගේම ජීවිත
පූජා කළ දහස් ගණන් නිරායුධ පුරවැසින් සිහිපත් කිරීම සහ ඔවුන්ට පින් පෙත්
පැමිණවීමයි. “සෝමරතන නාහිමියෝ එසේ අප හා පැවසූහ.
“මේ ස්ථානය තව දුරටත් පූජනීය කිරීම සඳහා තමයි ශ්‍රී සුගත තථාගත සර්වඥ ධාතුන් වහන්සේ
තැන්පත් කර අරන්තලා මහා සෑය ගොඩනැඟීමට අපි බලාපොරොත්තු වන්නේ.
එහි මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන අද ඉල්පුර පෝදා 2000කට අධික පිරිසක් මෙහි පෙහෙවස්
සමාදන් වෙනවා. ලංකාවේ ප්‍රසිද්ධ ධර්ම දේශකයන් වහන්සේ වැඩම කරවා
ධර්ම දේශනා , ධර්ම සාකච්ඡා ආදි ආගමික වත් පිළිවෙත් සිදු කරනවා.
මේ ස්ථානයේ අපට සැහෙන්න දුෂ්කරතා තියෙනවා, දාන මාන දෙන්න අපිට මෙහෙ කවුරුවත් නෑ,
සම්බුදු පහස ලත් දීඝවාපිය වැඳපුදාගන්න එන බැතිමතුන් අරන්තලාවටත් එනවා. සෙනසුරාදා,
ඉරිදා එන අය මෙහාටත් දාන මාන දෙනවා, ආධාර උපකාර කරනවා.
සමහර අය හාල්, පොල්, වැනි වියළි ආහාර ද්‍රව්‍යය පවා ලබා දෙනවා. ඒක අපට විශාල
ශක්තියක්. ස්ථාවර ආදායම් මාර්ග අපට නෑ. මේ දාගැබ් වහන්සේ ඉදිකිරීම සඳහාත් විශාල
මුල්‍ය පිරිවැයක් දැරිමට සිදුවෙනවා. මේ සඳහා දෙස් විදෙස් පින්වතුන්ගෙන් ආධාර උපකාර
ලැබෙයි කියලා අපි බලා පොරොත්තු වෙනවා. එම ආධාර මූල්‍ය ආධාර වශයෙන් පමණක් නොව ගල්,
වැලි , සිමෙන්ති, යකඩ ආදියෙන් වුව ද ලබා දිය හැකි’ යැයි සෝමරතන නාහිමියෝ පැවසූහ.
රවීන්ද්‍ර මැද ගෙදර
- අම්පාර සමූහ |