[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ගඩලාදෙණිය රාජ මහා විහාරයට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්

ගඩලාදෙණිය රාජ මහා විහාරයට අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක්

මහනුවර නගරයට ආසන්නයේ පිහිටි පිළිමතලාව මංසන්ධියෙන් දවුලගල පාරේ කිලෝමීටරයක් පමණ ඉදිරියට යන විට මාර්ගය සමීපයේ ම තරමක් උස් වූ සුන්දර ගල්තලාවක ගඩලාදෙණිය රාජ මහා විහාරය පිහිටා තිබේ.

ස්වභාවික ගල්තලාවක් මත ඉදිකොට ඇති මේ පින්බිම ප්‍රතිමා ගෘහයකින්, පිවිසුම් තොරණකින්, චෛත්‍යයකින්, බෝධි වෘක්ෂයකින්, පොහොය ගෙයකින් හා සංඝාවාසයකින් ද සමන්විත වේ.

විහාර මන්දිරය එකක් පිටුපස එකක් ඇති ආකාරයට කාමර දෙකකින් හා පිටත මණ්ඩපයකින් ඉදිවී ඇත. එහි ඇතුල් කාමරය තුළ රියන් දොළහක් පමණ උස් වූ ඔත්පිළිමයක් හා හිටි පිළිම හතරක් දැකිය හැකි ය. මෙම ප්‍රතිමාවන්හි මහනුවර යුගයේ ලක්ෂණ විද්‍යමාන වන්නේ ය.

විහාර ගෙය පැරණිතම ගොඩනැඟිල්ලක් බවත්, ගෙඩිගේ සම්ප්‍රදායෙන් යුත් එකක් බවත් කියැවේ. වහලය පැතලි ගල්පුවරුවලින් නිර්මාණය වී තිබීම ද විශේෂත්වයකි.

ගතට සිතට සිසිලසක් දැනෙන සිත් පහන් කරන බෝධි වෘක්ෂය ද මෙහි ඓතිහාසිකත්වයට මනා සාධකයකි. එය දඹදිව ආනන්ද බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝ අංකුරයක් වැඩමවා රෝපණය කරන ලද්දක් බව පැවසේ. මෙය ශෛලමය බෝධිඝරයකින් වට වී ඇත.

ගල්තලාව මත ලියවුණ සෙල්ලිපි අටක් පමණ දකින්නට ඇත. එහි 15 වැනි සියවසට අයත් සිරිසඟබෝ, පරාක්‍රමබාහු රජුගේ ලිපියක් ද, එතුමාගේ රාජ්‍ය කාලයේ තෙවෙනි අවුරුද්දේ ලියවුන ලිපියක් ද, ධර්මකීර්ති හිමියන් විසින් කර වූ මෙම විහාරය පිළිබඳව ලියවුණු ලිපියක් ද, වික්‍රමබාහු රජුගේ ලිපියක් ද ආදී වශයෙන් එම සෙල්ලිපි දැකිය හැකි ය.

මෙම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කර වඩා හිඳුවීමට කටයුතු කර තිබේ.

වැලිවිට සරණංකර ස්වාමීන් වහන්සේගේ අනුමැතියෙන්, අරන්වෙල සුමංගල හිමියන්ගේ අධීක්‍ෂණයෙන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මාලිංග අමරසිංහ මහතාගේ මඟ පෙන්වීමෙන්, අඩි 04 ක් පමණ උසැති පිත්තල ලෝහයෙන් නිර්මාණය කළ මෙම ප්‍රතිමා වහන්සේ ජගත් සුමතිපාල මහතාගේ දායකත්වයෙන් තැන්පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය පසුගිය 25 වෙනි දින සිදු කෙරිණි.

මල්වතු, අස්ගිරි උභය මහා විහාරයේ උත්තරීතර මහා නායක ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් සහ මල්වතු අස්ගිරි උභය විහාරයන්හි අනු නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ පූජනීය මහා සංඝරත්නය වැඩම කරවීමෙන් මෙම පුණ්‍ය මහෝත්සවය පැවැත්විණි.

නවම් පුර අටවක

 පෙබරවාරි 05 බදාදා පූ.භා. 02.33 පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.38න් ගෙවේ.
05 බදාදා සිල්.

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 05

Full Moonපසළොස්වක

පෙබරවාරි 12

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]