[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

ඔබේ කඳුළු මට දෙන්න මගෙ සිනහව ඔබ ගන්න

ලොව මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම මනෝ විද්‍යාඥයා, මනෝ විශේෂඥවරයා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ දේශනාවන් තුළ මනෝ දර්ශනයක්, මනෝ විශ්ලේෂණයක්, මනෝ විද්‍යාවක්, මනෝ උපදේශනයක් හා මනෝ චිකිත්සාවක් පරිපූර්ණ වශයෙන් අන්තර්ගත ය. බුදුරදුන්ගේ චරිතයත්, දර්ශනයත් සකලවිධ භාවිතයෙන් එකිනෙක සමාන ය. එම චරණය හා දර්ශනය තුළ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණයක් වන්නේ, මනෝ කේන්ද්‍රීය හා මානව කේන්ද්‍රීය පදනමකින් යුක්ත වීමයි. ඒ අනුව බුදු සිරිත හා බුදු දහම සකලාර්ථයෙන් ම පරිසමාප්ත මනෝ උපදේශනයකි. සර්ව භෞමික වූ ත්, සර්වකාලීන වූ ත්, සකල සත්ව හිතෝන්නතිකාමී වූ ත් මෙම සාරගර්භ ඉගැන්වීම් සමුදාය “බෞද්ධ” යන ලේබලය සහිත කොටු පවුරට සීමා නොවූයේ නම්, සමස්ත මනුෂ්‍ය සංහතියට ම එයින් සලසා ගත හැකි “ආධ්‍යාත්මික සුවය” කියා නිමකළ නොහැකි ය. ආදානග්‍රාහී වැට කඩොලු, සීමා බන්ධනවලින් මිදුණු නිදහස් හා මධ්‍යස්ථ මතධාරී දෙස් විදෙස් බොහෝ පිරිස් බුදු දහමේ සුවය වෙත ආකර්ෂණය වෙමින් සිටිති. එහි දේශීය නැඹුරුවටත් වඩා විදේශීය නැඹුරුව වැඩි ය. අද ලෝකය ගමන් ගන්නා, අති ධාවනකාරී භෞතික දියුණුව ගැන සිතන විට මෙම ප්‍රවණතාව එන්න එන්න ම වැඩි වන බව ඉතා පැහැදිලි කරුණකි. ජනතාවගේ කාලීන අවශ්‍යතාවන් අතර අද දවසේ ප්‍රමුඛස්ථානයක් ලැබෙන්නේ මානසික සහනයට ය. ඔවුන්ගේ එම ඉල්ලුමට සරිලන පරිදි බුදු දහමේ මූලික හරය මඟින් සහනදායී ජීවන රටාවකට අවශ්‍ය උපදේශනය ලබා දීම යුගයේ ප්‍රධානතම ආගමික කාර්යභාරය බවට පත්ව තිබේ. ඒ සඳහා ආගමික ආයතන හා පූජ්‍ය පක්ෂය කෙ තරම් අනුග්‍රාහක මානසිකත්වයකින් හා සූදානමකින් පසුවන්නේ ද යන්න පිළිබඳ පෙර සුබ නිමිති තව ම දක්නට ලැබෙන්නේ නැත. බෞද්ධාගමික උපදේශනය හා මඟ පෙන්වීම මීට වඩා විධිමත් ව, ක්‍රමවත් ව හා කාලෝචිත ව සිදුවන්නේ නම්, එනම් සතර සතිපට්ඨාන ප්‍රගුණතාව වැනි ක්‍රියාකාරකම් මඟින් ජීවිතය පිළිබඳ මනා වැටහීමක්, හරි දැක්මක් ලබා දිය හැකි ය. ඒ සඳහා වනගත විය යුතු ම නැත. වනගතවීම නිර්දේශිත වන්නේ භික්ෂූත්වයට ය. විවිධ ගැටුම්, අභියෝග, අඹු දරු පෝෂණය ආදී ක්‍රියාකාරකම් සමඟ පොර බඳිමින් සිටින මිනිසා, එම ජීවිතයෙන් පලා නොගොස්, එම ජීවිතයේ ම සිටිමින් ඒවාට මුහුණ දිය යුතු ආකාරයේ මානසික ධනාරෝපණ උත්තේජනයක් එයින් සලසා දීම වඩාත් ප්‍රායෝගික ය.


වප් අමාවක

 ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා අ.භා. 03.53 අමාවක ලබා නොවැම්බර් 01 සිකුරාදා
අ.භා. 06.16 ගෙවේ.
31 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

ඔක්තෝබර් 31

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]