[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සසුනඹර ඒකාලෝක කළ සුපුන් සඳ දෙමළහිරියේ අනෝමදස්සි නා හිමියෝ

සසුනඹර ඒකාලෝක කළ සුපුන් සඳ දෙමළහිරියේ අනෝමදස්සි නා හිමියෝ

අරණායක, උස්සාපිටිය ශ්‍රී සුදර්ශනාරාමාධිපති, කෑගලු මහ දිශාවේ ප්‍රධාන සංඝනායක විශ්‍රාමික කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ දෙමළහිරියේ අනෝමදස්සී නා හිමිඹයන්, අරණායක, දෙමළහිරිය නම් වූ සුන්දර ගම් පියසේ දී එච්.ඈගල්ල හා ඊ.එම්.ආර්.ඒකනායක යන පින්වත් මවුපියන්ට දාව 1955.11.01 දින උපත ලැබීය.

මූලික ගිහි අධ්‍යාපනය කෑ/අර / දිප්පිටිය රාජගිරි විදුහලෙන් ලැබූ අතර, අපවත් වී වදාළ කුළුගම්මන චන්දානන්ද නා හිමි හා මිනුවන්ගමුවේ ඉන්දජෝති හිමියන්ගේ ආචාර්යෝපාධ්‍යායත්වයෙන් උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය. පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම පිරිවෙනේ ධර්ම ශාස්ත්‍රග්‍රහණය විශිෂ්ට ලෙසින් සිදු කරනු ලැබූ අනෝමදස්සි හිමියෝ 1978 දී රුහුණ විශ්වවිද්‍යාලයෙහි ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වූහ. ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය දෙවැනි පෙළ ඉහළ සාමාර්ථයෙන් සමත් ව පොල්අඹේගොඩ පිරිවෙනෙහි ම ගුරුවරයකු ලෙස වසර 7 ක සේවයෙන් පසු පාසල් සේවයට බැඳිණි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට ඇතුළත් ව මහ/ගිරාගම සෞන්දර්ය ගුරු අභ්‍යාස විදුහලේ කථිකාචාර්යවරයකු ලෙස වසර 13ක් සේවය කර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය හා දෙනුවර කලාප අධ්‍යාපන කාර්යාලයෙහි සේවය කර, රාජකාරිමය වශයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට මෙන්ම ශිෂ්‍ය ප්‍රජාවට ඵලදායී, ගුණාත්මක සේවයක් සිදු කළහ.

දෙමළහිරියේ අනෝමදස්සි හිමියන් 2014 දී පොල්අඹේගොඩ ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ විහාරාධිපති ධුරයට පත්වීමෙන් පසු විහාරස්ථානයට නව මුහුණුවරක් ලබා දීම වස්, මහා විහාරය, ටැම්පිට විහාරය, පැරැණි ධර්ම ශාලාව ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. නව සංඝාවාසය, දර්ශනීය වාහල්කඩ, ශ්‍රී පාද පද්මය, බෝධි රාජයන් වහන්සේ වටා රන් වැට, සමන් දෙවි පිළිරුව, සංඝමිත්තා තෙරණියගේ පිළිරුව ආදිය ගොඩනැඟූ අතර, විහාරස්ථානයෙහි අභිවෘද්ධියට ඉමහත් සේවයක් කරනු ලැබූහ.

මේ අන්දමට අනෝමදස්සී හිමියන් අතින් සිදු වූ අධ්‍යාපනික, ආගමික සාමාජීය සේවය අගයනු වස් උන්වහන්සේට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විංශත්වර්ගික කාරක සභාවේ ඒකච්ඡන්දයෙන් “සද්ධර්ම කීර්ති ශ්‍රී ඉන්දජෝති” ගෞරව නාමය සහිත ව කෑගලු දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය 2023.02.03 දින මහනුවර අස්ගිරි මහා විහාරයෙන් ප්‍රදානය කරනු ලැබීය.

දෙමළහිරියේ අනෝමදස්සි නාහිමියන් විදේශ රටවල් ගණනාවක සංචාරය කර ඇති හිමිනමකි.

උන්වහන්සේ ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, නේපාලය, වියට්නාමය, කාම්බෝජය, ඩුබායි, අසර්බයිජාන්, ඉන්දුනීසියාව, ඊජිප්තුව, ඔස්ට්‍රේලියාව, ජපානය, දකුණු කොරියාව, උතුරු ඉන්දියාව, නවසීලන්තය, බුරුමය වැනි රටවල්හි සංචාරය කර අත්දැකීම් රැසක් ලැබූ යතිවරයෙකි.

අරණායක සමථ මූල මණ්ඩලයේ වසර 30කට අධික කාලයක් කටයුතු කරනු ලැබ, දැනට සමථ මණ්ඩලයේ ගරු සභාපති ලෙස ද, උස්සාපිටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ගරු සභාපති ලෙස ද සේවය කරනු ලබන අප නායක මාහිමිපාණන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් පසුගිය 30 - 31 හා නොවැම්බර් 01 දිනවලදී පින්කම් මාලාවක් හා 70නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ශිෂ්‍ය පිරිස හා දායක සභාව කටයුතු සම්පාදනය කළහ.

දෙමළහිරියේ අනෝමදස්සි නාහිමියන්ට නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරමු.

ඉල් පුර පසළොස්වක

නොවැම්බර් 04 අඟහරුවාදා අ.භා 10.35 පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා 06.49න් ගෙවේ.
05 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 05 

Second Quarterඅව අටවක

නොවැම්බර් 12    

Full Moonඅමාවක

නොවැම්බර් 19

First Quarterපුර අටවක

නොවැම්බර් 28   

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]