[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

බිනර පුර අටවක පෝ දා 2025-08-31

යහපත උරුම කර ගනු පිණිස...

මේ ජීවිතයේ අපි බොහෝ අත්දැකීම් ලබමු. තමන් මුහුණ දෙන, අනුන් මුහුණ දෙන විවිධ සිදුවීම් අත්විඳිමු. ඒ අනුව මේ සමාජය විවිධය. විෂම ය. කෙනකුට දුක උරුම ය. කෙනකුට සැප උරුම ය. විටෙක දුක් විඳින්නා විටෙක සැප විඳියි. එහි විරුද්ධපස ද එසේම ය. මේ විෂමතාව තීරණය වන්නේ සසර පුරා ද, මේ ජීවිතයේ ද කළ කම් අනුව ය. පව්කම්, අයහපත් දේ කළ පුද්ගලයා දුක්ඛිත ස්වභාවයටත්, යහපතෙහි යෙදුණ, පින් කුසල් පිරූ තැනැත්තා සැප උරුම ස්වභාවයටත් පත්වන බව අපි දකිමු.

අස්වනු ලැබෙන්නේ වපුරන බෝගයට අනුව ය. වැපිරූ දේ ම මිස වෙනත් බෝගයක් බලාපොරොත්තු විය නොහැකිය. අපගේ ජීවිතය ද තීරණය වන්නේ අප කරන කියන දෙයට අනුව ය. ඒ සොබා දහමේ නියමය යි. පුද්ගල විසමතා රැසක් පිළිබඳ චුල්ලකම්ම විභංග සූත්‍රයේ දී අප භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළහ.

ඒ අනුව කෙනෙක් අඩු ආයුෂයෙන් මෙලොව හැරයති. කෙනෙක් දීර්ඝායුෂ ව ඉපදෙති. බොහෝ ආබාධ ඇති අය වෙති. අල්ප ආබාධ ඇති අය ද වෙති. අවලස්සන රුවක් ඇති අය අතර, බොහෝ පි‍්‍රයමනාප ලස්සන අය ද වෙති. යසස් ඇති අය වෙති. අයසට පත් වූවෝ වෙති. කෙනෙක් දිළිඳු ය. අල්පභෝග ය. මහත් භෝග අති ධනවත් පිරිස් ද ඔවුන් අතර ම වෙති. කෙනෙක් නීච කුලයේ ඉපදෙති. එනම් පහත් යැයි සම්මත කුලයේ ය. තවත් කෙනෙක් උසස් යැයි සමාජ සම්මත කුලයේ ඉපදෙති. නුවණින් අඩු අය සේ ම අනුවණයෝ ද වෙති.

මේ අතරින් දුක්ඛිත තත්ත්වයන් උරුම කර ගන්නට කිසිවෙක් කැමැති නොවේ. එහෙත් තමන් කළ කම් අනුන්ට පවරා තමන්ගේ උරුමයෙන් ගැලවෙන්නට කිසිවකුට නොහැකි ය. තමන් ගේ ජීවිතයට වගකිව යුතු තමන් ම වන නිසා ය.

කෙනෙක් මස් වෙළෙඳාම පිණිස හෝ තමන්ගේ ආහාරය පිණිස හෝ විනෝදය පිණිස හෝ සතුන් මරනවා නම් ඔහු ඒ පාපයේ විපාක විඳින්නේ අල්ප ආයුෂ ලබමින් ය. තවත් කෙනෙක් සතුන්ට දයා කරුණා ගුණ යුතු වෙති. ජීවිත දානය දෙති. ඔහු හෝ ඇය හෝ නිසා කිසිදු සත්වයකුට ජීවිත බියක් නැත. එවැන්නෝ දීර්ඝායුෂ විඳින්නෝ වෙති.

ආබාධ සහිත අසරණයන් දකින කල බොහෝ අයගේ සිත කම්පාවට පත්වේ. ආබාධ උරුම වන්නේ සසරේ සත්ත්ව හිංසා කළ පුද්ගලයාට ය. සතුන්ට දුක් පීඩා කරදර හිංසන නොදුන් කෙනා ගේ ජීවිතය ආබාධ රහිත ය.

රූපය පිළිබඳ මොන තරම් උනන්දු වුව ද අපගේ ම සිතිවිලි වැරැදි ලෙස යෙද වූයේ නම් දුර්වර්ණ ව, විරූපී ව ඉපදීම කෙසේ වළකන්න ද? සසරේ බොහෝ ද්වේෂයෙන්, තරහවෙන් කටයුතු කළ අය දුර්වර්ණ රුව උරුම කර ගනිති. කෙනෙක් අන් සැපතට ඊර්ෂ්‍යා කරති. සිත සිතා දැවෙති. අලේපේශාක්‍ය ව උපදින්නේ එවැන්නෝ ය. අනුන්ගේ සැපත දැක සතුටු වන්නට හැකි නම් ඒ මහේශාක්‍ය වීමේ ඇරඹුමයි. දැඩි තණ්හාවෙන් දේවල් රැස් කරන්නා, තමා සතු කිසිවක් කිසිවකුට නොදෙන්නා අල්පභෝගී වන්නේ ය.

කෙනෙක් අධික මාන්නක්කාර ය. ගරු කළ යුතු අයට ගරු නොකරති. හීන කුලවල උපදින්නෝ එවැන්නෝ ය. කුසලය, අකුසලය ගැන නොවිමසා කටයුතු කරන, සත්‍යය, අසත්‍ය නොවිමසන කෙනෙක් වේ නම්, ඔහුට ප්‍රඥාව ලද නොහැකි ය.

යහපත් ජීවිතයක් බලාපොරොත්තු වන පුද්ගලයාට මේ ධර්ම කරුණු මාහැඟි මිණි මුතු සේ ය. විය යුතු අප්‍රමාදී ව ඒ දහම ජීවිතයට ගලපා ගැනීම ය. එය මවට, පියාට හෝ වෙනත් කවරකුට හෝ කළ නොහැකි ය. තමන්ම ළඟා කර ගත යුතු ය.

බිනර පුර අටවක

අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ.
අගෝස්තු 31 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]