[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මනසට එරෙහිව කරන යුද්ධය

සුවපත් මනසක් සුවබර දිවියක් - 28 කොටස:

මනසට එරෙහිව කරන යුද්ධය

ආචාර්ය හේනේපොල ගුණරතන මහනාහිමියන් විසින් රචිත  Mindfulness in plain English (සතිමත් බව වැඩීම) කෘතියෙනි.

අරමුණ සිහියට නැඟීම

ඔබගේ සිතට අහඹු ලෙස දේවල් නැඟෙන අවස්ථා ඇත. පෙනෙන තරම් හේතුවක් නොමැතිව වචන, කියමන් හෝ වාක්‍ය අවිඥානයෙන් පිටතට පනියි. වස්තූන් පෙනෙයි. ඉඳහිට රූප ඇතිවී නැතිවී යයි. මෙය කැලඹෙන සුළු අත්දැකීමකි. ඔබගේ මනස සුළඟේ ලෙළදෙන කොඩියක් මෙනි. මුහුදේ නැගෙන රළ මෙන් එය ඒ මේ අත ගසාගෙන යයි. මෙවන් බොහෝ අවස්ථාවල දී ඔබ මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න මතක් කර ගැනීම පමණක් වුව ද සෑහෙයි.

“මම මෙසේ වාඩි වී සිටින්නේ මෙවැනි සිතිවිලි උදෙසා කාලය නාස්ති කිරීමට නොවේ” යැයි ඔබට ම පවසන්න. “සෑම ජීවියෙකුට ම පොදුවන හුස්ම කෙරෙහි සිත යොමු කිරීම සඳහා මම මෙසේ වාඩි වී සිටිමි” මෙම උච්චාරණය අවසන් වීමට ප්‍රථමයෙන් ම ඔබගේ සිත එක්තැන් වීමට ඉඩ ඇත. තවත් සමහර අවස්ථාවල දී අවධානය නැවත හුස්මට යොමු කිරීම සඳහා කිහිප වතාවක් ම එසේ පැවසීමට ඔබට සිදුවනු ඇත.

මෙම උපක්‍රම තනි තනි ව හෝ කිහිපයක් ලෙස පාවිච්චි කළ හැකි ය. මනාව, නිසි අයුරින් භාවිතා කළ විට ඔබගේ වඳුරු මනසට එරෙහි ව කරන යුද්ධයේ දී මේවා ඵලදායී ආයුධ වනු ඇත.

බාධා සමඟ ගනුදෙනු කිරීම

මුළුමනින් ම නිසොල්මන් වූ මනසකින් හා කයකින් යුත් ඔබ ඉතා සන්සුන් ලෙස භාවනාවේ යෙදී සිටියි. ඇතුළුවන හා පිටවන හුස්මේ රිද්මයට අනුව ඔබ ද ඒ සමඟම සන්සුන් ව, ශාන්ත ව, සතිමත් ව සෙමෙන් පාවී යනු ඇත. සියලු දෙයක් ම පරිපූර්ණව ඇත. එවිට ම, සම්පූර්ණයෙන් ම වෙනස් ආකාරයේ කිසිවක් ඔබගේ මනස මත පතිත වෙයි. “අයිස්ක්‍රීම් එකක් මට ලැබෙනවා නම් කොපමණ අගේ ද?” මෙය පැහැදිලිව ම බාධාවකි. ඔබ කළ යුත්තේ මෙය නොවේ. මෙය දකින ඔබ නැවතත් ඇතුළු වී, පිටවී, නොකඩවා ගලායන හුස්ම වෙත ඔබගේ අවධානය රැගෙන එයි.

“ඇත්තටම මම ගෑස් බිල ගෙව්ව ද?” යනුවෙන් තවත් බාධාවක් සිතේ මතුවනු ඇත. එය ද දකින ඔබ නැවතත් හුස්ම කරා ආපසු පැමිණෙයි. හුස්ම ඇතුළු වීම, පිටවීම, ඇතුළුවීම, පිටවීම...” දැන් පෙන්වන අලුත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට බලන්න අඟහරුවාදා රෑට යනවා. අඟහරුවාදා බැහැ. බදාදාට කරන්න දේවල් ගොඩක් තියෙනවා. බ්‍රහස්පතින්දා වඩාත් සුදුසුයි.” එය තවත් බාධාවකි. එක බාධාවකින් ඔබගේ අවධානය ඉවත් කර ගෙන හුස්ම වෙත ගෙන යන්නට වෙර දරන සෑම මොහොතක ම අවසානයක් නැති, අභ්‍යන්තරයෙන් නැගෙන හඬ නොයෙක් මාදිලියේ දේ පවසමින් බාධාවන් වැලක් ජනිත කරයි.

කොපමණ හිරිහැරයක් ද? මෙහි ඇති මූලික සත්‍ය මෙම බාධාවන් ම ය. ප්‍රධානම කරුණ මෙම බාධාවන් සමඟ ගනුදෙනු කිරීමට ඉගෙන ගැනීමයි. ඒවාට හසු නොවී ඒවා දැකීමට ඉගෙනීමයි. අප මෙහිදී කරන්නේ එයයි. අප මෙහි සිටින්නේ එලෙස කිරීම සඳහා ය. සහතිකව ම මෙම මානසික අයාලේ යෑම අමිහිරි දෙයකි. නමුත් මෙය සිතක ඉතා සාමාන්‍ය හැසිරීමකි. එය සතුරකු ලෙස නොදකින්න. එය ඉතා ම සරල වූ යථාර්ථය යි. ඔබට යම් දෙයක් වෙනස් කිරීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් කළ යුතු වන්නේ එහි නියම ස්වරූපය දැක ගැනීමයි.

ඔබ පළමුවන වතාවට වාඩි වී සිත එකඟ කර ගැනීමට සූදානම් වන විට සිතෙහි කාර්ය බහුල බව ඔබට පුදුමයක් වනු ඇත. එය පනිමින් ප්‍රලාප දොඩවයි. ඒ පැත්තට මේ පැත්තට දුවයි. නොකඩවා ම තමා පසුපස ම ලුහුබඳීයි. එය සිතයි. එය දොඩමලු වෙයි. දවල් සිහින දකියි. මේවා ගැන සිත කරදර කර නොගන්න. එය ස්වභාවික ය. ඔබගේ මනස භාවනා අරමුණින් පිට යන විට එම බාධාව සිහියෙන් දකින්න.

විපස්සනා භාවනාවේ දී බාධාව යනුවෙන් හඳුන්වන්නේ අවධානය හුස්මෙන් ඉවතට යොමුකරන සිතිවිලි ය. එය ඔබගේ භාවනාව සඳහා ප්‍රධාන භූමිකාවක් මතු කරයි. එනම් භාවනා අරමුණින් ඔබගේ අවධානය අන් අතකට යොමු කරන කුමන හෝ මානසික තත්ත්වයක් පැමිණි විට අවධානය මඳකට එම බාධාව වෙත යොමු කරන්න. තාවකාලිකව එම බාධකය ඔබගේ භාවනා අරමුණ කර ගන්න. “තාවකාලික ව“ යන්න ඉතාමත් වැදගත් බව සලකන්න. ගමන අතරමග දී අශ්වයා මාරු කරන්න කියා අපි නොකියමු. සෑම තත්පර තුනකට වතාවක් ම අලුත් භාවනා අරමුණක් ඇතිකර ගන්න කියා අපි නොකියමු. සැමවිමට හුස්ම ඔබගේ මූලික කේන්ද්‍රය වී පවතියි. බාධාවක සුවිශේෂී ලක්ෂණයක් දැකීමට හැකි පමණ කාලයක් පමණක් එයට අවධානය ලබා දෙන්න. එය කුමක් ද? කොපමණ බලසම්පන්න ද? එය කොතරම් කාලයක් පවතියි ද?

වචනයෙන් තෙරව මෙම ප්‍රශ්නවලට ඔබ පිළිතුරු සැපයූ වහාම ඔබගේ විමසීම හමාර කර හුස්ම වෙත අවධානය ආපසු ගෙන එන්න. මෙහිදී ද “වචනයෙන් තොර” යන්න වැදගත් බව සැලකිල්ලට ගන්න.

මෙය තවත් මානසික අල්ලාප සල්ලාපයකට ආරාධනාවක් නොවෙයි. එය සිතීමට ඔබව යොමු කරයි. සිතීමෙන් ඔබව ඉවතට ගෙන සංකල්පවලින් හා වචනයෙන් තොර, ඍජු අත්දැකීමක් වන හුස්ම වෙතට යොමු කිරීමට අපට අවශ්‍යයි. මෙම ප්‍රශ්න නිර්මාණය කර තිබෙන්නේ තවතවත් ඔබව බාධාවල හිර කරන්නට නොව ඒවායින් ඔබව මුදාගෙන ඒවායේ නියම ස්වභාවය දැකීමට සැලැස්වීම සඳහා ය. බාධාව කෙරෙහි ඔබගේ සිත යොමුකර, එක පියවරකින් ඔබට එය එළවා දැමීමට උපකාරී වීමටයි.

මීළඟ කොටස බිනර අව අටවක (14) පෝදා අන්තර්ජාල කලාපයේ

බිනර පුර අටවක

අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ.
අගෝස්තු 31 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]