[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශ්‍රී සද්ධර්මයේ ගුණ

ශ්‍රී සද්ධර්මයේ ගුණ

“සඳුන් රුකැඹුර සැස දමති. මීයෙහි ඉටි හැර දමති. නෙළුම් මලෙහි පිට පෙති හැර දමති. චන්දන සහලෙහි සුණු හැර දමති. මෙසේ ලොවේ එකෙක් ගෙන එකෙක් හැර දමති. නමුත් බුදු බණෙහි අත්හළ යුතු දෙයක් නැත. බුදුරදුන්ගේ සරණ යන්නෝ බුත්සරණ යා යුතුයි. “ජන සමාජය තුළ පූජනීයත්වයට, ශ්‍රේෂ්ඨත්වයටපත් සම්පත් හතරක් යථෝක්ත සටහන මඟින් අවධාරිත ය. එනම්,

සඳුන් ගස ය, මී පැණි ය, නෙළුම් මල ය, චන්දන සහල් ය.

මේවා වටිනා සම්පත් වුව ද ප්‍රයෝජනයට ගැනීමේ දී කොටසක් අත්හැර කොටසක් පමණක් ප්‍රයෝජනයට ගැනීම සිරිත ය. නිදසුනක් ලෙස වනාන්තරයේ ඇති බොහෝ ගස් අතර සඳුන් ගස ඉතා දුර්ලභ වන්නේ ය. වටිනාකමින් ද ඉතා ඉහළ ය. එහෙත් ප්‍රයෝජනයට ගැනීමේ දී කොටසක් එනම් පිට පොත්ත සේ ම එළිය සැස (අත්හැර) දමන්නේ ය. අරටුව පමණක් ම ගන්නේ ය. මී පැණි ද එසේ ම ය. ඉටි හැර දමා පැණි ටික ගන්නේ ය. නෙළුම් මලෙහි ද පිට පෙති හැර දමා බුදුරදුන් පුදන්නේ ය. චන්දන සහල් කොපමණ වටින්නේ වුව ද, සුණු සහල් හැර දමා ප්‍රයෝජනයට ගන්නේ ය. මෙසේ ලොවේ එකෙක් ගෙන එකෙක් අත් හැරීම සිරිත ය. නමුත් සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙහි අත්හළ යුතු දෙයක් නොමැත්තේ ය. යනුවෙන් බුදු බණෙහි ඇති වටිනාකම බුත්සරණ කතුවරයාණෝ ලියා දැක්වූහ.

එසේ ම අට්ඨකතා විවරණයට අනුව “අත්තානං ධාරෙන්තෙ චතුසු අපායේසු වට්ටදුක්ඛේසුච අපතමානේ කත්වා ධාරේතීති ධම්මෝ”

එනම්, දරන්නා වූ අර්ථයෙන් ධර්ම නම් වේ. දැරීම නම් සතර අපායට වැටෙන්නට නොදී, සංසාර දුඞඛයටත් වැටෙන්නට නොදි ආරක්ෂා කෙරේ.

ලෝකයේ හිත සුව පිණිස වීදාගම මෛත්‍රිය මහා යතිවරයන් වහන්සේ විසින් විරචිත මහානර්ඝ ග්‍රන්ථය වන්නේ “ලෝවැඩ සඟරාවයි” මෙම ග්‍රන්ථයේ දී ද උන්වහන්සේ පළමුව සම්මා සම්බුදුරදුන් වැඳ නමස්කාර කොට දෙවනුව ධර්ම රත්නය නමස්කාර කළ සේක. ඒ මෙසේ ය.

ඇම පමණින් පැවසූ මුනි දැන තතු
මෙම හැම දෙන බලවයි දැක්විය යුතු
තම තම නැණ පමණින් දැන ගත යුතු
මම නමදිම් සදහම් පහදා සිතු

අනතුරුව අපගේ අවධානය යොමු වන්නේ රසවාහිනී නම් ග්‍රන්ථයට ඇතුළත් සද්ධර්මයේ ගුණ ඇතුළත් ගාථාවන් වෙත ය. ඒ මෙසේ ය.

ධම්මො පනෙසො සුගතප්පසත්ථො
තරණීව සංසාර මහණ්ණවස්ස,
බ්‍රහ්මාසුරාදීහි නමස්සනීය්‍යො
රසො රසානං පරමො තිලොකෙ

සුගතයන් වහන්සේ විසින් පසස්නා ලද මේ ධර්මය සංසාරමහාර්ණවයට පසුරක් වැනි ය. බ්‍රහ්මාසුරාදීන් විසින් නමස්කාර කළ යුතු වූ මේ ධර්මය තුන්ලොව ම ඇති රසයන් අතුරෙන් උත්තම රසය යි.

මහාගදො මච්චුජරා පහානො
සබ්බීතිනාසාය විසෙසමන්තො,
සබ්බත්ථ දානෙන ච කප්පරුක්ඛො
චින්තාමණී භද්දඝටොව ධම්මො

මේ ධර්මය ජරාමරණයන් නැති කරන මහෞෂධයෙකි. සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයෙකි. මේ ධර්මය සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකක්, සිතුමිණක්, භද්‍රඝටයක් වැනි ය

ධම්මංවිනා නත්ථි පිතාච මාතා
තමේව ඨානං සරණං පතිට්ඨා
තස්මාහි භෝ කිච්ඡ මඤ්ඤප්පහාය
සුනාථ ධාරේථ චරාථ ධම්මේ

ධර්මය හැර සත්ත්වයනට මවක් පියෙක් නැත. ඒ ධර්මය ම සත්ත්වයනට ආරක්ෂාව ය. සරණ ය, ප්‍රතිෂ්ඨාව ය. එබැවින් අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසව්, දරව්, ධර්මයෙහි හැසිරෙව්. මෙම ගාථාත්‍රයට අනුව ධර්ම රත්නය සංසාර නමැති මහා ඕඝය තරණය කිරීමට පසුරක් වැනි ය.

බ්‍රහ්මසුරාදීන් විසින් නමස්කාර කළ යුත්තෙකි.

කාම - රූප - අරූප යන තුන්ලොවෙහි ම ඇති රසයන් අතුරෙන් උත්තම රසය වේ.

ජරාමරණයන් නැති කරන මහෞෂධයෙකි.

සියලු උවදුරු දුරු කරන විශේෂ මන්ත්‍රයෙකි.

සකලාර්ථයන් ප්‍රදානය කරන බැවින් කප්රුකකි. සිතුමිණකි. භද්‍රඝටයකි.

දෙලොව සුව සලසන බැවින් මවට පියාට වඩා උතුම් ය.

සත්ත්වයනට ඇති එකම ආරක්ෂාව ය. සරණ ය, ප්‍රතිෂ්ටාව ය.

එම නිසා අන් සියලු වැඩ නවත්වා ඒ දහම අසව් දරව්, ධර්මයෙහි ම හැසිරෙව් යන්න ය.

ධර්මයේ ගුණ ඇතුළත් ධර්ම පාඨය

බෞද්ධ මූලාශ්‍රයයන්හි කිහිප තැනක ධර්මයේ ගුණ ඇතුළත් ධර්ම පාඨයක් සඳහන් වෙයි. ඒ මෙසේ ය. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී. (අංනි. 1. දුතියපුඤ්ඤාභිසන්ද සූත්‍රය, 108 පි.) පළමුව එහි සරලාර්ථය හඳුනා ගනිමු. ඒ මෙසේ ය.

ස්වාක්‍ඛාතො භගවතා ධම්මො

භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මුල, මැද, අග යන තුන් තැන ම යහපත් වන සේ මැනවින් දේශිත ය.

මුල මැද හා අග ද
යහපත් ලෙසට මුනි සඳ
දෙසූයෙන් දහම් කඳ
ස්වාක්ඛාත ය කියා නම් ලද
සන්දිට්ඨිකො භගවතා ධම්මො

ඒ ධර්මය අනුව පිළිපදින්නා වූ සත්පුරුෂයනට තම ජීවිත කාලය තුළ දී තමාට ම දැන දැක ප්‍රත්‍යක්ෂ කරගත හැකි ගුණවලින් යුක්ත වන්නේ ය.

මෙම අත්බවේ දිම
පිළිපදී නම් සදහම
ලැබෙනුයෙන් පල හැම
යෙදේ සන්දිට්ඨික ය යන නම

අකාලිකො භගවතා ධම්මො

නිවැරැදි ව පිළිපදින්නා වූ හෙවත් ක්‍රියාවෙහි යොදවන්නා වූ සත්පුරුෂයාට කල් නොයවා ඕනෑම කාලයක දී ප්‍රතිඵල අත්දැකිය හැකි බව.

කාලයක් නැතිව ම
මඟපල ලැබෙයි හැමදම
එම අරුත ඇතිව ම
අකාලික නම දරයි සදහම

ඒහිපස්සිකො භගවතා ධම්මො

අන්ධ භක්තියෙන් තොරව නුවණින් බලනු කැමැත්තකුට ඇවිත් බලන්නැයි (සසුන්පුරා බලන්නැයි) පොළඹවන දහමක් බව

ඇවිදින් බලනු මැන
අඳ බැතියකින් නොම ගෙන
ඇරයුම් ඇති බැවින
ඒහිපස්සික කියා පැවැසින

ඕපනයිකො භගවතා ධම්මො

සමීපයට පමුණුවන, නිවනට පමුණුවන තම සිත්හි ලා පිහිටු විය යුතු දහමක් බව

තම සිත් සතන් තුළ
උපදවා ගත යුතු බල
ඇති බැවින් සැම කල
ඕපනයික ය දහම නිකසල

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී භගවතා ධම්මො

විඤ්ඤූ පුරුෂයන් විසින් තම තමා විසින් අන් තැනකින් නොව තමාගේ සිත් තුළින් ම වෙන වෙන ම අවබෝධ කර ගත යුතු විඤ්ඤූ පුරුෂයන්ට ම විෂය වූ දහමක් බව.

තම තම නැණ මඟින්
දහම දත යුතු මැනවින්
පච්චත්ත වශයෙන්
වේදිතබ්බ ය කියති එබැවින්

බිනර පුර අටවක

අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ.
අගෝස්තු 31 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]