[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

බණපදයට හිත පැහැදුණු කිරිවවුලන් පන්සියයක්

බණපදයට හිත පැහැදුණු කිරිවවුලන් පන්සියයක්

අනුරාධපුර කාලයේ ලංකාව් පිහිටලා තිබුණා ඉතා ප්‍රසිද්ධ වනසෙනසුනක්. ඒක නම් කරලා තිබුණේ කුඹල්තිස්ස පර්වත විහාරය කියලා. භාවනානුයෝගී භික්ෂූන් වහන්සේ තමයි මේ විහාරයේ වැඩ වාසය කළේ. ඉතින් මේ මහා කඳුපර්වතයේ තැනින් තැන විශාල ගල් ලෙන් පිහිටලා තිබුණා.

ඒවා කටාරම් කොටලා භික්ෂූන් වහන්සේට කැපසරුප් ආකාරයෙන් සකස් කරලයි තිබුණේ. විහාරය ආරම්භ කළ මුල්කාලයේ භික්ෂූන් වහන්සේ බොහෝ දෙනෙක් ඒ ඒ කුටිවල වැඩ වසමින් භාවනා කළා. පරිසරය හරිම නිශ්ශබ්දයි. කිසිම කරදරයක් තිබුණේ නෑ. පිණ්ඩපාතය ඕන වුනහ ම ළඟ ගම්මානයට වැඩම කරලා අරගෙන ඇවිත් වළඳනවා. ඉතින් මෙහෙම කාලය ගත වෙනකොට තැනින් තැනට පියාඹලා ගිහින් ගොදුරු අරගෙන ජීවන් වන

කිරිවවුලෝ පන්සියයක් මේ විහාරයට උඩින් යන්න යනවා.

එතකොට දැක්කා ඉතාම නිස්කලංක ආරාමයක්. නායක වවුලා තීරණය කළා කන්දේ ගල්ලෙනක නිදහසේ ජීවත් වෙන්න කට්ටිය එක්කම. එහෙම තීරණය කරලා ඒ පන්සිය දෙනා ම ගල්ගුහාවකට ගිහින් ජීවත් වෙන්න පටන් ගත්තා. අඳුර වැටීගෙන එන කොට කෑම හොයාගෙන පිටත් වෙනවා. ආපහු ඉරපායාගෙන එනකොට පන්සියය ම ඇවිත් ගල්ගුහාවේ නවාතැන් ගන්නවා. මේ කාලයේ මේ ගල් ගුහාවට අල්ලපු ගල්ගුහාවේ වැඩ වාසය කළා භාණක තෙරුන් වහන්සේ නමක්. උන්වහන්සේ උදේම දානය වළඳලා වැඩම කරලා දවල් දානය වළඳන වේලාව එනකම්ම කටපාඩමෙන් මුළු සතිපට්ඨානය ම පිළිවෙළට සජ්ඣායනා කරනවා. සතිපට්ඨාන භාවනාවත් පුහුණු කරනවා.

කිරිවවුලන්ට හැමදාම සතිපට්ඨාන සූත්‍රය අහන්න ලැබුණත් ඔවුන්ගේ ම අධික ශබ්ද නිසා සූත්‍ර දේශනාව ඇහුනේ නෑ. දවසක් මේ හැම දෙනාම ඒ මිහිරි බුදු බණවලට ඇහුන්කන් දුන්නා. ඉතින් ඒ අයට මේ සතිපට්ඨාන ධර්මය වැටහෙන තරම් නුවණක් නෑ තමයි. පාලි පදවල අර්ථය තේරුම් ගන්න පුළුවන්කමකුත් නෑ තමයි. ඒ වුණත් මේ පන්සිය දෙනා ම ඒ මිහිරි හඬට විතරක් ඇහුන්කන් දුන්නා. ඒක පුරුද්දක් බවට ද පත් වුණා. මෙහෙම කාලයක් යන කොට කිරිවවුලෝ පන්සිය දෙනාම කාලයාගේ ඇවෑමෙන් මරණයට පත් වුණා. මේ හැම දෙනාම කරගත්ත එකම කුසලය තමයි නො වැටහුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඇහුන්කන් දෙන එක. එයින් සතුටට පත් වන එක. ඉතින් මේ පිනෙන් ම මනුෂ්‍ය ලෝකයේ ඉපදුණා. ඒ ඉපදුණෙත් මේ කියන කුඹල්තිස්ස පර්වතයට පෙනෙන තෙක්මානයක තියෙන ගමක. හැම දෙනාම නීරෝගී ව වැඩුණා. මේ ගමේ අය බොහොම ශ්‍රද්ධාවෙන් ධර්මය ශ්‍රවණය කරන අය. ඒ වගේම දන් දෙන අය. විවිධ පුද පූජා හා ආගමික උත්සව ආදියත් මේ අය එකතු වෙලා කළා.

මේ ගම්වාසීන්ගේ උදව් උපකාර ඇතිව කුඹල්තිස්ස පර්වත විහාරයේ හැම අවුරුද්දක ම අරියවංශ දේශනාවකුත් පවත්වාගෙන ආවා. ඉතින් ඒ උත්සවයට හැම දෙනා ම සම්බන්ධ වෙනවා. මේ ගමේ ඉපදුණු පන්සිය දෙනා ම පොඩිකාලේ ඉඳලා මේ අත්දැකීම දෙමාපියන්ගෙන් ලබා ගන්නවා. ළමා කාලය ඉක්මවලා දැනුම මෝරන කාලය එනකොටත් මේ අය විහාරයට ගිහින් කටයුතුවලට සම්බන්ධ වුණා.

එක දවසක් අරියවංශ දේශනාවට වැඩම කළේ තමන් හැම දෙනා ම පෙර ආත්මයේ සතිපට්ඨානයට ඇහුන් කන් දෙන කොට ඒ දේශනාව සජ්ඣායනා කරපු තෙරුන් වහන්සේ. උන්වහන්සේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය හොඳීන් අවබෝධ කරපු කෙනෙක්. ඒවගේම සතිපට්ඨානය වඩලා අර්හත්භාවය ලබා ගත්ත මහ තෙරුන් වහන්සේ නමක්.

උන්වහන්සේ ධර්මාසනයට වැඩම කරලා ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. උන්වහන්සේ මෙදින අරියවංශ ධර්ම දේශනාවට තෝරා ගත්තේත් සතිපට්ඨාන ධර්ම දේශනාව ම තමයි. ඉතින් උදාහරණ ගොඩාක් අරගෙන ජීවිතයේ නිසරු බව දේශනා කරන්න පටන් ගත්තා. හැම අවස්ථාවක ම වගේ කළේ උපමා අරගෙන මේ සංසාරය ගැන කියල දෙන එක.

එදා ඒ තෙරුන් වහන්සේ දේශනා කළපු ධර්ම කරුණු එකක් දෙකක් දැන ගන්න එක හොඳයි. ඉතින් මේ තෙරුන් වහන්සේ දේශනා කරනවා අපි මේ ජීවත් වෙන ලෝකයත්, මිය ගියාට පස්සේ ඉපදෙන මනුෂ්‍ය ලෝකය-සදිව්‍යලෝක ආදියත්, රූපලෝකයත්, අරූපලෝකයත් සියල්ල ම නිසරුයි කියලා. මේ කිසිම තැනක ස්ථිර සැපතක් නැතැයි කියලා ද දේශනා කළා. ඒ හැම සම්පත්තියක් ම හරියට විදුලියක් වගේ ක්ෂණයෙන් ඇති වී නැතිවෙන බවත්, වායුවේගයෙන් පෙරලෙන මුහුදේ රැළි වගේ ස්ථිර නැති බවත්, ඔංචිල්ලාව වගේ නිතර උපයාගත් සම්පත්වල අඩු වැඩි, ලාභ අලාභ ආදිය සිදු වන බවත් දේශනා කළා. ඒ විතරක් නොවෙයි. එතරම් ම වෙනස් වන, ස්ථිර නොවන ලෝකයේ කොතරම් සැප සම්පත් ලැබුවත්, ඊළඟ සසර දුක්ඛිත විය හැකි බවත් දේශනා කළා. ඉතින් මේ තෙරුන් වහන්සේ ඒ කාරණයත් උදාහරණ අරගෙන ම කියලා දෙන්න පටන් ගත්තා.

මේ කරුණ දේශනා කරන කොට කියනවා ‘පින්වත්නි, බ්‍රහ්ම ලෝකයේ අරූපී බ්‍රහ්මරාජයෙක් වෙලා සැපසම්පත් විඳිමින් ඉඳලා ඊළග සසර සතර අපායට වැටිලා දුක් විදින්න තරම් ඉඩ තියෙනවා. දසදහසක් සක්වල ආලෝකවත් කරන රූපි බ්‍රහ්මයන්ගේ ශරීරාලෝකය කණාමැදිරියකුගේ ආලෝකයක් තරම්වත් නැති ව පිරිහෙන අවස්ථාවලට වැටෙන්න ඉඩ තියෙනවා. සක්විති රජකෙනෙක් වෙලා හිටපු කෙනා ඊළඟ සසරේ හෝ ඒ ආත්ම භාවයේ ම හෝ සිඟන්නෙක් වෙන්නත් ඉඩ තියෙනවා. නන්දන වනයේ ඇවිදිමින් සැප විඳපු දෙවිදේවතාවන් ඊළඟ මොහොතේ අසිපත්‍ර වනයේ කැපි කැපී විනාශ වෙන තත්ත්වයට පත් වෙන්නත් ඉඩ තියෙනවා. බහුශ්‍රැත ව විදුර පණ්ඩිතයන් වැනි උගතකු වෙලා, නුවණ නැති අඥානයකු වෙලා තැනින් තැන ඇවිදින කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා පින්වත්නි, මේ සසර බියකරු බව වටහාගෙන ජීවත් වෙන්න කියලා ධර්ම දේශනා කරන්න වුණා. දේශනාව අවසානයේ දී තරුණයෝ හැම දෙනා ම ජීවිතයේ ඇති තතු අවබෝධ කර ගත්තා. පැවිද්ද ඉල්ලා සිටියා. මව්පියන්ගේ කැමැත්ත මත පැවිද්ද අරගෙන භාවනා කළා. ඒ හැම දෙනා ම භාවනා කරන්නටත්, රාත්‍රිය ගත කරන්නටත් ගියේ අර ගිය ආත්මේ වවුලන් ව ඉපදිලා හිටපු ගල්ගුහාවට ම තමයි. ඒ වෙන කොට ඒ ගල්ගුහාව සියලු පහසුකම්වලින් සකසා තිබුණත්. හැම වෙලේම වවුල් දුගඳ එන්න පටන් ගත්තා.

ඒ නිසා දවසක් එක් භික්ෂුවක් අහනවා අර සතිපට්ඨානය දේශනා කළ මහරහතන් වහන්සේගෙන් ‘ස්වාමිනි, මේ ගල්ලෙන කොතරම් පිරිසුදු කළත් අපිරිසුදුයි. වවුල් දුර්ගන්ධය ම එනවා කියලා. එතකොට රහත් තෙරුන් වහන්සේ දේශනා කරනවා ‘ඇවැත්නි, ඒ ඔබ වහන්සේලාගේ අසුචිවල දුර්ගන්ධයයි එන්නේ. පෙර වවුල් ආත්මයක නුඹලා සියලු දෙනා ම උපදිලා මේ ගල්ගුහාවේයි වාසය කළේ. දැන් උපත ලබලා ඉන්නේ ඒ ආත්ම භාවයේ මා විසින් දේශනා කළ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ශබ්ද මාත්‍රය පමණක් ශ්‍රවණය කරලා‘යි කරුණු පහදලා දුන්නා.

මෙයින් මහත් සේ කම්පාවට පත් ඒ හැම දෙනාම පළමු දවසේ සතිපට්ඨාන දේශනාව ශ්‍රවණය කරලා සෝවාන් වුණා. දෙවැනි වතාවේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරලා අරහත් බවට පත් වුණා‘යි රසවත් වගේම ධර්මෝපදේශ දෙන කථා පුවතක් සද්ධර්මාලංකාරයේ සඳහන් වෙනවා.

ඒ නිසා පින්වත්නි, ධර්මය ශ්‍රවණය කරන්න. එයින් කිසිම කලෙක අයහපතක් වෙන්නේ නෑ. යහපතක් පමණයි වෙන්නේ. මේ බව අන් අයටත් කියා දෙන්න. ඔවුන්ටත් කල්‍යාණ මිත්‍රයෙක් වෙන්න. බියකරු සසරින් එතර වෙන්නත්, මෙලොව සාර්ථක කර ගන්නත් නොපමාව ලැබෙන හැම අවස්ථාවක ම ධර්මය ශ්‍රවණය කරන්න. ඒ අනුව හැසිරෙන්න.

බිනර පුර අටවක

අගෝස්තු 30 සෙනසුරාදා අ.භා 10.47 පුර අටවක ලබා සැප්තැම්බර් 01 සඳුදා පූ.භා 00.58න් ගෙවේ.
අගෝස්තු 31 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 31   

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 07 

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]