උදාර චරිතයක හිමිකාරියක් වූ විශාඛා මහා උපාසිකාව
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
(බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව බුද්ධශාසන අමාත්‍යාංශය)
කේ.කේ. සුගතපාල
පඤ්ච කල්‍යාණයෙන් හෙබි විශාඛා තරුණ සිටු කුමරිය රථයේ නැඟී ආපසු මාලිගාවට යද්දී ඒ
පිටුපසින් බමුණෝ ද ගියෝ ය. ධනඤ්ජය සිටුතුමා බමුණන් දැක ආගිය සියලු තොරතුරු විමසා
දුවගේ කැමැත්ත ලැබූ පූර්ණවර්ධන සිටු කුමාරයා හා මිගාර පිය මහ සිටුවරයා ගැන ද විස්තර
ඇසූහ.
වත්කම් අතින් අසමාන වුවත් තම දුවට ආරක්ෂාව ලැබේ නම් එය ප්‍රමාණවත් යැයි කියා ආ
බමුණන් නවතා ගෙන ආගන්තුක සත්කාර ඉහළින් ම කොට පිටත්කර හැරියේ ය. ඉතා සතුටින් මිගාර
සිටු හමුවට ආ බමුණෝ සියලු විස්තර කීහ.
ධනඤ්ජය සිටු පවුල මහා ධන සිටුවරයකු යැයි දැන සිටි මිගාර සිටු ඉක්මනින් ලේලිය තම
නිවෙසට කැඳවා ගෙන ඒමේ සිතින් කොසොල් රජුට පළමුව ම ගොස් දැන්වීය. රජු ද ‘මේ මහා කුලය
ම විසින් බිම්සර රජුගෙන්
ලබා ගෙන සාකේත නුවර පදිංචි කරවූ කුලයයි කියමින් ඔබගේ මඟුල්
පෙරහරට මමත් එන්නෙමි’ යි දැන්වීය. එසේම වීය. සාකේතයට අඩයොදුනක් තිබියදී කොසොල් රජු
- මිගාර සිටු සහිත මහ පෙරහර ආ බව ධනඤ්ජය සිටුහට දන්වා යැවූ විට අවශ්‍ය සියලු
පහසුකම් ඔවුනට සලස්වා දුව කැඳවා ඒ පිරිස සිටු මාලිගයට ආ විට කළ යුතු ආගන්තුක සත්කාර
සංවිධාන කරන ලෙස පැවරීය. ඇය ඉතාමත් මැනවින් සේවකයන් යොදවා සියල්ල සූදානම් කළාය.
ධනඤ්ජය පිය සිටු ද මෙදින ම රන්කාසි 1000ක් රිදී, මුතු, මැණික්, පබළු, පළිඟු යොදා තම
දුවගේ ගෙල පලඳවාලීමට සුදුසු මේල පලඳනාවක් (මහාලතාපසාධනභණෙඩත) සෑදීමට රන්කරුවන්ට
නියම කළේ ය. මේ පලඳනාව හිස පැළඳවිට මුළු සිරුරවැසී දෙපා උඩුපතුල තෙක් වැටේ. (මෙයට
අටුවාවේ බොහෝ විස්තර ඇත.) මෙය විශාඛාවන් කාශ්‍යප බුදුරදුන් දවස දහසක් භික්ෂූන්ට
සිවුරු පිණිස රෙදි, නූල්, ඉදිකටු හා පඬු පූජා කළ පිනේ ආනිශංස වේ. එදා ද මැය කීකී
රජුගේ දියණියකි.
මංගල්‍යයේ සියලු කටයුතු අතිඋත්කර්ෂවත් අන්දමින් කුලසිරිත් නො ඉක්මවා සිදුවිය. නැවැත
දායාද වශයෙන් මගේ දුවට කිසිදු අඩුපාඩුවක් නොවන ලෙසින් රන් කහවනු පිරවූ කරත්ත 500,
රන් බඳුන්, රිදී බඳුන්, පටසළු, කසීසළු, ගිතෙල් බඳුන්, හැල් සහල්, පිරවූ හා නඟුල්
හීවැල් උදළු, දෑකැති පැටවූ කරත්ත 500 - 500 බැගින් සිටුතුමා දුන්නේ ය. (දෑවැදි දීමේ
විස්තර ද තව බොහෝ ය.) මෙයට පෙර දා තම කාමරයට දුව ගෙන්වා ළඟ වාඩිකරවා ගෙන “දුව නුඹ
හෙට සිට ස්වාමි කුලයෙක වසන්නියක් බව සිත තබා ගන්න. මෙසේ හැසිරිය යුතු යැයි දස
අවවාදයක් ද දුනි. 1.ඇතුළත ගිනි කිසිදා පිටතට නොදෙනු. ( මාමා, නැන්දම්මා, ස්වාමියාගේ
වරද වේ නම් ගෙන් ගෙට ගොස් නොකියන්න. ගෙය ගිනි ගනී.) 2. පිට ගිනි ඇතුළට නො ගන්න.
(කලින් තිදෙනා හා ගෙයි වසන අනෙක් අය ගැන පිට අය කියන දොස් වේ නම් නිහඬ වන්න.
නැතහොත් ගෙය ගිනි ගනී.) 3. දෙන්නන්ට ම දෙන්න. ( ණයක් ලෙස යමක් දෙන්නේ නම් ආපසු දෙන
අයට පමණක් දෙන්න.) 4. නො දෙන්නන්ට නොදෙන්න. ( එසේ ණය නොදෙන්නන්ට ආපසු නොදෙන්න.) 5.
දෙන්නහුටත්, නොදෙන්නහුටත් දෙන්න. ( දිළිඳු නෑ මිතුරන් පැමිණ යමක් ඉල්ලූවිට ආපසු
දුන්නත් නොදුන්නත් දෙන්න.) 6. සුව සේ හිඳින්න. ( උතුමන් වැඩිහිටියන් ගැන සිතා නැවැත
නොනැඟිටිය යුතු තැනක වාඩිවෙන්න.) 7. සුව සේ කෑ යුතු ය. ( ගෙදර වැඩිහිටි හා දැසි දස්
ගැනත් සොයා බලා ආහාර ගන්න.) 8. සුවසේ නිදන්න. ( නැන්දා, මාමා, ස්වාමියා වෙනුවෙන් කළ
යුතු පිළිවෙත් සපුරා ගේ දොර පිරිසුදු කර දොරඟුලු බලා හැමට පසුව නිදන්න.) 9. ගිනි
පුදන්න. ( ගෙදර නැන්දා, මාමා, ස්වාමියා ගිනිකඳු සේ ය. සර්පයන් සේ ය. සලකා ඔවුනට
යටත් ව බිය සුලු ව වාසය කරන්න.) 10. ඇතුළත දෙවියෝ වඳින්න. ( නැන්දා, මාමා, සැමියා
දෙවිවරු යැයි සිතා ගරු සැලකිලි කරන්න.) මේ සාරධර්ම අදටත් තිබේ නම් අඹුසැමි ආරවුල්
දරුවන් අනාථවීම් නැත.
මේ ඔවදන් පිළිපැද්ද විශාඛාවන්ගේ චරිතය තුළින් ලබා ගත් ප්‍රයෝජන රාශියක් මේ අටුවා
කතාවේ දිගට කියැවේ. ගිහි පැවිදි කලණ මිතුරන් හමුව දැන ගන්නට උනන්දුවන්න. මිගාර සිටු
පවුල මිථ්‍යා දෘෂ්ටික ය. මේ මංගල්‍ය නිමිති කොට මිගාර සිටු ද සිටු ගෙදරට ආර්යයන්
වහන්සේ කැඳවා දානයක් පිළියෙල කොට ලේලියට ද පැමිණ රහතුන් වැදි පින් සිදු කර ගන්න
යැයි කළ ඉල්ලීමට රහතුන් යැයි ඇසූ විගසින් සතුටින් ඉදිරියට ආයේ නිර්වස්ත්‍ර ව හුන්
ඔවුන් දැක ලජ්ජාවට පැමිණ ඔවුන්ට ගරහා ගෙට ගියා ය. එයින් උරණ වූ නග්නයෝ මහ සිටුට
දොස් පවරා අද ම ඇය නිවෙසින් එළවා දමන්න යැයි කී විට ඇයගේ මහාධන කුලය ගැන සිතමින් වූ
වරදට කමාව අයැද සනසා යැවීය. දානෙන් පසු මිගාර සිටු අසුනෙක හිඳ රන් තැටියෙක කිරිබත්
වළඳමින් සිටියේ විශාඛාවෝ පවන් සලන්නට වූවා ය. එවේලෙහි පිඬුසිඟා යන එක් ශ්‍රමණ නමක්
මෙහි දොරකඩ වැඩ සිටියේ සිටුවරයා නො දැක්කා සේ සිටියේ විශාඛා එය දැක නොඉවසිලිව
“මගේ මාමණ්ඩි පෙර බත් කති. අන් තැනක් බලා වඩින්න.” යැයි කීවා ය. ඒ ඇසූ සිටු තෙමේ
දණ්ඩයෙන් පහර ලත් නයකු සේ කිපී වහා ගෙයින් පිටව යවයි. ගුගුලේ ය.
පියාණන් වහන්ස, මා මෙහි ගෙන ආවේ ළිඳ ළඟ සිටි දිය අදිමින් සිටි වැඩකාරියක් ලෙසින්
නොවේ. මෙසේ කෑ මොරදුන් පමණින් මම නො යමි. මා අතින් වරදක් සිදු වී තිබේ නම් මෙවැනි
අවස්ථාවක වරද, නිවැරැදි විනිශ්චයකට මගේ පියා බමුණන් අටදෙනකු එවා ඇත. ඔවුන්ගේ
විනිශ්චයෙන් පසු මම යන්නෙමි’ යි විශාඛාවෝ කීවා ය. නඩුව ඇසූහ. ඉහත දස අවවාදය ද මිගාර
සිටුගේ සැකයේ තිබී ඒවා ද පැහැදිලි කරවා ගත්තෙන් මේ ළමයා තුළ වරදක් නැති ව තිබිය දී
ඔබ ගෙයින් පන්නා දැමීමට යෝජනා කළේ ඇයි? දැයි ඇසීය. සිටු නිහඬ විය. මෙවිට විශාඛාවෝ
තම සේවකයන් කැඳවා මේ ගෙදරින් දැන් තමාට යා යුතු ය. ඒ සඳහා වාහන පිළියෙළ කරන්න යැයි
නියෝග කළා ය.
" දුව මා නො දැන කළ කී දේට මට සමාවන්න" යැයි සිටාණන් කී විට
මම ද ඔබට සමාව දෙමි. නමුත් මා මෙහි තවදුරටත් රැඳීමට නම් බුදු සසුනෙහි සැදැහැති
කුලයකට අයත් මම නො සැලෙන ශ්‍රද්ධා (සෝවාන්ඵලය) ඇත්තියක්මි. මට මේ නිවෙසේ දන් දිය
යුතු ය. බණ ඇසීමට යා යුතු ය. බණ නො අසා වාසය කළ නොහැකිය. ඒවාට මට අවසර දෙන්නේ නම්,
මම නවතිමි'යි කීවා ය.
මේ අනුව පසුදා ම බුදුරජාණන් වහන්සේ වැඩමවා දන් දුන්හ. භක්ත්‍යානුමෝදනාවේ දී මිගාර
සිටුහට ද බණ ඇසීමට සැලැස්වීමෙන් ඔහු සෝවාන් ඵලයෙහි පිහිටියේ ය. එතැන් පටන් මිගාර
සිටු ගෙදර බුදු සසුනට විවෘත වූ දොර ඇත්තේ විය. පසු කලෙක විශාඛාවන්ට දූ පුත්තු
දසදෙනා බැගින් වූහ. ඔවුනට ද එසේ ම දසදෙනා දස දෙනා බැගින් දූ පුත්තු වූහ. පඤ්ච
කල්‍යාණයෙන් පිරි ඇය අවුරුදු 120ක් ජීවත්වූවත් හිසෙහි පැසුණු කෙසක් නොවී ය. තරුණ
පෙනුමක් ම විය. මේ වන විට ඇයගේ දූ පුත්, මුණුබුරු, මිණිබිරි, මී මුණුබුරු පරපුර
8420 පමණ වූයේ ය.
වරක් මැය බණ අසන්නට ගොස් තම මේල පළඳනාව අමතක වීම හේතුවෙන් එය සඟසතු වූවා’යි සළකා එය
විකුණා විසිහත් කෝටියක් වියදම් කොට “පූර්වාරාමය” සාදවා බුදුරජාණන් වහන්සේට පූජා කළා
ය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ දවස මහ දන් දී කළ
ප්‍රාර්ථනා අනුව අසූමහ ශ්‍රාවකයන්ගෙන් සිවුපසය දෙන උපාසිකාවන් අතර අප බුදුරජාණන්
වහන්සේගේ ශාසනයෙහි අග්‍ර තනතුර ලැබුයේ ද මේ විශාඛා මහා උපාසික තොමෝ ය. “මිගාර මාතා”
නමින් වූයේ ද මෙතුමිය ම වේ. සිව්පසය පූජා කළ උපාසකයන් අතර අගතනතුරු ලාභී වූයේ
අනේපිඬු සිටුතුමා ය.
(විශාඛා මහා උපාසිකා කතා වස්තුව ) |