පෙර විපරම නැතිකම
පසුතැවීමේ ඇරඹුමයි
රාජකීය පණ්ඩිත
පදියතලාවේ ඤාණවිමල හිමි
න තං කම්මං කතං සාධු
යං කත්වා අනුතප්පති
යස්ස අස්සුමුඛෝ රෝදං
විපාකං පටිසේවති
“යම් ක්‍රියාවක් සිදුකර කෙදිනක හෝ කඳුළු පිරුණු දෙනෙතින් යුක්ත ව හඬන්නට සිදුවේ ද
එවැනි ක්‍රියා කිරීමෙන් වළකින්න.”
( ධම්මපදය, යමක වග්ගය)
මිනිසත් බව ලැබූ සැම දෙනා ම විවිධ වූ ක්‍රියාවන් දිනපතා ම සිදු කරයි. ඒ සිදු කරන දේ
පිළිබඳ නැවත නැවත සිතා බැලීමේ ඇති වැදගත්කම දක්වමින් සම්බුදු හිමියන් දේශනා කළ ගාථා
දේශනාවකි ඉහතින් සඳහන් වන්නේ. එහිදී උන්වහන්සේ අප වෙත ලබා දෙන උපදේශය වන්නේ කරන
කියන දේ පිළිබඳ නිසි සොයා බැලීමක් මුලින් ඇති කර ගැනීමේ වැදගත්කමයි. මෙම දේශනාව
සඳහා හේතු පාදක වුණ සිදුවීමක් ධම්මපදයේ දැක්වේ.
බුදුන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වෙසෙන කාලයේ දී එක් දිනක් ඒ නගරයේ
සිටි මහසිටුවරයාගේ නිවෙස සොරු කණ්ඩායමක් විසින් පහරන්නට යෙදිණි. නිවෙසෙහි තිබූ
වටිනා මිල මුදල් හා රන් රිදී ආදී දේ ද පසුම්බිවලට පුරවා ගත් ඔවුහු සෑහෙන දුරක් ගොස්
කිසිවකුගෙන් කරදරයක් නොවන තැනක හිඳ මුදල් බෙදා ගැනීමේ කර්තව්‍ය සිදු කර ගත්තෝ ය.
ඔවුන් නැවතී සිටියේ එක්තරා කුඹුරක ය. එහි සිටි එක්තරා සොරෙක් අනෙක් සොරුන්ට නොදැනෙන
පරිදි එක් මුදල් පසුම්බියක් වංචා කළ අතර, අනෙක් මුදල් බෙදා ගැනීමෙන් පසු ඔවුන් පිටව
ගියද එකී සොරාට එකී පසුම්බිය ගෙන යාමට අමතක විය.
ඉතින් එම කුඹුරේ හිමිකාර ගොවියා පසුදින ඇවිත් සී සෑමට සූදානම් වූ විට මෙකී කහවනු
පසුම්බිය දැක ඒ ගැන කිසිත් නොසිතා පැත්තකින් තබා තමාගේ කටයුත්තේ නිරත වී සිටියේ ය.
එදින අලුයම් කාලයේ සම්බුදු හිමියන් අද දින කවරකුට පිහිට වන්නේ දැයි දිවැසින් සොයා
බැලු කල්හි මෙම ගොවියාගේ අකරතැබ්බය දිවැසින් දුටු සේක. එපමණක් ද නොව ඔහුට සෝවාන්
වීමට ඇති හැකියාව දැක අද තමා ඔහුට පිහිට විය යුතු බව සිතා ආනන්ද හිමියන් සමඟ උදෑසන
කාලයෙහි පිණ්ඩපාතයේ වැඩි සේක.
ගොවියා සී සාමින් සිටිය දී බුදුහිමියන්ගේ පැමිණීම දැක මහත් සතුටට පත්විය.
උන්වහන්සේට ඇදිලි බැඳ නමස්කාර කළ ඔහු සුපුරුදු වැඩෙහි නිරත විය. මේ අවස්ථාවේ
බුදුහිමියන් ආනන්ද හිමියන් අමතා ‘ආනන්දය සර්පයා දුටුවෙහිදැ’යි ඇසූ සේක. කරුණ මනාව
වැටහුණු ආනන්ද හිමියෝ ‘එසේය ස්වාමීනි’ යනුවෙන් පිළිවදන් දුන්හ. මේ දෙබස හරියාකාරව
නොවැටහුණු ගොවියා තමන්ට කී දෙයක් නොවේ යැයි සිතා සුපුරුදු වැඩෙහි ම නිරත වී සිටියේ
ය.
රාජ පුරුෂයෝ සොරු කණ්ඩායම සොයමින් සැමතැන ම විපරම් කළ අතර, මෙම ගොවියාගේ කුඹුරට ද
පැමිණියහ. කුඹුරෙහි පසෙක දමා තිබූ පසුම්බිය දුටු ඔවුහු එය සිටුවරයාගේ නිවෙසින්
සොරකම් කළ වස්තුව බව දැනී ගොවියා ද බලහත්කාරයෙන් ම රාජ වාසලට කැඳවාගෙන ගියහ. ඔහු
වැරැද්දක් කළේ ද, නොකළේ දැයි නිසි පරිදි සොයා නොබලා රජු ඔහුගේ හිස ගසා දමන ලෙස
රාජපුරුෂයන්ට නියෝග කළේ ය. දං ගෙඩියට රැගෙන යන මොහොතේ දී ඔහු
‘ආනන්ද සර්පයා දුටුවේ ද? එසේය ස්වාමිනී’ යනුවෙන් පවසමින් ගමන් කරන්නට විය. මෙසේ
විකාරෙන් වගේ පවසන්නේ කුමක්දැයි රාජපුරුෂයන් විමසුවත් රජු හමුවට පමුණුවන්නේ නම්
පමණක් ඒ සඳහා හේතු වුණ කාරණාව පවසන බැව් ප්‍රකාශ කළේ ය. රජු හමුවට ගිය කල්හි රජුට
නමස්කාර කළ ඔහු සියලු තතු ප්‍රකාශ කළේ ය. රජතුමා ද මේ කියන දේ සත්‍යය දැයි අසා
ගැනීමට විහාරයට දූතයකු යැවූ අතර, බුදු හිමියන් ද එම අවස්ථාවට වැඩම කර කරුණ සත්‍යයක්
බව දේශනා කරමින් මෙකී ගාථාව දේශනා කළ සේක.
අපේ දිවියට වැදගත් උපදේශ රැසක් පෙන්වා දෙන අවස්ථාවක් ලෙස මෙකී සිදුවීම ගතහැකියි
නේද? අපි මේ මනුෂ්‍ය අත්බැව්හි ජීවත් වන්නේ කොපමණ කලක් දැයි අපට නිශ්චිත ව ම කිය
නොහැකි වුවත් ළමා, තරුණ, මහලු වයසේ පසුවන බොහෝ දෙනා විවිධාකාර ක්‍රියා සිදු කිරීමට
පෙළඹෙන්නේ ඒ පිළිබඳ මනා සෙවිල්ලකින් තොරව ය. මෙය ඔහුගේ හෝ ඇයගේ හෝ පරිහානිය පිණිස
බලපාන අතර ම සමාජයේ ජීවත් වන අනෙකාට ද ඍජුව හෝ වක්‍ර ව විනාශයක් සිදු වේ.
ඔබගේ ජීවිතයේ දී ඔබ කිසිදා හෝ වේදනාවට පත් වූ අවස්ථාවක් සිහියට නඟා ගන්න. ඉන් පසු
එම සිදුවීම තමාට අහිත පිණිස බලපෑවේ ඇයි දැයි ඔබෙන් ම ප්‍රශ්න කර ගන්න. ඔබ
දෙතුන්වතාවක් නොසිතා කළ දෙයක් හේතුවෙන් ඔබ වේදනාවට පත් වී ඇති බව ඔබට අවබෝධ වනු ඇත.
අප ව වේදනාවට, පරිහානියට පත් කරන සහ අපට කවදා හෝ හඬන්නට සිදුවන ක්‍රියාවන් කිහිපයක්
මෙහිදී දැක්වීමට කැමැත්තෙමි.
දැඩි සෙනෙහස, ඉක්මන් කෝපය, ලෝභකම සහ ආශාව, ලැබෙන දෙයින් තෘප්තිමත් නොවීම, ජාතිමානය
ආදී මාන්නයෙන් පසුවීම ආදී මානසික හැඟීම් ඒ අතර ප්‍රධාන තැනක් උසුලයි.
තමාටවත් දරා ගැනීමට බැරි තරම් සෙනෙහසක්, ආදරයක් තමාට බෙහෙවින් සමීප වූ අයකු වෙත
දක්වන්නේ නම් කවදා හෝ ඔහුගේ හෝ ඇයගේ හෝ අභාවයෙන් පසුව මහත් සේ වේදනාවට පත්වීමට ඔබට
සිදුවෙනු නො අනුමාන ය.
ඔබ සමඟ මෙතෙක් ජීවත් වූ යහළුවන් යෙහෙළියන් අද කීයෙන් කී දෙනා ද ඔබ සමඟ ජීවත් වන්නේ.
ඒ අතරින් බොහෝ දෙනකු ඔබ ව අත්හැර පරලොව ගොස් ය. නො එසේ නම් වෙනත් තැන්වලට ගොස් ය.
අප බොහෝ සෙයින් ඇසුරු කරන සහ බොහෝ සෙයින් හදවතට ළං ව සිටි අය අපෙන් ඈත් වී යන විට
දැනෙන සන්තාපය විටෙක මරණයකින් වුව කෙළවර වීමට පුළුවන.
ආදරය, සෙනෙහස නොලැබීම නිසා හෝ ලැබුණු ආදරය සෙනෙහස මඳින් මඳ අඩුවීම නිසා හෝ අද
සමාජයේ කොතරම් පිරිසක් දිවි තොර කර ගත්නේ ද? තරුණයෙක් තරුණියක් සමඟ ආදරයෙන් වෙළී
පසුව යම් හේතුවක් නිසා දෙදෙනාගේ ආදරය බිඳී යාමෙන් අයසට පත් තරුණයා හෝ තරුණිය හෝ
දිවි තොර කරගත් අවස්ථා කොතරම් මේ සමාජයේ අද අසන්නට ලැබෙන්නේ ද? මේ සියල්ල සිදුවන්නේ
දැඩි ආදරයෙන් සෙනෙහසකින් යුක්ත වීම නිසා බව ඔබට ම අවබෝධ වනු ඇත.
සම්බුදු හිමියන් වරෙක පෙන්වා දී ඇත්තේ ‘පේමතෝ ජායති සෝකෝ’ යනුවෙනි. එනම් ප්‍රේමය
නිසා ශෝකය උපදින බවයි. අපත් මෙම ශෝක කිරීම හැකි තරම් අවම කර ගැනීමට නම් ජීවිතය ගැන
මනා අවබෝධයක් ලබා ගෙන ජීවත් විය යුතු ය.
දෙවැනි කරුණ නම් ඉක්මන් කෝපයයි. ඉක්මන් කෝපය නිසා බොහෝ විනාශයන් සිදුවන බව
අමුතුවෙන් කිව යුත්තක් නොවේ. පවුලේ සිදු වූ යම් සුළු වරදක් නිසා දික්කසාද වීම්,
දඬුවම් ලබා දීම් හා ශාරීරික වශයෙන් විවිධ තාඩන පීඩන සිදුවන බව අද නිතර අසන්නට ලැබෙන
දෙයකි. සුළු වරදකට වුව ජීවිතයක් තොර කිරීමට මාන බලන අඳබාල මිනිසුන් දැන් බොහෝ
සෙයින් මේ සමාජයේ පෙනෙන්නට ඇත. එසේ හෙයින් තමා සිතා නොබලා කරන එම ක්‍රියා නිසා කවදා
හෝ වේදනාවට පත්වීමට සිදු වන්නේ ම ය.
තෙවැනි කරුණ තමයි දැඩි ආශාව, ආශාවෙන් පෙළුණු තැනැත්තෙක් ජීවිතය කුමන අවස්ථාවේ විනාශ
කර ගනී දැයි කිව නොහැකි ය. ආශාවන් පසුපස හඹා යාම නිසා ඔහු අතින් විවිධාකාර වැරැදි
ක්‍රියා සිදු විය හැකි ය. යම් යම් දේ අයිති කර ගැනීමට ආශා කරන ඕනෑතරම් උදවියගෙන් මේ
සමාජය අඩු නැත. මිල මුදල්, දේපළ, යානවාහන ආදී දේ රැස් කර ගැනීම සඳහාත් සමාජයේ
නම්බුනාම ලබා ගැනීම සඳහාත් අද බොහෝ දෙනා විවිධ උපක්‍රම භාවිත කරති. ඒවායෙහි සමාජ
ගැළපීම කෙසේ වුවත් ඔවුන්ට ඒ දේවල්වලට වඩා වැදගත් වන්නේ ඉහතකී නම්බුනාම හා ආශාවන්
මුදුන් පමුණුවා ගැනීමයි.
සිව්වැන්න තමයි ලැබෙන දෙයින් තෘප්ත නොවීමේ ස්වභාවය. ලද දෙයින් සතුටු නොවීමේ ගුණයෙන්
යුක්ත තැනැත්තා කෙදිනක හෝ මහා වේදනාවකට පත්වනු නො අනුමාන ය. ඔහුට කායික අසහනය සහ
මානසික අසහනය ඇත. එම අසහනය නිසා දවසේ එක මොහොතක හෝ නිදහසේ, සැනසිල්ලේ ගත කිරීමට
හැකියාවක් නැත. ඉතින් ලද දෙයින් සතුටු වීමේ ගුණය අපි ප්‍රගුණ කළ යුතු නොවේ ද?
සිව්වැන්න ද අතිශයින් වැදගත් වන ජාතිමානයයි. ජාතිමානය යනු ජාතිය පිළිබඳ සැලකිල්ලක්
දක්වා මාන්නක්කාර වීමයි. තමා උසස් අයකු බවත්, අනෙකා පහත් අයකු බවත් සම්මත කිරීමයි.
මේ මානයෙන් හිස උදුම්මා ගත් අයෙක් සමාජයේ සිටී නම් ඔහුගෙන් සමාජ ප්‍රගමනයට සිදුවන
හොඳ ක්‍රියාවක් නැත. ඔහු හැසිරෙන්නේ වැරදියට ම ය. සමාජය නොමඟ යෑමට එය පමණක්
ප්‍රමාණවත් ය. " ජාතිත්තද්ධෝ ධනත්තද්ධෝ ගොත්තද්ධෝ ච යෝ නරෝ තං ජඤ්ඤා වසලෝ ඉති"
යනුවෙන් වසල සූත්‍රයේ පෙන්වා දෙන කරුණ නම් කිසි විටෙක ජාතිමානයෙන්, ධනමානයෙන් හා
ගෝත්‍රය පිළිබඳ මානයෙන් පසුවීම නොකළ යුත්තක් බවයි. එසේ ක්‍රියා කරන්නන් වසලයන් ලෙස
පෙන්වා දී ඇත.
ඉතින් මේ සඳහන් කළ මානසික හැඟීම් නිසා කිසියම් දිනක තමාට අයසට පත්වීමට සිදු වන බව
නැවත නැවත හොඳින් සිතා බැලුවහොත් ඔබට අවබෝධ කරගනු හැකි වනු නො අනුමාන ය. ඔබත්
අනාගතයේ දී වේදනාවට පත්වීමට සිදුවන ආකාරයේ ක්‍රියා කිරීමෙන් වළකින්න. යහපතක් ම
සිදුවනු ඇත. |