යහපත් සමාජයකට මාදුළුවාවේ සෝභිත මාහිමි දැක්ම
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති හා
කෝට්ටේ සිරි පැරකුම්බා පරිවේණාධිපති
මහියංගණයේ
පඤ්ඤානන්ද හිමි
කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ව වැඩ විසූ ආචාර්ය මාදුළුවාවේ සෝභිත මහා
ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් මෙම මස 08 වන දිනට දස වසරක් සම්පූර්ණ වේ. මෙම
ලිපිය උන්වහන්සේට උපහාර වශයෙනි.
අපේ සෝභිත මාහිමියන් වහන්සේගේ ජීවිතය උන්වහන්සේට ම ආවේණික වූවකි. තමන් වහන්සේ අයත්
කෝට්ටේ මහා සංඝ සභාව මඟින් අවස්ථා ගණනාවක දී ලබා දීමට සූදානම් වූ සියලු නායක පදවි
ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ උන්වහන්සේ කාරක සභික ධුරයක් පමණක් දරමින් සංඝ සභාවට
විශිෂ්ට මෙහෙවරක් කළහ. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පරිදි පරාර්ථචර්යාව අකුරටම
ක්‍රියාත්මක කළ උන්වහන්සේ ජාතික සංඝ සභාව, ජාතික වීර පදනම, සිංහල බල මණ්ඩලය, මවුබිම
සුරැකීමේ සංවිධානය, සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානය, සාධාරණ සමාජයක් සඳහා වූ
ජාතික ව්‍යාපාරය, ආදී කලින් කලට රටේ මතු වන විවිධ අභියෝග ජය ගැනීම උදෙසා විවිධ
සංවිධාන නිර්මාණය කොට ගිහි පැවිදි කාගේත් සහයෝගය වාට ලබා ගනිමින් ශක්තිමත්
නායකත්වයක් ලබා දෙමින් ඉටු කළ මෙහෙවර අමිල ය. කිසිදා වරප්‍රසාද වෙනුවෙන් තමන්
වහන්සේගේ ප්‍රතිපත්ති පාවා නොදුන් උන්වහන්සේ සමඟ කටයුතු කිරීමට ගිහි පැවිදි කවුරුත්
පි‍්‍රය කළහ. කිව යුතු දෙය කිව යුත්තාට නොබියව කීමත්, අව්‍යාජ නායකත්වයත්,
වරප්‍රසාද වෙනුවෙන් අතරමඟින් සටන් අත් නොහැරීමත්, ඕනෑම අභියෝගයකට මුහුණදීමේ
ශක්තියත්, සුවිශේෂී පෞරුෂත්වයත්, කුමන අවස්ථාවක දී වුව ශ්‍රමණ ස්වරූප්‍යයට හානි
නොවන ලෙස ක්‍රියා කිරීමත් ඉහත කී ප්‍රසාදයට හේතු වූහ.
ආණ්ඩු කරවන පාලකයන්ට නිසි මඟ පෙන්වාදීමත්, එම පාලකයන් ද වැරැදි මඟ යන්නේ නම් ඔවුන්ට
එරෙහිව ක්‍රියා කිරීමටත් පසුගිය දශක කිහිපය තුළ උන්වහන්සේට හැකි වූයේ කිසිදු
පක්ෂයකට හෝ දේශපාලනඥයකුට අමුතු හිතවත්කමක් හෝ පක්ෂපාතී බවක් හෝ නොවූ බැවිනි.
උන්වහන්සේ හැමදාම සිටියේ පාලකයාගේ හෝ ආණ්ඩුවේ පැත්තේ හෝ නොව මහජනයාගේ පැත්තේ ය.
එබැවින් සමහරු උන්වහන්සේ පි‍්‍රය කළහ. තවත් සමහරු උන්වහන්සේ අපි‍්‍රය කළහ. මේ
කිසිවක් උන්වහන්සේගේ ප්‍රතිපත්ති හෝ සාධාරණ විවේචන හෝ නැවැත්වීමට අසමත් වූහ.
දුගී දුප්පත් අසරණ ජනතාවට නිතර පිහිට වූ උන්වහන්සේ යුද සමයේ රණවිරුවන්ගේ සුබ සාධන
කටයුතු වෙනුවෙන් මෙන්ම සුනාමි අවස්ථාවෙහි දී එම අසරණ වූ ජනතාව වෙනුවෙන් නිවාස ඉදි
කිරීම ආදී පහසුකම් සපයා දීමෙන් ඉමහත් මෙහෙවරක් ඉටු කළහ. සියලු රටවාසීන්ගේ
සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටිය යුතු තැන්හි ජාති ආගම් කුල භේදයන්ගෙන් තොරව නිර්භය
ව පෙනී සිටියහ.
ධර්ම දේශකයකු වශයෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලූ උන්වහන්සේ තරම් මෑත යුගයෙහි ධර්ම
දේශනා කළ වෙනත් ධර්ම දේශකයකු නැති තරම් ය. උන්වහන්සේ සතු වූ ධර්මඥානයත්, ආරෝහපරිනාහ
දේහ විලාශයත්, වෙනත් කිසිවකුට හිමි නොවූ අපූරු කටහඬත්, සුමිහිරි භාෂා විලාසයත්
ප්‍රකට ධර්ම දේශකයකු වීමට උන්වහන්සේ ශක්තියක් වූහ. තුන් නිකායට ම අයත් මහා සංඝයා
වහන්සේ තමන්ගේ උත්සවයකට, දානෙට, බණට, පිරිතට උන්වහන්සේ වැඩමවා ගැනීමට මහත්
කැමැත්තක් දැක්වූහ. එවන් අවස්ථාවල දී දහස් නමක් වැඩ සිටියත් උන්වහන්සේට ම
අනුශාසනාවක් පැවැත්වීමට ආරාධනා ලැබුණේ තුන් නිකායේ ම හැම භික්ෂුවක් ම උන්වහන්සේගේ
දේශනා කෞශල්‍යය කෙරෙහි පැවති කැමැත්ත නිසා ම ය.
කෙතරම් රටේත්, ලොවේත් ප්‍රසිද්ධියක් ඉසිලුවත්, ජනපි‍්‍රය වුවත් පුහු ආටෝපයන්ගෙන්
තොර වූ උන්වහන්සේ ඕනෑම අයකුට පහසුවෙන් හමුවීමටත්, කතා බහ කිරීමටත්, ආරාධනාවක්
කිරීමටත්, දුරකථනයෙන් සම්බන්ධ වීමටත් කලින් වේලාවක වෙන් කරගත යුතු වූවේ නැත. මහා
මන්දිරයේ වුවත්, දුප්පත් පැල්පතේ වුවත් ලද ආරාධනාවෝ උන්වහන්සේ සතුටින් භාර ගත්හ.
නිසි වේලාවට වැඩමවා එම කටයුත්ත නිසි ලෙස කර දුන්හ. අලුයම අවදි වන උන්වහන්සේ සමහර
දිනවලට උදේ හීල් දානයෙන් පසුව වැඩම කොට විවිධ පින්කම්, උත්සව, රැස්වීම්වලට වැඩමවා
නැවත විහාරස්ථානයට වැඩම වන්නේ මධ්‍යම රාත්‍රියට ආසන්න ව ය. නැවතත් පෙර දින මෙන්ම
කාර්යබහුල ව පොදු යහපත සඳහා කැප වී කටයුතු කළ උන්වහන්සේ තමන්ගේ පෞද්ගලික යහපත සුඛ
විහරණයට වඩා පොදු සමාජයේ යහපත වෙනුවෙන් කැප වූහ.
උන්වහන්සේ 2015 නොවැම්බර් මස 08 වැනි දින අපවත් වීමෙන් අප රටට, සසුනට ඇති වූ අඩුව
තවත් දශක කිහිපයකටවත් සම්පූර්ණ වේදෝ’යි සිතිය නොහැකි ය. එහෙත් උන්වහන්සේ නිරතුරුව
බලාපොරොත්තු වූ යුක්තිය, සාධාරණය සැමට උරුම වන දේශයක් නිර්මාණය කිරීමට අපි කැප
වන්නෙමු නම් එය උන්වහන්සේට දක්වන උසස් ම ගෞරවය වනු ඇත. ඒ වෙනුවෙන් ගිහි පැවිදි අප
කවුරුත් එකාවන් ව කැප වෙමු.
අපේ මාදුළුවාවේ සෝභිත මාහිමියෝ නිවනින් සැනසෙත්වා. |