පුර පෑළවිය
සඳ
24 කොටස
බඩල්ගම විපුලසිරි හිමි
වෙද මහත්තයාත් ඒ මේ දේ කියා දුන්නා, අඩු වැඩි සැකසුවා හැරුනාම සාමණේරයන්ට ම ඒවා
කරන්නට ඉඩ දී බලා උන්නේ ය.
අනතුරුව මොකක්දෝ තෙල් වර්ගයක් ගා සැකසූ බෙහෙත තුනටියට තබා බඳීනු ලැබීය.
“ දැනට ඔච්චරයි අපේ හාමුදුරුවනේ.. හවස් වෙන්න ඇරලා මං ආයෙමත් එන්නම් ඉතිරි ඩිංග
කරන්න”
නන්ද තෙරුන් වහන්සේට සහ සාමණේරයන්ට පසඟ පිහිටුවා වැඳී වෙද මහත්තයා යන්නට පිටත් විය.
පියවරක් දෙකක් ගොස් නැවතත් ආපසු හැරුණු වෙද මහත්තයා දමිත සාමණේරයන් දෙස බලා මෙසේ
ඇසිය.
“ පුංචි හාමුදුරුවනේ, ඔබ වහන්සේ මනාපයි ද වෙදකම ඉගෙන ගන්න ? “
නුවර පිරිවෙනට වඩින ගමනේ දී දහවල් දානය ගන්නා වේලාවත් ආසන්න විය. සාමණේරයන් හට
පිරිවෙන් අධ්‍යාපනය ලබා දිය යුතු යැයි නන්ද තෙරුන් වහන්සේට අදහසක් උපන්නේ බොහෝ කලකට
පෙර සිට ය. මේ ගමනෙහි අරමුණ සාමණේරයන් ව නුවර ප්‍රසිද්ධ මහ පිරිවෙනකට ඇතුළත් කරලීම
ය.
දවසේ ඉර අවරට ගියහොත් භික්ෂූන් වහන්සේට විකාලය යි. විකාලයේ වැළ¼දීම බෞද්ධ භික්ෂූන්ට
කැප නැත.
බුදු දහමට අනුව දිනකට වේල් තුනකි. දවසෙහි පළමු හිරුකිරණ වැටෙන මොහොත අරුණ උදාවයි.
අරුණ උදාවේ පටන් ඉර මුදුන් වන වේලාව දක්වා දවසේ පළමු වේල ය. ඉර මුදුන් වූ තැන් පටන්
ඉර බැස යන මොහොත දක්වා ම ඊළඟට දෙවන වේල ය. ඉර බැස ගිය තැන් පටන් පසුදා අරුණ නැඟෙනා
තෙක් තුන්වන වේල ය.
බෞද්ධ භික්ෂූන් වහන්සේ එක් වේලේ වළඳන්නෝ යැයි ප්‍රසිද්ධ වී ඇත්තේ මේ උදෑසන වේලේ
පමණක් ආහාර වළඳන නිසාවෙනි.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙම විනය නීතිය පනවා තිබෙන්නේ භික්ෂූන් වහන්සේගේ නීරෝගී
බව ප්‍රධානම අරමුණ කොටගෙන ය. මේ ආහාර රටාවට අනුගත වූ පැවිද්දන්ට දියවැඩියාව, අධි
රුධිර පීඩනය, අක්මාවේ තෙල් ආදී රෝගයන් බොහෝමයක් පාලනය කර ගත හැකි ය.
දවසේ දහවල් දාන වේල ගත නොහැකි වුවහොත් සිදුවන්නේ පසුදා අරුණ උදාවන තෙක් කුසගින්නේ
සිටීමට ය. තමන් වහන්සේට එය දරාගත හැකි නමුත් දමිත සාමණේරයන්ට නම් එය බොහෝම අපහසු
කාර්යයකි.
එබැවින් මඟදී හමුවන විහාරස්ථානයකට වැඩම කොට දානය ටිකක් වැළඳීය යුතු යැයි නන්ද
තෙරුන් වහන්සේ සිතති.
මාවත ආසන්නයේ වූ රාජමහා විහාරයට තෙරුන් වහන්සේ වැඩම කළේ එනිසාවෙනි.
රජ මහා විහාරයේ කැපකරු මහතාගෙන් නම් යහපත් ප්‍රතිචාරයක් ලැබුණත් දාන ශාලාවට
පිවිසුණු විට මහ තෙරුන් වහන්සේගෙන් ලැබුණේ ‘පලා නොකියා පල බෙදන’ ප්‍රතිචාරයකි.
දාන ශාලාව සිය දෙනකුට පමණ අසුන් පනවා ඇති මහා ශාලාවකි. මහත දෙහෙත මහ තෙරුන් වහන්සේ
කසාවන් සිවුරු පොරවා ඇසිබැම ඉවත් කොට තිබිණි. උදාර අභිමානවත් ආඩම්බරකාරී පෙනුමක් සහ
කතාබහක් උන්වහන්සේ තුළින් විද්‍යමාන වීය.
නන්ද හිමියන් ද, දමිත සාමණේරයන් ද මහ තෙරුන් වහන්සේ ඉදිරියේ පසඟ පිහිටුවා වන්දනා
කළහ.
මහ තෙරුන් වහන්සේ කිසිදු ආශිර්වාදයක් නොකළ අතර “හ්ම් හ්ම්” යැයි පමණක් කීහ.
සමහර වැඩිහිටි තෙරුන් වහන්සේ එසේ ය. වයසින් පමණක් ම වැඩී සිටිමුත් ධර්ම විනය
ඥානයෙන් සහ සීලාදී ගුණයෙන් නොවැඩුණු උන්වහන්සේ අඤ්ජලිකරණීය සඟ ගුණය පිළිබඳ ව
කිසිවක් ම නොදනිති.
නන්ද තෙරුන් වහන්සේට උපසම්පදාවෙන් වස් තුනක් ගත වී තිබුණත් අසුන් ගන්නට ලැබුණේ
අවුරුදු හතේ අටේ සාමණේරයන් වහන්සේටත් වඩා කෙළවරේ ය. හරියටම කීවොත් අසුන් සියයක්
තිබුණා නම් අනූ නවවැනි අසුන නන්ද හිමියන්ටත්, සියවැනි අසුන දමිත සාමණේරයන්ටත්
හිමිවිය.
ඒ අතරතුර බොහෝ කුඩා හිමිවරුන් වැඩ සිටිය අතර හිස් අසුන් ද බොහෝ විය.
කුස පිරෙන්නට දානය ලැබුණාමුත් හිත පිරෙන්නට කරුණා වදනක් හෝ නොලැබුණි.
දානය පිරිනමන අතරේ දමිත සාමණේරයන්ට ළං වූ එක් කුඩා හිමිනමක්,
“ මොකක්ද ඕයි ඔය නයි පෙට්ටිය ? “ යැයි සාමණේරයන්ගෙන් ඇසීය.
මතු සම්බන්ධයි |