[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ත්‍රිපිටකයට පිවිසුමක්

ත්‍රිපිටකයට පිවිසුමක්

බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයත්, පනවා වදාළ විනයත් ‘ත්‍රිපිටකය’ ලෙස හැඳින්වේ. එයින් විනය ‘විනය පිටකය’ ලෙසත්, ධර්මය ‘සූත්‍ර පිටකය’ හා ‘අභිධර්ම පිටකය’ ලෙසත්, පිටක තුනකට බෙදා දක්වා ඇත. පිටක යන්නෙහි අර්ථය භාජනය, කූඩය, සංග්‍රහය හෙවත් එකතුව ලෙස ගත හැකි ය. මෙහි පිටක යන්න යොදාගෙන ඇත්තේ ‘සංග්‍රහය’ යන අර්ථයෙනි.

ථෙරවාදය හා මහායානය

ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගි වූ තෘතීය මහාශ්‍රාවක මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රමුඛ පන්සියයක් මහරහතන් වහන්සේගෙන් අඛණ්ඩ ව පැවතෙන බෞද්ධ සම්ප්‍රදාය ථෙරවාදය නම් වෙයි. මෙහි මාධ්‍යය පාලි භාෂාව යි. බුද්ධ දේශනය කිසිදු වෙනසකට බඳුන් නොකොට ඒ අයුරින් ම පවත්වා ගෙන යාම ථෙරවාදයේ අනන්‍යතා ලක්ෂණය යි. ථෙරවාදී භික්ෂූන් වහන්සේ චීවරය සකස් කර ගන්නා ආකාරය මීට සරල ම උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. එදා මගධ කෙත පෙන්වා එය උදාහරණයක් ලෙස ගත් බුදුරදුන් එහි ලියදි සකස් කර තිබෙන ආකාරයට කඩ කපා චීවරය සකස් කර ගැනීමට උපදෙස් ලබා දුනි. එදාමෙදා තුර කිසිදු වෙනසකට බඳුන් නොකොට චීවරය සකස් කර ගනුයේ එම පැනවීමට අනුකූලව ය. පැවිදිකිරීම්, උපසම්පදාව යනාදී ශාසනික විනය කර්ම සියල්ල ද මුල් බුද්ධ වචනයට අනුකූල ව ම සිදු කෙරේ. ථෙරවාදයේ අනන්‍යතාව එය යි.

දෙවැනි ධර්ම සංගායනාවෙන් පසුව බෙදී ගිය අනෙක් බෞද්ධ සම්ප්‍රදාය මහායානය යි. මුල් බුද්ධ දේශනය යම් යම් වෙනස්කම්වලට බඳුන් කරමින් පවත්වා ගෙන යාම එහි දැකිය හැකි ප්‍රමුඛ ලක්ෂණය යි. මේ අනුව ථෙරවාදය හා මහායානය යනු බුදුදහමේ මහා ශාඛා දෙකයි.

බුදු, පසේබුදු, මහරහත් යන තුන්තරා බෝධියක් ථෙරවාදයේ ඉගැන්වෙයි. බෝධි සත්ත්වයන් වහන්සේ ඇතුළත් වනුයේ එයින් පසු පෙළට යි. එහෙත් මහායානිකයෝ බුදුරජාණන් වහන්සේ ළඟට බෝධි සත්ත්වයන් වහන්සේ ඉහළින් ම පිළිගනිති. ථෙරවාදීන්ගේ ඉගැන්වීම ඉහත කී තුන්තරා බෝධියෙන් එක් බෝධියකින් නිවන් ලැබිය හැකි බව යි. බුද්ධත්වය ලැබීම අතිශය දුෂ්කර හෙයින් එය ස්වල්ප දෙනකු විසින් පිළිපැදිය හැකි යැයි ථෙරවාදීහු සලකති. එහෙත් මහායානිකයන්ගේ මතය සියල්ලන් විසින් ම බුද්ධත්වය ලැබිය හැකි බවත්, එය ම ශ්‍රේෂ්ඨ වන හෙයින් ඒ සඳහා ම උත්සාහ කළ යුතු බවත් ය. එබැවින් බෝධි සත්ත්ව සංකල්පය මහායානයේ ප්‍රමුඛ ඉගැන්වීමකි.

බෝධි සත්ත්ව වන්දනාව ද ඒ ඔස්සේ ම වර්ධනය වුණි. මහායානයේ මාධ්‍ය භාෂාව සංස්කෘත යි. අද වන විට ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාර් යනාදී රටවල ථෙරවාදය පැතිරී ඇති අතර චීනය, කොරියාව හා ජපානය යනාදී රටවල පැතිර ඇත්තේ මහායානය යි.

ත්‍රිවිධ ශාසනය

බුදුරදුන්ගේ අනුශාසනාව පර්යාප්ති, ප්‍රතිපත්ති හා ප්‍රතිවේධ ලෙස ත්‍රිවිධාකාර වන්නේ ය. එයින් පර්යාප්ති නම් සියලු දුකින් මිදී නිර්වාණාවබෝධය පිණිස දේශනා කළ ධර්මය හෙවත් බුද්ධ දේශනාව යි. එකී සෑම බුද්ධ දේශනයක් තුළ ම විමුක්තිය නමැති රසය වහනය කරන හෙයින් රස වශයෙන් ඒකවිධ හෙවත් එකක් ය. එය පහාරාද සූත්‍රයේ දී බුදුරදුන් වදාරා ඇත්තේ ‘යම් සේ මහ මුහුද රස වශයෙන් එකම ලුණු රස වේ ද එසේම මෙම ධර්ම විනය රස වශයෙන් එකම විමුක්ති රස වේ ය’ යනුවෙනි. බුද්ධ වචනය කවර විභජනයකට ලක් කළත් එහි අන්තර්ගතයෙහි පරමාර්ථය භව චක්‍රයෙහි නිමාව සනිටුහන් කරන නිවන මුදුන්පත් කර ගැනීම යි. මෙම එක් වැදෑරුම් වර්ගීකරණයට අනුව සමස්ත බුද්ධ භාෂිතය ම බුදුරදුන්ගේ ශ්‍රී මුඛ දේශනාවක් වශයෙන් එකක් වන අතර, නිවන සාක්ෂාත් කර ගැනීම අරමුණු කර ගැනීම වශයෙන් එය ගුණාත්මක ව ද එක් වැදෑරුම් ය. ධර්ම විනය වශයෙන් බුද්ධ දේශනාව දෙවැදෑරුම් ය.

ප්‍රථම බුද්ධ වචනය, මධ්‍යම බුද්ධ වචනය, පශ්චිම බුද්ධ වචනය වශයෙන් හෝ පෙර කී විනය, සූත්‍ර, අභිධර්ම වශයෙන් ත්‍රිවිධ ය. මෙම තෙවැදෑරුම් බෙදීම් අතර ඉතා ප්‍රකට හා ජනපි‍්‍රය බෙදීම නම් මෙම විනය, සූත්‍ර හා අභිධර්ම නම් වූ ත්‍රිපිටක වර්ගීකරණය යි. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය හා ඛුද්දක නිකාය වශයෙන් පංච විධ ය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන ආකාරයට නව විධ ය. නවාංග සත්ථු ශාසනය යනු ද එය යි.

ප්‍රතිපත්ති ශාසනය යනු ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හෙවත් දේශනා කළ ධර්මය අනුව පිළිපැදීම යි. ප්‍රතිවේධ ශාසනය නම් ධර්මානුකූල ප්‍රතිපත්ති ඔස්සේ ආර්ය මාර්ගයෙහි ගමන් කොට ලබන ප්‍රතිවේධය හෙවත් සෝවාන් මාර්ගඵල, සකෘදාගාමී මාර්ගඵල, අනාගාමී මාර්ගඵල, අරහත් මාර්ගඵල යන සතර මග සතර ඵලය යි. පර්යාප්තියෙන් ප්‍රතිපත්තියත් එයින් ප්‍රතිවේධයත් ලැබිය යුතු ය. පර්යාප්තියෙන් තොර ව ප්‍රතිපත්තියක් හෝ ප්‍රතිවේධයක් හෝ නො ලැබෙයි. එබැවින් මෙහි පර්යාප්තිය ම මූලික වන බව වටහා ගත යුතු වෙයි.

නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]