දැහැමි සමාජයක පදනම
මෙම ලිපියේ මුල් කොටස නිකිණි අමාවක පෝදා අන්තර්ජාල කලාපයේ
පළ විය.
කේලාම් කීම වැඩි වි ගිය කල්හි කාම මිථ්‍යාචාරය වැඩිවී ගියේ ය. මේ නිසා අවුරුදු
පන්දහසක් දක්වා මිනිසුන්ගේ වයස පිරිහිණි. කාම මිථ්‍යාචාරය වැඩිවී ගිය කල්හි පරුෂ
වචන කීම හා සම්ඵප්‍රලාප වැඩිවී ගියේ ය. වර්ණය පිරිහිණි. පරුෂ වචන හා සම්ඵප්‍රලාප
වැඩිවී ගිය කල්හි තද ආශාව, ක්‍රෝධය පැතිරෙන්නට විය. ආයුෂ, දාහ දක්වා අඩු වන්නට විය.
අභිද්‍යා ව්‍යාපාද වැඩිවී ගිය කල්හි මිථ්‍යා දෘෂ්ටිය ඇතිවන්නට විය. ක්‍රමයෙන්
මිනිසුන්ගේ වයස පන්සියය දක්වා අඩු වන්නේ ය.
මිථ්‍යාදෘෂ්ටිය වැඩිවී ගිය කල්හි මිනිසුන්ගේ පරම ආයුෂ සියය දක්වා අඩු වන්නට විය.
මෙකල මිනිසුන්ගේ වර්ණය පිරිහුණි. ආහාරවල රස පිරිහෙයි. කර්කශ ජීවිත ඇතිවෙයි. මේ
ආකාරයෙන් අකුසල සිත් වැඩිවන විට මිනිසුන්ගේ පරමායුෂ වසර දහය දක්වා පිරිහෙන කාලයක්
ඇති වෙයි. එකල මිනිසුන් අවුරුදු පහ වැනි කාලයේ දී ආවාහ විවාහ වී අඹු දරුවන් පෝෂණය
කරයි. අධර්ම රාගය උත්සන්න වෙයි. එම නිසා මව පියා දරුවන් කියා ඔවුනොවුන් අතර පවත්නා
වෙනස නැති වී, එළුවන්, බැටළුවන්, ඌරන්, බල්ලන් වැනි තිරිසන් සතුන් යම් සේ ක්‍රියා
කරයි ද, ඒ ආකාරයෙන් මනුෂ්‍යයන් ද හැසිරෙයි. ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, වෛරය, ආශාව
අධික වෙයි. මුවන් මරන්නකු මුවකු දැක දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි
වධක සිත ඇතිවන්නේ යම් සේ ද, එසේ දරුවන් මවුපියන් කෙරෙහි ද මවුපියන් දරුවන් කෙරෙහි ද
දැඩි කෝපය, ද්වේශය වධක සිත් උපදවා ගනිත්.
මිනිසුන්ගේ පරමායුෂ දහය වන කාලයේ දී ශාස්ත්‍ර අන්තර් කල්පය හෙවත් ආයුධවලින් ඇන
කොටාගෙන විනාශ වන කාලය වන්නේය.
නිසි ලෙස රාජ්‍යය පාලකයන් රාජ්‍යය නොකරන කල්හි ආර්ථික දරිද්‍රතාව මුල්ව සමාජයේ ආචාර
ධර්මයන් පරිහානියට පත්වන අයුරු මේ සූත්‍රයෙන් පැහැදිලි වේ. මෙහි ධනය දීම යන්නෙන්
අදහස් කරන්නේ, මිනිසුන්ට ස්වයං පෝෂණයෙන් යුක්තව ජීවත් වීමට ප්‍රාග්ධනය ලබාදීම
රැකීරක්ෂා අවස්ථා සැපයීම් ආදියයි.
මෙම සූත්‍රයෙහි දැක්වෙන ආයුෂ පිරිහීම් ඇතිවන්නේ දීර්ඝ කාලයක් ගතවීමෙනි. වර්තමාන
කාලයේ පරමායුෂ දළ වශයෙන් 60 - 80 වේ. වර්තමාන කාලයේ සමාජය දෙස බලන කල මේ සූත්‍රයේ
දැක්වෙන තත්ත්වයන් ඇතිවී ඇති බව අපට වැටහේ. එම නිසා තම තමා සදාචාර විරෝධී නොවී
යහපත් ගුණධර්මයන් වර්ධනය කරමින් සිරිත් විරිත් අනුගමනය කරමින් ධාර්මික උත්සාහයෙන්
ජීවත් වන්නේ නම් යහපත් සමාජයක් බවට පරිවර්තනය වන්නේ ය.
-
හේමමාලා රන්දුනු |